ජනපති මහින්ද තෙවන වරටත් මෙරට ජනපති පදවියට පත්වෙනවා

ජනපති මහින්ද තෙවන වරටත් මෙරට ජනපති පදවියට පත්වෙනවා

මන්ත්‍රී වී. රාධක්‍රිෂ්ණන්

අධිරාජ්‍යවාදී යුගයෙන් පසු රටේ සංවර්ධනයට දැවැන්තම සේවාවක් සිදු වූයේ වත්මන් ජනපතිතුමාගේ යුගයේ බැවින් ඉතිහාසයේ ප්‍රථම වරට මහින්ද රාජපක්ෂ මහතා තෙවන වරටත් මෙරට ජනපති පදවියට පත්වන බව කඳුරට ජනතා පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වී. රාධක්‍රිෂ්ණන් මහතා පැවසීය.

අභියෝග ජයගෙන රටක් ඉදිරියට ගෙන යාමට විධායක ජනාධිපති ක්‍රමය ඉතාම සුදුසු බවත්, දශක තුනක ත්‍රස්තවාදය නිමා කැර රට යෝධ සංවර්ධන මාවතකට ගෙන යමින් මහින්ද රාජපක්ෂ මහතා වත්මන් ජනාධිපති ක්‍රමය රටට ඉතා සුදුසු බැව් ඔප්පු කැර පෙන්වා ඇතැයි ද රාධක්‍රිෂ්ණන් මහතා පැවසීය. මහනුවර දී ඊයේ (17) පැවැති මාධ්‍ය හමුවකදී හෙතෙම මේ බැව් කීය.

එදා අධිරාජ්‍යවාදීන් මේ රටට කළ සංවර්ධන කාර්යයන් පිළිබඳව ජනතාව කතා කළ බවත්, එහෙත් අද එය වෙනස් වී මහින්ද රාජපක්ෂ යුගයේ සංවර්ධන කාර්යයන් පිළිබඳ කතා කිරීමට ජනතාව උනන්දු වන බවත් ඒ මහතා පැවසීය.

ඌව පළාත් සභා මැතිවරණයෙන් සන්ධානය දැවැන්ත ජයග්‍රහණයක් ලබන බවත්, ඒ සඳහා තම පක්ෂය ඇතුළු සියලු ද්‍රවිඩ පක්ෂවල සහය රජයට ලැබෙන බවත් මන්ත්‍රීවරයා කීය.

ආණ්ඩුව පිළිබඳව ඇතැම් අවස්ථාවල යම් යම් ප්‍රශ්න කතා කළ ද ජනාධිපතිතුමන් කෙරෙහි මේ රටේ ජනතාවගේ අසීමිත ආදරයක්, ගෞරවයක් හා විශ්වාසයක් පවතින්නේ යැයි ද හෙතෙම කීය.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා