මුද්‍රණය සඳහා

 
රටක් හැඬවූ කොස්ලන්ද

රටක් හැඬවූ කොස්ලන්ද

කන්ද උඩරට කොස්ලන්දේ විශාල ඛේදවාචකයක් සිදු වී තිබේ. 300ක් හෝ 400ක් අතුරුදහන් වී ඇති බවද වාර්තා වී තිබේ. පුද්ගල මරණ 8ක් මේ මොහොත වනවිට වාර්තා වී තිබේ. නායයෑම්, සුනාමි කල් ඇතුව දැනුම් දෙන ස්වාභාවික සිද්ධීන් නොවේ. අප ඒවාට ඔරොත්තු දිය යුතුය. ගැළපිය යුතුය. මේ දේශපාලන වරදක් නොවේ‍. කොස්ලන්දේ ඛේදවාචකයට මහින්ද රාජපක්ෂට දෝෂාරෝපණය කිරීමෙන් කිසි පලක් නැත.

ස්වාභාවික විපත් කිසිවකුටත් වැළක්විය නොහැකිය. මහින්ද රාජපක්ෂ බලයේ සිටියද රනිල් වික්‍රමසිංහ බලයේ සිටියද ජනතා විමුක්ති පෙරමුණේ ආණ්ඩුවක් තිබුණද ස්වාභාවික විපත් සිදු වෙයි. එය වැළැක්විය හැකි ක්‍රමයක් නැත.‍ එහිදී සිදු විය යුත්තේ ‍මේ විපත්වලට ඔරොත්තු දෙන ක්‍රමයක් සකස් කිරීම පමණි. අනෙක් අතින් ස්වාභාවික පරිසරය විනාශ කරන ක්‍රියාකාරකම් නැවැත්විය යුතුය. පරිසරය ගැන කිසිදු හැඟීමක් අද සමාජයට නැත.

සමාජයේ පුද්ග‍ලයෝ පරිසරය ඉතා නාස්තිකාර විදියට භාවිත කරති. එහි ප්‍රතිඵල කොස්ලන්දෙන් අපට දැක ගත හැකි විය. මේ සාධකය ඉතා හොද පණිවිඩයක් සමාජයට ලබා දෙයි. ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරය මේ රටේ දේශගුණය, භූවිෂමතාව, කාලගුණය තීන්දු කරන ප්‍රධාන සාධකයන් ලෙස පවතී.

මධ්‍යම කඳුකරයේ රට පුරා ගලා හැලෙන ජල ධාරා එකසිය ගණනක් තිබේ. මේ ජල ධාරා රට සංවර්ධනය කිරීමේ ප්‍රධාන සාධක ලෙස පවතී. එහෙත් ස්වාභාවික වෙනස්වීම් අනුව මධ්‍යම කඳුකරය රටටම බලපාන නොයෙක් විකාර ඉදිරිපත් කරයි. ඒ අනුව ජල ගැලීමවලටද නාය යෑම්වලටද ඔරොත්තු දීමට අපට සිදු වී තිබේ.

අප දන්නා හැටියට කොස්ලන්දේ මේ නිවාස ව්‍යාපෘතියට නිශ්චිත අවසරයක් ලැබී නැත. ඒ සම්බන්ධයෙන් නොයෙක්වර සංවාද පැවැත්වී ඇත. එම සංවාදවලින් කියැවී ඇත්තේ මේ ස්ථානය ජනාවාසයකට නුසුදුසු බවය. එහෙත් කිසිවකු ඒ ගැන සැලකිල්ල යොමු කර නැත. ප්‍රාදේශීය සභා, පළාත් සභා, අමාත්‍යාංශ යන කිසිදු ආයතනයක් මේ සම්බන්ධයෙන් ගවේෂණයක් ‍සිදු කර නැත. පර්යේෂණයක් සිදු කර නැත. මිනිසුන්ගේ සැලකිල්ලක්ද ඒ ගැන යොමු වී නැත.

අවසානයේ පුද්ගල ජීවිත 300කට අධික සංඛ්‍යාවක් පස් යටට ගිය බවක් අපට දැනගන්නට ලැබී තිබේ. ආණ්ඩුවක් ලෙස මේ මොහොතේ කළ යුත්තේ අතුරුදන්වූවන් සෙවීම පමණක්ම නොවේ. ආණ්ඩුව මේ ඛේදවාචකයට හේතු සෙවිය යුතුය. වැරැදි ඇතොත් ඒවාද සැලකිල්ලට ගත යුතුය. මිනිසුන් 300ක් හෝ ඊට අධික ප්‍රමාණයක් පස් යටට සැඟවීම යනු සෙල්ලම් කාරණයක් නොවේ‍. ‍ස්වාභාවික විපත් ආණ්ඩුවට දන්වා රට තුළට කඩා වැටෙන්නේ නැත.

ස්වාභාවික විපත් සහ දේශපාලනය අතර කිසිදු සම්බන්ධතාවක් ඇත්තේද නැත. එහෙත් මේ විපතට පත් වූ අය අතර ඉතා හොඳින් රට ගැන ජාතිය ගැන හඳුනාගත්තෝ සිටිති. ඔවුහු ඒ සම්බන්ධයෙන් ඉතා වැදගත් ප්‍රකාශ කර සිටිති. එක මතයකට අනුව මෙය සම්පූර්ණ ස්වාභාවික ව්‍යසනයකි.

තවත් මතයකට අනුව මෙය ලෝක යථාර්ථයකි. මේ සියල්ලම සැලකිල්ලට ගත යුතුව තිබේ. ලෝකයේ ප්‍රකට රාජ්‍යයන් ස්වභාවික විපත්වලට මුහුණ දෙන්නේ සමාජ සංවිධාන ඔස්සේ ය. එම සමාජ සංවිධාන ජාතිවාදය සලකන්නේ නැත. වෙනත් බේද සලකන්නේද නැත. ඔවු‍න්ගේ ක්‍රියාකාරීත්වය ආපදාවෙන් විපතට පත් වූ අයට සැලකීම පමණි.

මේ අතර තවත් කිවයුතු දෙයක් තිබේ. සොබාදහම විසින් මිනිසා නිරතුරු රැකබලා ගන්නේ ය. ඒ මිනිසා සොබාදහමට සතුරුකම් කරනතාක් පමණි. එසේ වූ කල සොබාදහම ද පෙරළා දක්වන ප්‍රතිචාරය යහපත් නොවේ.

මේ දහම අපි නිරතුරු සිහියේ තබාගත යුතුවෙමු. මේ ‍‍‍‍‍ඛේදවාචකයේදී ජීවිත හා දේපොළ අහිමි වූ අපේම සහෝදර රට වැසියන් සමඟ අපි ද ‍ශෝක වන්නෙමු. එහෙත් ඉන් එහාගිය වගකීමක් ඇතිබව ද සිහිපත් කරන්නෙමු. නොසැලකිල්ල සෑම කිල්ලටම වඩා බලගතුය.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2014 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
webmanager@lakehouse.lk