තෙල් සංස්ථාව කෑලි කෑලිවලට කඩා විකුණූ එජාපය  තෙල් පිරිපහදුව නිරීක්ෂණය කිරීම සදාචාරාත්මක නැහැ

තෙල් සංස්ථාව කෑලි කෑලිවලට කඩා විකුණූ එජාපය  තෙල් පිරිපහදුව නිරීක්ෂණය කිරීම සදාචාරාත්මක නැහැ

තෙල් පිරිපහදුව නිරීක්ෂණයට පැමිණි එජාප මන්ත්‍රීන්ට සේවකයෝ විරෝධය පාති

තෙල් සංස්ථාව කෑලි කෑලිවලට කඩා සොච්චම් මුදලකට විකුණා දැමූ එක්සත් ජාතික පක්ෂයට තෙල් පිරිපහදුව නිරීක්ෂණය කිරීමට සදාචාරාත්මක අයිතියක් නැතැයි පවසමින් සපුගස්කන්ද තෙල් පිරිපහදුව නිරීක්ෂණය කිරීමට පැමිණි එජාප මන්ත්‍රී කණ්ඩායමට තෙල් සංස්ථා සේවකයන් විරෝධය පළ කළහ.

තෙල් සංස්ථා සේවක සේවිකාවන් උද්ඝෝෂණ පුවරු ඔසවාගෙන කළු කොඩි දමා එජාප මන්ත්‍රීවරුන්ට විරෝධය දැක්වූහ.

එජාප මන්ත්‍රීවරු පැමිණෙමින් ඡායාරූප - ලයනල් පී. පෙරේරා කැලණිය විශේෂ

විරෝධතා දක්වන පිරිපහදු සේවකයින්

 

මෙහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ පිරිපහදු ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ සභාපති බන්දුල සමන් කුමාර මහතා මෙසේ කීය.

තෙල් සංස්ථාවට ආදරය කරන මෙහි සියලුම සේවක සේවිකාවන් එක්සත් ජාතික පක්ෂයේ මේ නිරීක්ෂණ මන්ත්‍රී කණ්ඩායමට විරෝධය දක්වනවා.

ඔවුනට මේ භූමියට ඇතුළුවීමට සැබැවින්ම සදාචාර අයිතියක් නැහැ. එයට හේතුව ඔවුනගේ පාලන සමයේදී මේ ආයතනය විනාශ කළ බැවිනි. 2003 වසරේදී තෙල් සංස්ථාව කෑලිවලට කඩා සොච්චම් මුදලකට විකුණා දැමූ මොවුන් මෙහි පැමිණෙ‍නුයේ රෙදි ඇඳගෙනදැයි අපි විමසනවා.

එදා මොවුන් පෞද්ගලීකරණය මුවාවෙන් බොහෝ ආයතන විකුණා කෑ උදවියයි. තෙල් සංස්ථාවට සමීපව තිබූ නයිලෝන් සික්ස් ආයතනය එදා එක්සත් ජාතික පක්ෂ රජය විසින් තුට්ටු දෙකට විකුණා දැමුවේ එහි සේවකයින් ද අතරමං කරමිනි.

මේ වන විට නිදහස් රටේ නිදහස් ආකාරයට වරාය තුළට ඉන්ධන පැමිණෙනවා.

එල්. ඕ. අයි. සී. සමාගමට රටට අයත් ඉන්ධන හල් විකුණා දැමූ උදවිය මේ ආයතනයේ දූෂණ සොයනුයේ කිසිදු හිරිකිතයකින් තොරවය. ඉතිහාසය තුළ සපුගස්කන්ද ප්‍රදේශය එක්සත් ජාතික පක්ෂයට අමතකව ගොස් ඇති බවක් පෙනෙන්නට තිබේ. බටලන්ද වධකාගාරය පිහිටා තිබුණේ ද තෙල් සංස්ථාව ආසන්නයේය. එය දැකගන්නට මේ අය නොයන්නේ ඇයි?

තෙල් පිරිපහදුව ආරම්භ කළේ සිරිමා‍වෝ බණ්ඩාරනායක මැතිනිය හා ටී. බී. ඉලංගරත්න මහතාය. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මේ වන විට මේ ආයතනය රැකගනිමින් නිසි මඟකට ගෙන ඇත.

වසර 45 ක ඉතිහාසයක් ඇති පිරිපහදුව අපවිත්‍ර කිරීමට එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුනට ඉඩදිය නොහැක. මේ සේවක විරෝධය ඒ නිසාය.

මේ අතර සපුගස්කන්ද පොලිස් ස්ථානාධිපතිවරයා විසින් මේ සම්බන්ධව මහර මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබූ අතර සංස්ථා දේපොළ හා ‍පුද්ගල හානි සිදුකරන ඕනෑම අයෙකු තරාතිරම නොබලා අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත යොමුකරවීමට ඉන් බලය දී තිබූ බව සඳහන්ව තිබුණි. මෙහිදී පොලිස් බලඇණි සීරුවෙන් තබා දැඩි පොලිස් ආරක්ෂාවක් තෙල් සංස්ථාව වටා ඇතිකර තිබුණි.

බස්නාහිර උතුර භාර නියෝජ්‍ය පොලිස්පති එල්. ජී. කුලරත්න මහතා මෙහිදී අධිකරණ වාර්තාව එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුනට ඉදිරිපත් කරන ලදී.

මේ නිරීක්ෂණ චාරිකාව සඳහා එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් වන අජිත් පී. පෙරේරා, හර්ෂ ද සිල්වා, එරාන් වික්‍රමරත්න, රවි කරුණානායක, අජිත් මාන්නප්පෙරුම, රුවන් විජයවර්ධන, නලින් බණ්ඩාර, නිරෝෂන් පෙරේරා, ගයන්ත කරුණාතිලක යන මන්ත්‍රීවරු සහභාගි වූහ.

මෙහිදී ඔවුන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ සඳහා දැඩි විරෝධයක් පාන ලදී.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා