මුද්‍රණය සඳහා

 
පැනමා ඇළේ සියක් වසක කතාව

පැනමා ඇළේ සියක් වසක කතාව

පැනමා ඇළ ඉදිකරමින්

ංජිනේරු ශිල්පයේ විශ්මයක් ලෙස සැලකෙන හා ලෝක වෙළෙඳාම තීරණාත්මක වෙනසකට ලක් කළ අදටද ගෝලීය වෙළෙඳාමේ අත්‍යවශ්‍ය භූමිකාවක් සපුරාලන මෙන්ම හෙටට ද එකී කාර්යභාරය ඉටුකරනු ඇති පැනමා ඇළ විවෘත කොට ඉකුත් 15 වැනිදාට සිය වසරක් සපිරිණි. පැනමා නගරයේ දී එය උත්සවාකාරයෙන් සැමරීමට ද සිදුවිය.

මේ වනවිට පැනමා ඇළේ හිමිකාරිත්වය අමෙරිකාවට නැතත් අමෙරිකානු යුද ශක්තිය පෙන්වීමට අදටද එය ආධාරකයක්ව ඇත. විවෘත වූ දා පටන් ගෙවී ගිය සියක් වසරක කාලසීමාව තුළ නෞකා 900,000කට වැඩි ප්‍රමාණයක් එය හරහා යාත්‍රා කොට තිබේ.

අද වනවිට ලෝක වෙළෙඳාමෙන් සියයට 5ක පංගුවකට පැනමා ඇළ දායක වෙයි. සිය වසක් ගෙවා නිමා කළ ද එහි ඉතිහාස කතාව තවමත් ලියා නිමවී නැත. තවමත් එය ලියැවෙමින් ඇත්තේ තුන්වැනි අදියර යටතේ කෙරෙමින් තිබෙන පුළුල් කිරීම් 2015 වර්ෂයේ දී සම්පූර්ණ වූ පසු අනාගතයට ද තවත් පරිච්ඡේදයක් ලිවීමට ඉතිරි කරමිනි.

පැනමා ඇළ ඉදිකිරීම පිළිබඳ සංකල්පය හැමදාමත් තරගකාරීය. රටවල් ගණනාවක ආණ්ඩු මෙන්ම ඉංජිනේරුවන් ද ඇළ වෙනුවට යොදාගත හැකි විකල්ප ගැන එය ඉදිකිරීමට පෙර සළකා බලා තිබිණි. 1914 දී ඇළ විවෘත කිරීමට පෙර නිකරගුවාව හරහා දුම්රිය මාර්ගයක් ඉදිකරමින් මේ අවශ්‍යතාව සපුරා ගැනීමට ද සැලැස්මක් විය.

අත්ලාන්තික් සාගරය හා පැසිෆික් සාගරය එකිනෙක යාකරමින් පැනමාව හරහා වැටී ඇති පටුසන්ධිය ඔස්සේ නෞකා ගමනාගමනයට තිබූ නොහැකියාව හඳුනා ගනිමින් දුම්රිය ඔස්සේ එය තරණය කිරීමට ද යෝජනා කෙරිණි. නිකරගුවාව හොංකොං පාදක කරගත් කණ්ඩායමක් හා එක්ව පැනමා ඇළ පිළිබඳ සැලැස්මට තරගයක් දීමේ ප්‍රයත්නයක් ගැන ද සඳහන් වෙයි.

ඇ.ඩො. බිලියන 40ක පමණ ව්‍යාපෘතියක් වූ එය හුදෙක් ප්‍රචාරාත්මක ක්‍රමෝපායක් පමණක් වූ බව ඇතැම් විචාරකයන්ගේ අදහසය. පැනමා ඇළේ යාත්‍රා කළ නොහැකි විශාල පරිමාණයේ නෞකා හිමි සමාගම් තුළ ද ඊට වඩා හොඳ විකල්පයක් ගැන අපේක්ෂා තිබිණි.

පැනමා හි භාණ්ඩ හා මගී ප්‍රවාහනය පිළිබඳ විශේෂ කොමසාරිස්වරයා “සයන්ටිෆික් අමෙරිකන්” සඟරාවේ 1912 නොවැම්බර් 9 වැනි දින ලියන ලද ලිපියක පැනමා ඇළ ඉදිකිරීමෙන් අමෙරිකානු ආර්ථිකයට සහ ආරක්ෂාවට සැලසෙන ප්‍රතිලාභ පිළිබඳ පෙන්වා දී ඇත්තේ අමෙරිකානු නාවික හමුදාවේ කාර්යක්ෂමතාව හා ප්‍රහාරක බලය ද ඉන් ශක්තිමත් වනු ඇතැයි සඳහන් කරමිනි.

පැනමා ඇළ නිල වශයෙන් විවෘත වූයේ 1914 අගෝස්තු 15 වැනි දිනයි. ඇළ ඔස්සේ මංගල ගමනේ යෙදෙමින් එස්. එස්. ඇන්කන් නම් වාෂ්ප බලයෙන් යාත්‍රාකරන නෞකාව අත්ලාන්තික් සාගරයේ සිට පැසිෆික් සාගරය දක්වා යාත්‍රා කළේය.

පැනමා ඇළ ඉදිකිරීමේ අවශ්‍යතාව වඩාත් දැනුණේ 20 වෙනි සියවසේ දී වූවද එය ඉදිකිරීම සඳහා මුලින්ම සාකච්ඡා සිදුවූයේ 16 වෙනි සියවසේ දීය. එදා එම අදහස ඇතිවූයේ අත්ලාන්තික් හා පැසිෆික් සාගර අතර ගමනාගමනයට ගතවන කාලය ඉතිරි කරගැනීමේ වුවමනාව මුල්කොට ගනිමිනි.

එමෙන්ම, එසේ කළ හැකිනම් අන්තර්ජාතික වෙළෙඳාම සහ වාණිජ ලෝකය වඩා වේගවත් හා ලාබදායි මෙන්ම යහපත් කිරීමටත් එය හේතුවනු ඇති බවට පසුකාලීනව වඩා වේගයෙන් ග්‍රහණය කර ගැනිණි. ඒ ඔස්සේ යමින් 1869 දී සූවස් ඇළ ඉදිකිරීමෙන් ලත් අත්දැකීම් ද සමඟ ප්‍රංශය පැනමා ඇළ ඉදිකිරීමේ කටයුතු 1881 දී ආරම්භ කළේය.

පැනමා ඇළේ ඉතිහාස කතාව නම් කීර්තිමත් එකක් නොවේ. අසාර්ථකවීම්, දේශපාලන කුමන්ත්‍රණ පමණක් නොව එය ඉදිකරන අතරතුර සිදුවූ ජීවිත හානි දහස් ගණනකින් ද එකී ඉතිහාසය පිරී තිබේ. ඇළේ ඉදිකිරීම් ඇරැඹූ ප්‍රංශය වැඩිකල් නොගොස් ව්‍යාපෘතිය අත්හැර දැමුවේ එහි සේවය කළ කම්කරුවන් 20,000ක් පමණ විවිධ ලෙඩ රෝගවලට ගොදුරුවීමෙන් සහ අනතුරුවලට ලක්වීමෙන් මියගිය බැවිනි. ඉංජිනේරුමය ශිල්පීය ගැටලු ද ප්‍රංශයට සිය ප්‍රයත්නය අත්හැරීමට බලපෑවේය.

දීර්ඝ ව්‍යාපෘතියක් වූ සූවස් ඇළ ඉදිකිරීමේ දී ප්‍රංශය සාර්ථක වූවද පැනමා ඇළ ඉදිකිරීම සඳහා වූ ඔවුන්ගේ ප්‍රයත්නය වසර 13කට පසු බිඳ වැටිණි. දස දහස් සංඛ්‍යාත මිනිස් ජීවිත ගණනක් ඒ වෙනුවෙන් කැප කිරීමට ද ඇ.ඩො.287,000,000ක මූල්‍යමය අලාභයක් විඳදරා ගැනීමට ද ප්‍රංශයට සිදුවිය.

ව්‍යාපෘතියට යොදවා ගත් කම්කරුවන් වැඩි දෙනෙකුට ප්‍රමාණවත් ශිල්පීය දැනුමක් නොතිබූ අතර පැනමාවේ කැලෑබද පෙදෙස්වල වැඩ කිරීමේ දී මැලේරියාව, කහඋණ වැනි වසංගතවලට ඔවුහු ගොදුරු වූහ. ව්‍යාපෘතිය අසාර්ථක වීමට බලපෑමේ හේතූන්ට අමතරව එහි නිසි මූල්‍යමය කළමනාකරණයක් සිදුනොවීම හා දේශපාලනික කාරණයක් වූ දූෂණය ද ඊට බලපෑ බව හෙළිදරව් වී තිබේ.

වර්තමානයේ දී පැනමා ඇළේ හිමිකාරිත්වය පැනමාව සතුවූවද එය ඉදිකරන සමයේ අදාළ භූමි ප්‍රදේශයේ පළමු හිමිකරුවන් වූයේ කොළොම්බියාවයි. ඉන්පසුව එය ප්‍රංශයටත්, ඔවුන්ගෙන් පසු අමෙරිකාවටත් අයත්ව තිබිණි. පැනමා ඇළ ඉදිකළ අමෙරිකාව එහි හිමිකාරිත්වය 1977 දක්වාම තමන් සතුව තබා ගත්තේය. එතැන් පටන් එහි අයිතිය පැනමාවට පැවරුණේ ටොරිජෝස් - කාටර් ගිවිසුම යටතේය.

පැනමා ඇළ ඉදිකිරීමට 1902 දී අමෙරිකාවේ සෙනෙට් මණ්ඩල අනුමැතිය ලැබිණි. 1903 ජනවාරි 22 වැනිදා එය ඉදිකිරීමට අදාළ ගිවිසුම්වලට අමෙරිකාව සහ කොළොම්බියාව අත්සන් තැබීය. සිය භූමිය ඇළ ඉදිකිරීම සඳහා බදු පදනමින් අමෙරිකාවට ලබාදීමට කොළොම්බියාව ඉන් එකඟ විය.

මෙය 99 අවුරුදු බදු ක්‍රමය වශයෙන් ඇතැම්විට වැරැදියට අර්ථකථනය වූවද එය එවැන්නක් නොවේ. අදාළ ගිවිසුමට අමෙ‍රිකා සෙනෙට් මණ්ඩලයේ අනුමැතිය ලැබුණද කොළොම්බියා සෙනෙට් මණ්ඩලයෙන් ඊට අවශ්‍ය අනුමැතිය නොලැබිණි.

කොළොම්බියාව දෙකඩ කිරීම සඳහා අමෙරිකාව පැනමා කැරැළිකරුවන්ට හමුදාමය හා මූල්‍යමය ආධාර ලබාදෙනු ඇතැයි මත පළවී තිබිය දී ජනාධිපති තියඩෝර් රූසවෙල්ට් සිය උපායමාර්ග ඊට ගැළපෙන පරිදි වෙනස් කළේය. කොළොම්බියාව දෙකඩ කරමින් පැනමාව බිහිකිරීමට අ‍මෙරිකාවේ සහාය ලැබිණි. 1903 නොවැම්බර් 2 වැනිදා අමෙරිකානු යුද නෞකා මුහුදු මාර්ග අවහිර කළ අතර ඊට පසු දිනම පැනමාව නිදහස් රාජ්‍යයක් ලෙස ප්‍රකාශයට පත්විය.

අමෙරිකාව වහා නව රාජ්‍ය පිළිගන්නා බව නිවේදනය කළේය. දින කිහිපයක් තුළ දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ද ඇතිවිය. ඉතාමත් ඉක්මනින් පැනමා ඇළට අදාළ ප්‍රදේශයේ පරිපාලනමය හා ආරක්ෂාව පිළිබඳ බලතල දින නියමයක් නැතිවම අමෙරිකාවට පැවරිණි.

කොළොම්බියාව සම්බන්ධයෙන් අමෙරිකාව ක්‍රියා කළ ආකාරය අමෙරිකාවේම ඇතැම් පාර්ශ්වවල විවේචනයට ලක්විය. එහෙත් ජනාධිපති රූස්වෙල්ට් කීවේ ඇළ ගැන විවාද නොකරන ලෙස හා තමන් ගැන විවාද කරන ලෙසයි. අමෙරිකාව පැනමා තානාපතිවරයාට දැක්වූ සහාය විවේචනය කළ නිව්යොර්ක් ටයිම්ස් පුවත්පත එය පහත් හා මුදල්මය ලාභය තකා කරන ලද්දක් ලෙස විවේචනය කළේය.

මෑතදී ඉතිහාසඥ ජෝර්ජ් ටින්චාල් එම ක්‍රියාව විවේචනය කළේ අමෙරිකානු විදේශ ප්‍රතිපත්තියේ සිදුවු බරපතළ වරදක් ලෙස ද කියමිනි. ලතින් අමෙරිකාව අරබයා වූ එම පිළිවෙත අමෙරිකානු ‘ගන්බෝට් ඩිප්ලොමසි’ නමින් විචාරකයෝ හඳුන්වා දුන්හ.

ප්‍රංශය සතු උපකරණ මිලදී ගත් අමෙරිකාව 1904 දී ඇළ ඉදිකිරීම් කටයුතු දියත් කළේය. පැනමා දුම්රිය මාර්ගය ද ඔවුන් විසින් මිලට ගන්නා ලදී. පැනමාවට අමෙරිකාව වැඩිපුරත් මුදල් ලබාදී ඇතැයි වාර්තාවී තිබේ.

ජනාධිපති රූස්වෙල්ට් විසින් 1904 මැයි මස ඉලිනොයිස් මධ්‍යම දුම්රිය සේවයේ හිටපු ප්‍රධාන ඉංජිනේරුවරයා ද පසුව එහිම සාමාන්‍යාධිකාරවරයා ද ලෙස කටයුතු කළ ජෝන් ෆින්ඩ්ලේ වොලස් පැනමා ඇළ ව්‍යාපෘතියේ ප්‍රධාන ඉංජිනේරුවරයා ලෙස පත්කරන ලදී. 1905 දී ඔහු ඉල්ලා අස්වූ අතර අනුප්‍රාප්තිකයා වූයේ ජෝන් ෆ්‍රෑන්ක් ස්ටීවන්ස් ය.

ඔහු ස්වයං අධ්‍යාපනය ඔස්සේ අත්දැකීම් ලබා තිබූ අයෙකු ද විය. මහා උතුරු දුම්රිය ව්‍යාපෘතිය ද ඉදිවූයේ ඔහුගේ අධීක්ෂණයෙනි. පැනමා ඇළ ව්‍යාපෘතිය පිළිබඳ කටයුතුවලදී ඔහු සෘජුවම වොෂින්ටනයේ රූස්වෙල්ට් පාලන‍යත් සමඟ ගනුදෙනු කළේය. මැලේරියා, කහ උණ වැනි රෝගී තත්ත්ව අමෙරිකානු ව්‍යාපෘතියට ද බලපෑම් කළේය.

කම්කරුවන් 5000 කට වැඩි පිරිසක් එකී ලෙඩ රෝග හා අනතුරුවලට ලක්වී මිය ගියහ. 1907 දී ස්ටීවන්ස්ගේ ඉල්ලා අස්වීම සිදුවූ අතර ඔහුගේ අනුප්‍රාප්තිකයා වූයේ අමෙරිකානු හමුදාවේ මේජර්වරයකු වූ ජෝර්ජ් වොෂින්ටන් ගොයෙනල්ස්ය. ඔහු ඉංජිනේරු බළකායේ නිලධාරියෙකි. පැනමා ඇළ ව්‍යාපෘතිය සාර්ථක අවසානයක් කරා රැගෙන ආවේ ඔහුගේ අධීක්ෂණයෙනි.

ව්‍යාපෘතියේ නොයෙක් අදියර හා කොටස් තමන් යටතේ සිටි නිලධාරින්ට පැවරූ ගොයෙනල්ස් අත්ලාන්තික්, මධ්‍යම හා පැසිෆික් යනුවෙන් කලාප 3කට බෙදා එහි ඉදිකිරීම් සිදුකර 1914 දී නිමාවට පත් කළේය. ව්‍යාපෘතිය නිමකිරීම සඳහා අමෙරිකාවට ඇ.ඩො. 375,000,000ක් අද නම් ඇ.ඩො. 8,600,000,000 වැය විය. අමෙරිකා ඉතිහාසයේ විශාලතම ඉංජිනේරු ව්‍යාපෘතිය ලෙස ද මෙය වාර්තාවක් තබා තිබේ. ඇළේ දිග කි.මී.77.1 කි.

පැනමා ඇළ විවෘත වූ වර්ෂයේ දී එය හරහා ගමන් කළේ නෞකා 1000කි. 2008 වර්ෂය වනවිට එය නෞකා 14702ක් ලෙස සටහන්ව තිබිණි. විවිධ ප්‍රමාණයේ යාත්‍රා 800,000කට වැඩි ප්‍රමාණයක් ද එය හරහා ගමන් කර ඇත. ඇළ හරහා ගමන් කිරීමට විශාල නෞකාවකට පැය 20 -30 අතර කාලයක් ගත වන බව ගණන් බලා තිබේ.

එය ඉකුත් දශකයක පමණ කාලසීමාව පුරාම වෙනස්වී නැත. සාමාන්‍යයෙන් වර්ෂයක දී අනතුරු 10 - 30 අතර ප්‍රමාණයක් ඇළ ආශ්‍රිතව වාර්තා වෙයි. අත්ලන්තික් හා පැසිෆික් සාගර අතර මුහුදු ගමන්වලට අදාළව නෞකා සංක්‍රමණ 11,725ක් 2003 දී වාර්තා වී ඇති අතර 2009 වනවිට එය 12855ක් විය. ඇළේ මූල්‍යමය වර්ෂය ලෙස සලකන්නේ අදාළ වර්ෂයේ ඔක්තෝබර් සිට ඊළඟ වර්ෂයේ සැප්තැම්බර් අතර කාලසීමාවයි.

ඇළ හරහා යාත්‍රා කරන විශාල නෞකාවල රැගෙන යන බර අනුව එම ටොන් ගණන 1999 දී මිලියන 228ක් පමණ විය. 2007 දී එය ටොන් මිලියන 313 පමණ දක්වා වාර්තාගත අන්දමින් ඉහළ ගියේය.

මේ දක්වා අවස්ථා කිහිපයක දී ඇළේ ප්‍රතිසංස්කරණය සිදුවී ඇති අතර එම කටයුතු සඳහා පැනමා ඇළ අධිකාරිය ඇ.ඩො. බිලියන ගණනක් ආයෝජනය කර ඇත. වර්තමානයේ දී ද එහි ධාරිතාව 20% කින් පුළුල් කිරීමේ ව්‍යාපෘතියක් දියත්ව තිබේ.

වර්ෂ 1934 දී ඇළේ ධාරිතාව අනුව එය හරහා රැගෙන යන ලද වර්ෂයකට ටොන් මිලියන 80ක් ලෙස ගණන් බලා තිබුණද 2009 දී එය ටොන් මිලියන 300ක් පමණ දක්වා ඉහළ ගියේ ය. මේ අනුව ඊට යම් නවීකරණයක් එක්කිරීමට සිදුවී තිබේ.

ඇළ ආශ්‍රිතව කෘත්‍රිම තටාක කිහිපයක් ද ඉදිවී ඇත. වර්ග කි.මී. 470ක් පමණ වන ගැටුස් තටාකය ඉන් ප්‍රධානය. එය වැසි දියෙන් පිරී පවතී. ඇළේ මාර්ග දෙකේ දොරටු 3 බැගින් ඉහළට හා පහළට පිහිටා ඇත.

ගැටුස් දොරටුවේ පළල මීටර් 28.5ක් වූ අතර පසුව එය මීටර් 33.53ක් දක්වා පුළුල් කෙරිණි. පැනමා ඇළේ ඉදිරි පුළුල් කිරීමේ කාර්යයන් සඳහා චීනය ද සම්බන්ධ වන ලකුණු මේ වනවිට පළවී ඇත.

අමෙරිකානු සිවිල් ඉංජිනේරුවන් සංගමය විසින් පැනමා ඇළ නූතන ලෝකයේ පුදුම හතෙන් එකක් බවට ප්‍රකාශයට පත්කර තිබේ.

 


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2014 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]