රජය සහන දුන්නේ අල්ලසක් ලෙස නොවේ

රජය සහන දුන්නේ අල්ලසක් ලෙස නොවේ

සාමාන්‍යයෙන් අයවැය ඉදිරිපත් වන්නේ එළැඹෙන වසර සඳහායි. එහෙත් වසර කීපයක් ඉදිරියට යන ආර්ථික දැක්මක් නැත්නම් චින්තනයක් එමඟින් ඉදිරිපත් වෙන්න පුළුවන්. මෙවර ඉදිරිපත් වී තිබෙන්නේ 2020 දක්වා දිව යන ශ්‍රී ලංකාව මේ කලාපයේ ඉහළටම ඔසවා තැබීමේ දැක්මක් සහිත අයවැයක්.

මෙය 2005 පසු ඇරැඹි මහින්ද රාජපක්ෂ යුගයේ 10 වැනි අයවැය දැක්ම බව සඳහන් කිරීම නිවැරැදියි. ඊට හේතුව ගණන් ඉලක්කම් සහිත හුදු ලේඛනයකට වඩා දැක්මක් මෙහි අඩංගු වීමයි.

2005 වත්මන් රජය බලයට පත්වන විට මේ රට තිබූ තැන අමුතුවෙන් කිවයුතු නැහැ. එදා පැවැතියේ දෙකඩ වූ රටක්. ඉතිරි වී තිබුණේ එම දෙකඩ වීමට ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීමක් පමණයි. තවත් ඉදිරියට ගියා නම් එය ද ලැබීමට ඉඩ තිබුණා. දෙකඩ වී ගිය, ජනතාවගේ බලාපොරොත්තු සුන් වූ, තැන තැන බෝම්බ පිපිරෙන ජනයා උමතුවෙන් මෙන් ඔළු හැරුණු අතේ යන රටක් උරුම වීම තරම් ජනතාවට අත්වීඳීමට සිදු වන තවත් අවාසනාවක් නැහැ.

අවසනේ වසර 31/2ක මානුෂීය මෙහෙයුමකින් මේ රට මුදා ගැනීමට වත්මන් මහින්ද රාජපක්ෂ පාලනය සමත් වුණා. ඒ සඳහා දේශපාලන නායකත්වය දී, නිවැරදි ඉලක්කයට බියක් සැකක් නොමැතිව එම සටන මෙහෙය වීමේ නායකත්ව භූමිකාව සැපයෙන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ගේ මැදිහත් වීමෙන්.

එද කිසිවෙක් වැඩි පඩි විවිධ දීමනා හා වරප්‍රසාද ඉල්ලූවේ නැහැ. එදා කාගේත් එකම ඉල්ලීම වුයේ මේ රට ත්‍රස්ත්‍රවාදීන්ගෙන් නිදහස් කර දෙන ලෙසයි. මේ ඉල්ලීම මීට පෙර අනේකවාරයක් ඉදිරිපත් වුව ද ඉන් සම්පූර්ණ ප්‍රයෝජනයක් අත් වූයේ නැහැ. අවසානේ ජනතාවගේ බලාපොරොත්තුව අඩුවක් නෑර ඉටු වුණේ මහින්ද රාජපක්ෂ පාලනය මඟින්. 2009 මැයි 19 වැනි දා, එම මානුෂීය මෙහෙයුම අවසන් වුණා. එදා ජනතාව සාමය පමණක් ඉල්ලූවත් ආර්ථික කාරණා සම්බන්ධයෙන් ද ආණ්ඩුවේ අවධානය යොමු වී තිබුණා.

මේ නිසා 2005 පසු යුද සමයේ ද රටේ සමස්ත ආර්ථික වර්ධනය 6%කට වැඩි මට්ටමක තබා ගැනීමට රජයට හැකි වුණා. එය දරුණු සිවිල් යුද්ධයක් පවතිද්දී ද සිදු වූ සුවිශේෂි ආර්ථික ප්‍රගතියක්. 1948 නිදහසින් පසු වසර ගණනාවක් එක දිගට 6%කට වැඩි ආර්ථික වර්ධනයක් මේ රටේ වාර්තා වී තිබුණේ නැහැ. 6% ඉක්මවා ගියේ අතරින් පතර වර්ෂ කීපයක දී පමණයි. මෙහි විශේෂත්වය යුද්ධය පැවැති සමයේ දී ද එක දිගට ගමන් කරන වර්ධනයක් දක්නට ලැබීමයි.

ඊට හේතුව ජනතාව සාමය අපේක්ෂා කළත් ආණ්ඩුවක් විදියට යුද්ධය සාර්ථකව ගෙන යන ගමන් යම් මට්ටමකින් ආර්ථිකය තබා ගැනීමට කටයුතු කිරීමයි. මෙහි සුවිශේෂි තත්ත්වය ඊට පෙර වසර 2කට කාල පරාසයක් තුළ දී රැකියා උත්පාදනයකින් තොරව කිසිදු සංවර්ධන කටයුත්තක් නොකිරීමයි.

අවසානේ ජනතාව ඉල්ලූ සාමය ලබා දී ඉන් අනතුරුව රජය කල්පනා කළේ ජනතාවගේ ජීවන මට්ටම ඔසවා තබන රටේ ආර්ථික සංවර්ධනයට මුල පිරීමයි. ඒ සඳහා යුද බියෙන් තොරව රට සාමකාමී වීම පුළුල් සංවර්ධන ක්‍රියාදාමයක් ඇරඹීමට පහසුවක් වුණා. මෙහි දී නිතැතින්ම යොමු වන්නේ යටිතල පහසුකම් සඳහායි. විදුලිය, මාර්ග, පානීය ජලය වැනි යටිතල පහසුකම් ක්ෂේත්‍රයටයි.

සාමාන්‍යයෙන් ඕනෑම රටක දීර්ඝ කාලීන සිවිල් යුද්ධයක් අවසානේ ඒරට කෙරෙහි ජාත්‍යන්තර අවධානය වැඩි වෙනවා. සංචාරකයින් මහා පරිමාණයෙන් අදාළ රට දැක බලා ගැනීමට පැමිනෙනවා. ඊට අමතරව විදේශ ආයෝජකයින් ආයෝජන සඳහා රටේ පවතින සමකාමී බව උපයෝගී කර ගන්නවා. ශ්‍රි ලංකාව වැනි ස්වභාවික සම්පත් නොමැති අඩු දියුණු සංවර්ධනය වන්නා වූ රටක් ඉහළට ඔසවා තැබීමට නම් විදේශ ආයෝජන අවශ්‍ය වෙනවා.

ඒ සඳහා රටේ යටිතල පහසුකම් සංවර්ධනය විය යුතුයි. මේ නිසා යුද්ධයෙන් පසු ඇරඹී දෙවැනි මහින්ද රාජපක්ෂ යුගය ඇරඹුණේ යටිතල පහසුකම් සහිත වේගවත් සංවර්ධනයක් අරඹමින්. මේ වන විට අපේ රටේ යටිතල පහසුකම් ක්ෂේත්‍රය දියුණු සංවර්ධිත රටක මට්ටමකට පත් වී තිබෙනවා. අද වන විට සමහර දිස්ත්‍රීක්ක විදුලියෙන් සියයට සියයක් ස්වයං පෝෂිත වී අවසන්. 75% ක පැවැති ගෘහස්ථ විදුලිය සැපයුම දැන් 98% දක්වා වර්ධනය වෙලා.

උතුරේ සිට දකුණට විහි දී ඇති දැවැන්ත මහාමාර්ග පද්ධතිය සංවර්ධනය ප්‍රථම වරට රට අධිවේගී මාර්ග එක් වී මහ මග ජනතාව ගත කරන කාලය අඩු කළා. එසේ ම ඈත ප්‍රදේශ අතර මීට ඉහත පැවැති දුරස්ත සම්බන්ධතාවය දැන් දියුණු මහාමාර්ග නිස බෙහෙවින් ලං වෙලා දැන් ගමන් බිමන් සඳහා ගත කරන කාලය අඩුයි. මෙය ජනතාවගේ ගමන් බිමක් සඳහා පමණක් නොව ග්‍රාමීය නිෂ්පාදන නගරයේ වෙළෙඳ පොළට ගෙන ඒමට පවා පහසු වී තිබෙනවා.

මෙය මෙතෙක් කිසිදු යුගයක් නොවුණු තාලේ වේගවත් සංවර්ධනයක්. හම්බන්තොට වැනි අති දුෂ්කර දිස්ත්‍රීක්ක අද පූර්ණ වෙනසකට භාජනය වෙලා. එහි වෙසෙන ජනතාවට පවා මෙය විස්මයක්. හම්බන්තොට පමණක් නොව උතුරේ ජීවත් වන ජනතාවට ද අද මෙය විස්මයක්.

මෙසේ සිදුවන වේගවත් සංවර්ධනයේ ප්‍රතිලාභ ජනතාවට දැනෙන්නේ නැතැයි සමහරු සඳහන් කළා. එසේ ම ජීවන වියදම් ප්‍රශ්නය විපක්ෂය ඉස්මතු කළා. මෙවර අයවැය ඒ සියල්ලටම පිළිතුරක්. නිෂ්පාදන හා පාරිභෝගික ක්ෂේත්‍රය දෙකට සහන ලබා දී තිබෙනවා.

විපක්ෂය පසුගිය දා සමහර ක්ෂෙත්‍රවල ජනතාව පාරට දැම්මේ වැඩි පඩි, ජීවන වියදම් දීමනා ඇතුළු සහන ඉල්ලමින් මෙවර අය වැයෙන් එම සහන දුන්නා. වතුර බිලෙන් හා විදුලි බිලෙන් ලබා දුන් සහනය සාමාන්‍ය පවුලක වියදමින් රු. 2000ක පමණ අඩු වීමක්. සමහර අයට ඊටත් වඩා වැඩියි. ඒ සමඟ ම අවම රජයේ වැටුප (මුලික පඩිය රු. 15000/=කට මට්ටමකට එමින් ගෙන එම ජීවන වියදම් දීමනාව රු.10,000/= මට්ටමට ගෙන ඒ මගින් එක් පවුලකට රු. 25,000ක අවම ආදායමක් ලැබී තිබෙනවා.

ඒ සමඟ ම වී සහතික මිල රබර් සහතික මිල, කිරි ලීටරයක මිල රු. 10/=කින් වැඩි කිරීම ආදී සහන ගත් කල කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ නියැළී සිටින ජනතාවට ද ක්ෂණික සහන රැසක් ලැබිලා. ඉන් අදහස් වන්නේ සහනය රජයේ සේවක සේවිකාවන්ට පමණක් නොවෙයි. තෙල්, ගෑස්, විදුලිය හා ජල සම්පාදනය මඟින් සමස්ත ජනතාවටම ලැබී තිබෙන බවයි.

මෙවර අය වැයේ සහන පැකේජය සමස්තයක් වශයෙන් ගත් කල මෑත ඉතිහාසයේ කිසිදු අයවැයකින් ලැබී නැහැ. එහෙම නම් දැන් විපක්ෂයට කීමට ඇත්තේ කුමක් ද ? තමන් ඉල්ලූ සහන ලබන විට එම සහන අල්ලසක් සේ නම් කරන්නේ කෙසේ ද ? එය සාහසික හැඳින්වීමක්.

වෙන විදිහකින් මේ කියන්නේ අයවැය මඟින් ලබා දිය යුතු සහන එසේ දීම වැරදියි කියල ද? මහපොළ ජීවනාධාර 6400ක් දක්වා වැඩි කිරීම වරදක් ද කිරි ලීටරයකට මිල රු. 60/= දක්වා වැඩි කිරීම වරදක් ද ? වී කිලෝ එකක සහතික මිල රු. 40/=ක් දක්වා වැඩි කිරීම වැරදි ද ? ඇත්ත කතාව සහන උදෙසා ජනතාව උසිගැන්වූ විපක්ෂයට රජය මඟින් සහනාධාර ලබා දෙන විට ඊට එරෙහිව සොයා ගැනීමට සටන් පාඨයක් ඉතිරි වී නැහැ. ජනතාවට අල්ලස් දුන්නා යන සටන් පාඨය ඇහිද ගෙන තිබෙන්නේ මේ නිසායි.

රටේ ආර්ථිකයේ වර්ධනයක් නොමැති නම් මේ විදියට සහන දෙන්න බැහැ. රජය ඊට සුදුසුම අවදිය තෝරා ගෙන තිබෙනවා. පසුගිය 8 වසර තුළ යුද්ධය අවසන් කර ගෙවී ගිය වසර 4ක කාලය තුළ ලැබු ආර්ථික ප්‍රතිලාභ වලින් කොටසක් ජනතාවට සහනාධාර ලෙස ලබා දීමට කිසිදු චකිතයකින් තොරව ඉදිරිපත් වීම තමයි මේ ආණ්ඩුවේ වෙනස.

මීට ඉහත තිබූ රජයන් හා මේ ආණ්ඩුව වෙනස් වන ප්‍රධාන බෙදුම් රේඛාව වන්නේ සංවර්ධනයේ අතිරික්තය ධනපතියන් අතට අධික ලාභාංශයක් යා නොදී ඉන් සැලකිය යුතු කොටසක් සහන හා සහනාධාර ලෙස පහළට ස්ථරවල ජීවත් වන ජනතාව අතට පත් කිරීමයි. සහනාධාර, දිවිනැඟුම, ජීවන ආධාර, වැඩිහිටි දීමනා ආදිය වැඩිකිරීමෙන් පැහැදිලිවන්නේ එම ස්‍යයයි.

මේ නිසා මෙවර ඉදිරිපත් වී ඇත්තේ මේ රටේ පහළම පන්තියේ ජනතාව හා වැඩ කරන ජනතාව ඇතුළු සැම ජන කොටසකට ප්‍රතිලාභ ලබා දෙන අයවැය ලේඛනයක්. මේතරම් පුළුල් පරාසයකට සහන සලසන රාජ්‍ය ආර්ථික ලියවිල්ලක් අප දන්නා ඉතිහාසය තුළ දක්නට ලැබෙන්නේ නැහැ.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා