ඩුමිනිගේ අගනා ශතකයෙන්

ඩුමිනිගේ අගනා ශතකයෙන්

දකුණු අප්‍රිකාව කඩුලු 9ට ලකුණු 455යි

ශ්‍රී ලංකාව කිසිවෙකු නොදැවී ලකුණු 30යි

ජීන් පෝල් ඩුමිනිගේ ශතකය හා අග පෙල පිතිකරුවන් සමග කඩුලු සබඳතා මත දකුණු අප්‍රිකාව ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ ඊයේ දෙවැනි දිනයේදී කඩුලු 9 ට ලකුණු 455ක් රැස්කර ගෙන පළමු ඉනිම නතර කළේය.

දෙවැනි දින තරගය නතර කරන විට ශ්‍රී ලංකාව කිසිවෙකු නොදැවී ලකුණු 30ක් ලබා ගෙන සිටියේය. කෞශල් සිල්වා ලකුණු 8ක්ද, උපුල් තරංග ලකුණු 20ක්ද රැස්කර ගෙන සිටියහ. මේ පිතිකරුවන් දෙදෙනා මුහුණ දුන්නේ ඕවර 12කට පමණි.

අංක 8 පිතිකරු ලෙසින් කඩුල්ලට පැමිණ නොදැවී ශතකයක් වාර්තා කළ ඩුමිනි හා වර්නන් ෆිලැන්ඩර් අතර 8 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 75ක සබඳතාවක්ද, ඩුමිනි හා මෝන් මෝකල් අතර 9 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 66ක සබඳතාවක්ද ගොඩනැගිණි.

කඩුලු 5කට ලකුණු 268 සිට ඊයේ දෙවැනි දින තරගය ආරම්භ කළ දකුණු අප්‍රිකාවේ හයවැනි කඩුල්ල ඊයේ යැවුනු නව වැනි ඕවරයේදී බිඳ වැටෙමින් ඩේල් ස්ටෙයින් (3) දැවී ගියේය. ඔහුගේ කඩුල්ල බිඳ දැමුවේ වේග පන්දු යවන සුරංග ලක්මාල් ය. තරගය ආරම්භ වී මිනිත්තු 33ක් ගතවෙද්දී එම කඩුල්ල බිඳ වැටෙන විට මුළු ලකුණු සංඛ්‍යාව 290ක් විය. ඕවර 101.4දී දකුණු අප්‍රිකානු ඉනිමේ මුළු ලකුණු 300 වාර්තා විය. පෙරේදා පළමු දින තරගයේ පන්දු රකිමින් සිටියදී තුවාළ ලැබූ වේග පන්දු යවන ශමින්ද එරංග ඊයේ තරගයට ක්‍රීඩා කළේ නැත. දකුණතේ මාපටැඟිල්ලේ සවිය පැලී මැහුම් අටක් දමා තිබෙන එරංග මේ තරගයේ ඉදිරි දිනවල ක්‍රීඩා කිරීම අවිනිශ්චිතය.

කුයින්ටන් ඩි කොක් හා ජීන් පෝල් ඩුමිනි හත්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 24ක් එක් කරමින් සිටියදී ඩිල්රුවන් පෙරේරාගේ පන්දුවට ‘ස්ලිප්’ ක්‍රීඩක මහේල ජයවර්ධන වෙත දුන් උඩ පන්දුව රැක ගැනීමෙන් ඩි කොක් දැවී ගියේය. ඒ වන විට මුළු ලකුණු ප්‍රමාණය 314ක් විය. මිනිත්තු 108ක් තිස්සේ පන්දු 90කට මුහුණ දුන් ඩි කොක් හතරේ පහර හයක්ද එල්ල කරමින් ලකුණු 51ක් රැස් කළේය.

දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට දකුණු අප්‍රිකාව කඩුලු 7කට ලකුණු 331ක් ලබා ගෙන සිටියේය.

ඩි කොක් දැවී යාමෙන් පසුව කඩුල්ලට පිවිසි වර්නන් ෆිලැන්ඩර්, ඩුමිනි හා එක්ව 8 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 75ක අගනා සබඳතාවක් ගොඩනැගීමට සමත් විය. මේ දෙදෙන මිනිත්තු 110ක කාලයක් ඕවර 30කට මුහුණ දෙමින් 8 වැනි කඩුල්ල ආරක්ෂා කළහ.

අවසානයේ තරගයේ 139 වැනි ඕවරයේ මුළු ලකුණු සංඛ්‍යාව 389ක් ලෙස සටහන්ව තිබියදී ඇන්ජලෝ මැතිව්ස්ගේ පන්දුවට කඩුල්ල මුවා කරමින් ෆිලැන්ඩර් දැවී ගියේය. පන්දු 96කට මුහුණ දුන් ඔහු හතරේ පහර 3ක් සමග ලකුණු 27ක් ලබා ගත්තේය. 143 වැනි ඕවරයේදී දකුණු අප්‍රිකානු ඉනිමේ මුළු ලකුණු 400 වාර්තා විණි.

සවස තේ පානය සඳහා තරගය නතර කරන විට දකුණු අප්‍රිකාව කඩුලු 8ක් දැවී ලකුණු 414ක් ලබා ගෙන සිටියේය. දිවා වරුවේ තරගයේදී ඔවුන් එක් කඩුල්ලක් පමණක් අහිමි කරගෙන ලකුණු 83ක් රැස්කර ගෙන තිබිණි.

මුළු ලකුණු 433දී දකුණු අප්‍රිකාවේ 9 වැනි කඩුල්ල ලබා ගැනීමට උදාවූ අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට නොහැකි විය. ලකුණු 82ක් ලබා ගෙන සිටි ඩුමිනි, රංගන හේරත්ගේ පන්දුවට ‘මිඩ් ඕෆ්’ ස්ථානයට දුන් උඩ පන්දුව ඩිල්රුවන් පෙරේරා අතින් ගිලිහිණි.

ඕවර 166ක් අවසානයේ ශ්‍රී ලංකාව තෙවැනි නව පන්දුව ලබා ගත්තේය. එයින් යැවුනේ පන්දු දෙකක් පමණි. ඩිල්රුවන් පෙරේරා යැවූ එම ඕවරයේ පළමු පන්දුවෙන් ලකුණක් ලබා ගනිමින් ඩුමිනි ඔහුගේ ශතකය ලබා ගත්තේය.

මිනිත්තු 261ක් හා පන්දු 206කින් වාර්තා වූ එම ශතකයට හතරේ පහර 10ක් ඇතුළත්ව තිබිණි. මෙය ජීන් පෝල් ඩුමිනිගේ සිවුවැනි ටෙස්ට් ක්‍රිකට් ශතකය විය.

දෙවැනි පන්දුව කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් මෝන් මෝකල් දැවී ගියේය. ඒ, 9 වැනි කඩුල්ල මුළු ලකුණු 455දී බිඳ වැටීමත් සමගම දකුණු අප්‍රිකාව ඉනිම නතර කළේය.

මිනිත්තු 110ක් කඩුල්ලේ රැඳී සිටිමින් පන්දු 74කට මුහුණ දුන් මෝකල් හතරේ පහර හතරක්ද එල්ල කරමින් ලකුණු 22ක් රැස් කළේය. ඔහු සහ ඩුමිනි 9 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 165කදී ලකුණු 66ක් එක් කළහ.

ඩිල්රුවන් පෙරේරා ලකුණු 162කට කඩුලු 4ක්ද, සුරංග ලක්මාල් ලකුණු 75කට කඩුලු 3ක්ද ලබා ගත්හ.

 

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා