ණය බර අඩුකර සංවර්ධන මාවතට රට යොමු කළේ මහින්ද රාජපක්ෂ පාලන සමයයි

ණය බර අඩුකර සංවර්ධන මාවතට රට යොමු කළේ මහින්ද රාජපක්ෂ පාලන සමයයි

මෙය බොරුවක් කියා ඔප්පු කළොත් ඇමැතිකමින් අස්වෙනවා

ඇමැති එස්. බී. දිසානායක

චන්ද්‍රිකා මේ රටේ ආර්ථික වර්ධන වේගය ඉතිහාසයේ පළමු වතාවට සෘණ අගයකට ගෙනාවා. ඒ පාලනය අවසන් කරලා අපි බලයට ගෙනාපු රනිල් කළේ රටේ ණය බර 106% දක්වා ඉහළට ගෙන ඒමයි. මේ දෙදෙනාගේ වැරැදි ආර්ථික කළමනාකරණය නිවැරැදි කැර ර‍ෙට් ණය බර අඩු කර රට සංවර්ධන මාවතට යොමු කළේ ජනපති මහින්ද රාජපක්ෂ පාලනයයි. මෙය බොරුවක් කියා ඔප්පු කළොත් තමන් ඇමැතිකමින් වුවත් අස්වීමට සූදානම් යැයි උසස් අධ්‍යාපන ඇමැති එස්. බී. දිසානායක මහතා පැවැසීය.

වසර 2004 වනවිට මෙරට ණය බර 106%ක් වී තිබුණා. ණය ගෙවන්න රටේ ජාතික ආදායමත් මදි වුණා. 2012 වනවිට 75% කටත් 2013 දී 70% කටත් මෙම අගය ගෙන ඒමට රජයට හැකිවුණා. වසර 2015 දී රටේ ණය බර 65% දක්වා ගෙන ඒම ජනපතිතුමාගේ අපේක්ෂාවයි.

ගම නැඟුම ව්‍යාපෘතිය යටතේ සංවර්ධනය කෙරෙන හේන්දෙණිය, බෝයගම, පල්ලේ අලුදෙණිය, ගංහත, බඹරදෙණිය සංවර්ධන ව්‍යාපෘතීන් සඳහා මුල්ගල් තැබීමේ උත්සවයක දී ඇමැතිවරයා මේ බව කීය.

අද විපක්ෂය චෝදනා කරනවා රට ලෝක බැංකුව ඉදිරියේ දන ගහලා ණය ඉල්ලනවා. උපදින්න ඉන්න දරුවොත් ලෝකයට ණය කරනවා කියලා. අපි විතරක් නොවේ ලෝකයේ ඕනෑම රටක් ණය ගන්නවා. මේ රජය ණය ගන්නවා තමයි ඒ ණය අරන් මොන තරම් රටපුරා සංවර්ධනයක් කරනවද?

චන්ද්‍රිකා රනිල් පාලන සමයට වඩා අද ආර්ථික කඩා වැටීමක් රටේ සිදුවෙලා තිබෙනවා කියලා කවුරු හරි ඔප්පු කළොත් මම ඇමැතිකමෙන් මන්ත්‍රීකමෙන් අස්වෙනවා.

සමහරු කියනවා ජීවන වියදම සැරයි ජීවත් වෙන්න අමාරුයි කියලා. එදාට වඩා හැමදේම වෙනස් වෙලා. 2004 කුස්සියේ තිබුණු බඩු නොවෙයි අද තිබෙන්නේ. අද ගෙවල්වල මෝටර් සයිකල්, ත්‍රීවිල්, කාර් පාවිච්චි කරනවා. මස්, මාළු පරිභෝජනය වැඩි වෙලා. එදාට වඩා ජීවන වියදම වැඩිවෙලා කියලා විපක්ෂය කෑගසන්නේ මේවා තේරුම් නොගෙනයි.

රනිල්ට ඕන රට කෑලි කෑලිවලට කඩලා දීලා හරි රටේ පාලන බලය ලබා ගන්නයි. අපි මේ යථාර්ථය තේරුම් ගත යුතුයි. අද උතුරු පළාත් සභාව ඉල්ලන්නෙත් ප්‍රභාකරන් ඉල්ලපු දේමයි. ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ රජය මේ දේවල් ලබා දෙන්න කිසිදු සූදානමක් නොමැති බවද කිව යුතුයි.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා