මල පීදෙන්න ඉස්සර පුබුදුවන්න හොඳ නෑ

මල පීදෙන්න ඉස්සර පුබුදුවන්න හොඳ නෑ

ප්‍රවීණ ගායන ශිල්පිනී විශාරද නන්දා මාලිනී

කාලයට බොහෝ දෑ වෙනස් කළ හැකිය. ඒ වෙනස අපට හොඳින්ම දැනෙන්නේ අපත් කාලයත් සමඟම ගමන් කරන නිසා. එහෙත් ඈ පිළිබඳ රසික හදවත් තුළ සනිටුහන් වූ ගෞරවනීය බව කාලයේ වෙනසට හසුවූයේ නැත. ජාතියේ යශෝරාවය ලෙසින් බුහුමනට පාත්‍ර වූ නන්දා මාලිනිය අපට ආගන්තුක නොවන්නේ ඇය හෙළ කලාකෙත පෝෂණය කළ ප්‍රවීණ ගායිකාවක් නිසාම නොව සිසු දරු දැරියන් දහස් ගණනකට සප්ත ස්වරයෙන් ලොවම දිනන්නට ඥානය ලබා දෙන ගුරු මාතාවක් නිසාය. වසර 30 ක් සම්පූර්ණ වූ නන්දා මාලිනී සංගීත ආශ්‍රමය පිළිබඳ තොරතුරුත් රැගෙන ඇය අද රසමංජරිය ‍හා මෙසේ එක්විය.

නන්දා මාලිනී සංගීත ආශ්‍රමයට වසර 30 ක් ගතවූ තැන එහි ආරම්භය පිළිබඳ සිහිපත් කළහොත්?

මම මේ සංගීත ආශ්‍රමය පටන් ගත්තේ 1984 දී. මෙහි ආරම්භයට අරමුණ වුණේ සංගීතය පැත්තෙන් යමක් කළ යුතුයි කියන හැඟීමයි. තිබුණ නිසා. මම අද මෙතැන ඉන්නේ මගේ කුඩා කාලයේ මට ඉගැන්වූ ගුරුවරු නිවැරදි පාර කියලා දුන්න නිසා.

ඒ කාලේ අද වගේ තරු බිහිකරන වැඩසටහන් තිබුණේ නැහැ. මම ඉගෙන ගත්ත කොටහේන ගුණානන්ද විද්‍යාලයේ එන්. මාග්‍රට් පෙරේරා කියන මගේ පංති භාර ගුරුතුමිය තමයි පළමුව මගේ දක්ෂකම් හඳුනාගත්තේ. සාහිත්‍ය හා කලාව එදා අපිට රසවිඳින්න ඉගැන්නුවේ ඒ ගුරුවරු. මාග්‍රට් ගුරුතුමිය තමයි මාව ගුවන් විදුලියේ ළමා මණ්ඩපයට භාර දුන්නේ.

එතකොට මට වයස අවුරුදු නවයයි. කරුණාරත්න අබේසේකර මහතා තමයි මගේ පළමු ගීතය “බුදු සාධු” ගයන්න අවස්ථාව සලසා දුන්නේ. ඒ කාලේ ඉඳන්ම කරු අයියා දක්ෂතා ඇති දරුවන්ව ගොඩනඟන්න අතහිත දුන් කෙනෙක්. ළමා මණ්ඩපයෙන් ලංකාවේ පාසල්වල ඉන්න දක්ෂ දරුවන්ට අවස්ථාව ලැබුණා.

ළමා මණ්ඩපයට ගොඩවැදිලා වසරක් විතර යනකම් මට ගීතයක් කියන්න අවස්ථාව ලැබුණේ නැහැ. අද වගේ එක රැයින් ගායිකාවක් වෙන්න එදා බැහැ. අවුරුද්දක් විතර යනකම් මම කළේ ළමා මණ්ඩපයට එන ලිපි කියවපු එක. ඔහොම ගිහින් තමයි “බුදු සාධු මම සමන් වැලක් වෙන්නම්” ගීතය ගායනා කරන්න ලැබෙන්නේ.

ඒ ගීතය පද රචනා කළේ අශෝක කොළඹගේ මහතා. තනු නිර්මාණය ඩී. ඩී. ඩැනීගෙන්. ඒ ආරම්භ කළ ගමන අද වන විට වසර 60 ක් අභියෝග මැද්දේ මම ඇවිත් තියෙනවා. සරල ගී පරීක්ෂණයෙන් විශිෂ්ට ශ්‍රේණියේ ගායිකාවක් වෙලා සංගීත විශාරද උපාධිය සමත් වුණාට පස්සේ මට හිතුණා ඇයි මම උගත් දේ දරුවන්ට දෙන්නේ නැත්තේ කියලා. ගුවන් විදුලියේ සරල ගී පරීක්ෂණයට මම ගැයූ ගීත අතරින් එකක් තමයි “මල් කියන්නේ කාට කාට” කියන ගීතය.

එය ගැයුවේ දරුවන්ට. මම තාමත් හුඟක් කැමැතියි දරුවන්ට ගීත ගායනා කරන්න. මේ නිසාම තමයි සංගීත ආශ්‍රමය ආරම්භ කරන්න අදහස ආවේ. මුලින්ම පටන් ගත්තේ ළමයි 13 දෙනෙකුගෙන්. දන්න දන්න අයට කියලා තමයි ළමයි එකතු කර ගත්තේ. අද වන විට දරුවේ 300 ක් විතර මගෙන් ඉගෙන ගන්නවා. විවිධ දක්ෂතා ඇති දරුවෝ රාශියක් අද උසස් තැන්වල ඉන්නවා. සංගීත ගුරුවරු වෙලා ඉන්නවා. ආපසු හැරිලා බලද්දී මේ ගැන මට දැනෙන්නේ විශාල සතුටක්.ලබන වසර සඳහා මේ දිනවල දරුවන් බඳවා ගැනේ.

රියැලිටි වැඩසටහන් එක්ක බිහිවෙන ළමා තරු ගැන ඔබේ අදහස කෙබඳුද?

අද දරුවෝ දක්ෂයි. බුද්ධිමත්. නමුත් ඔවුන්ව මෙහෙයවන ක්‍රමය බොහෝදුරට අවැඩදායකයි. මෙහි ප්‍රධානම වගකීම පැවරෙන්නේ මවුපියන්ට හා ගුරුවරුන්ට. මල පීදෙන්න ඉස්සර පූද්දන්න නරකයි. කලාව, සාහිත්‍යය, සෞන්දර්ය හා පරිසරය එක්ක ඒ දරුවට ක්‍රම ක්‍රමයෙන් පිපෙන්න ඉඩහරින්න ඕනේ.

ළමයින්ට කන්න අඳින්න විතරක් දීලා බැහැ. ඒ අයට හොඳ, නරක, සාහිත්‍ය රසය, කලා රසය කියන විටමින් දෙන්න ඕනේ. එතකොටයි සෞන්දර්යාත්මක දරුවෝ බිහිවෙන්නේ. රියැලිටි වැඩසටහන් නරකයි කියලා මම චෝදනා කරන්නේ නැහැ. දරුවන්ගේ හැකියාවන් අගය කරන්න ඕනේ. ඒත් පවතින තරගය එතරම් හොඳ නැහැ.

සංගීතය ඉගෙනීම මෙන්ම ඉගැන් වී­‍ෙමත් අද යම් තරගකාරී බවක් දක්නට ලැබෙනවා. එහෙම වකවානුවක මේ සංගීත ආශ්‍රමය වෙනස් වන්නේ කොහොමද?

දරුවන්ව මෙහෙයවීම ලෙහෙසි නැහැ. අපි කතා කරන්න ඕනේ දරුවන්ගේ මනසට. ඔවුනගේ සිත් සතුටුවන විදිහට තමයි ඉගැන්වීම කළ යුත්තේ. මගේ සංගීත ආශ්‍රමයේ මවුපියන්ව මම නිතරම දැනුවත් කරනවා. ළමයාගේ මනස පෝෂණය කළ හැක්කේ සාහිත්‍ය හා කලාව තුළින් පමණයි. පවතින අධ්‍යාපන රටාව තුළ දරුවාට විශාල පීඩනයක් තියෙනවා. එයින් මුදවාගන්න පුළුවන් සාහිත්‍ය, කලාව පුරුදු පුහුණු කළොත් විතරයි.

අපට ලස්සන භාෂාවක් තියෙනවා. භාෂාව එක්ක දරුවෝ හැඩගැහෙන්න ඕනේ. ඒ කාලේ දරුවෝ ජීවත්වුණේ විමලරත්න කුමාරගම, පී. බී. අල්විස්, මහින්ද හිමි වැනි පඬිවරුන්ගේ නිර්මාණ එක්ක. අද දරුවෝ මේ නිර්මාණ කියවනවාද? මම සංගීත ආශ්‍රම‍ෙය්දී උගන්වන්නේ සංගීතය විතරක් නොවෙයි.

සමාජයේ ජීවත්වන විදිහ, සාහිත්‍ය ගැන, පරිසරය ගැන. මගේ ළඟ ඉගෙන ගන්න කුඩාම කණ්ඩායමේ ඉන්නේ වයස අවුරුදු 6, 7 දරුවෝ. මේ අය එක්ක මම ගීත කියනවා වගේම ඒ ගීතයේ අදහසට අනුව චිත්‍රයක් අඳින්න ඉඩ දෙනවා. කතාන්දරයත් කියලා දෙනවා. එතැනදි දරුවාට රසවිඳීම පුරුදු කරනවා.

ඒ අයගේ ‍ෙතවැනි ඇසින් ලෝකය අවබෝධ කර ගැනීමට හැකි වෙනවා. 6, 7, 8 ශ්‍රේණිවල දරුවන්ට වගේම ඉන්දියානු විභාග සඳහා ඉගෙන ගන්න දරුවන්ට පවා ගීතයක් හඳුනාගන්න පළමුව උගන්වනවා. සුනිල් ශාන්තයන් කියන්නේ කවුද? පණ්ඩිත් අමරදේවයන් කියන්නේ කවුද? වික්ටර් රත්නායකයන් කියන්නේ කවුද? සී. ටී. ප්‍රනාන්දු කියන්නේ කවුද? ඒ අය ගැයූ ගීත මොනවාද? යන්න ගායකයාගෙන් ගායකයාට විස්තර කරලා දෙනවා.

එහෙම කරන්නේ අද දරුවෝ ගීතයේ මුල් ගායකයා කවුද කියන්න දන්නේ නැහැ. පැරැණි ගීත ඔවුන්ට ඇහෙන්නේ නැහැ. සී. ටී. ප්‍රනාන්දු කියන්නේ ළමයි වෙනුවෙන් ගීත ගණනාවක් ගායනා කළ කෙනෙක්. අද දරුවෝ කීයෙන් කී දෙනා ද ඒ ගීත හඳුනාගන්නේ. අපි වෙ‍ෙළඳ ලෝකයට දරුවෝ යවන්නේ නැහැ.

අදටත් අප අසන්නේ ඔබ එදා ගැයූ ගීතමයි. අලුතින් නිර්මාණයන් එළිදකින්නේ නැද්ද?

දැනට නම් එහෙම අදහසක් නැහැ. අද සියල්ල වෙනස් වෙලා. මගේ මුළු කාලයම කැප කරලා තියෙන්නේ සංගීත ආශ්‍රමයට. අවුරුදු 5 – 6 කින් මම අලුත් ගීතයක් නිර්මාණය කළේ නැහැ. ඊට වඩා දරුවෝ එක්ක ගතකරන කාලය හරි තෘප්තිමත්. මගේ කටහඬට ජවය ලැ‍ෙබන්නේ, මම නිරෝගීව ඉන්නේ සංගීත ආශ්‍රමය නිසා. මගේ ප්‍රාණය තියෙනකම් මම දරුවෝ එක්ක ඉන්නවා. මම අලුත් වෙන්නේ මේ දරුවෝ එක්ක ගතකරන කාලයෙන්.

ඔබේ ගීත වෙනත් හඬවල්වලින් ඇසෙන අවස්ථා තියෙනවා. ඇයි ඒ ගැන නිහඬව ඉන්නේ?

එය විශාල ගැටලුවක්. මම අවුරුදු 3 ක් නඩු කිව්වා. අනුන්ගේ ගීත කියන එක බුද්ධිමත් දේපළ නීතිය උල්ලංඝනය කිරීමක්. බුද්ධිමය දේපළ අයිතිය සුරක්ෂිත කිරීමේ නීතිරීති තවම ඇතිවෙලා නැහැ. අපිට කලාකරුවෝ විදිට නඩු කිය කිය ඉන්න බැහැ. ඒ ගතවන්නේ අපේ නිර්මාණශීලී කාලය.

නිර්මාණයක් කරන්න මානසික සුවය අවශ්‍යයි. මේ ඒ පිළිබඳ වගකිවයුතු නිසි අයගේ අවධානය යොමුවිය යුතු කාලයක්.

ඔබේ ඇතැම් ගීත සමාජයේ දුර්වල තැන් සියුම් ලෙස පෙන්වා දෙනවා. එහි අරුත විනිවිද දැකීමට ඔබේ හඬින් සැපයූ දායකත්වය ගැන කතා ක‍ළහොත්?

මගේ සෞන්දර්ය චාරිකාවේදී මම සමාජයේ විවිධ පාර්ශ්ව සඳහා ගීත ගායනා කළා. හුඟක් දරුවෝ අදටත් මට කතා කරන්නේ සිංදු නැන්දා, සිංදු කියන ආච්චි කියලා. ඒ ඒ අය වෙනුවෙන් මම එදා ඉඳලම ගීත කිව්ව නිසා. ඒ අතරින් සිංදු හෝඩිය විශේෂයි.

මේ වන විට මම සංයුක්ත තැටි 27 ක් නිකුත් කර තිබෙනවා. හැමෝම වෙනුවෙන් අලුත්ම නිර්මාණයක් කරන්න හැම විටම උත්සාහ කළා. පොතක් ලියනවාට වඩා යමක් ගීතයකින් කතා කරන්න පුළුවන්. ගීතයක් මිනිත්තු 3ක් වුණාට හරි ප්‍රබලයි.

“ඔබයි රම්‍ය සඳ කිරණ” වැනි ගීත හරහා ප්‍රේමය ගැනත්. මට මවු පදවිය ලැබුණ දිනේ, මිහිමඬලේ අඳුරු කුසේ වැනි ගීත හරහා මවුවරුන්ගේ ගුණ ගැන කතා කළා. යුක්තිය වෙනුවෙන් ගීතය හරහා කතා කළා. මම විශ්වාස කරනවා මට ලැබුණ හඬ යෙදවිය යුත්තේ සමාජයට ප්‍රයෝජනවත් දෙයකට කියලා. මම මට හදාගත්තු ප්‍රතිපත්ති තියෙනවා. මම කිසිම විවාහ උත්සවයකදී ගීත ගයන්නේ නැහැ. මම මුදල් පසුපස යන්නේ නැහැ. මට වැදගත් රසිකයා අතර රැඳී ඉන්න එක. වෘත්තිය ගරුත්වය රකින එක.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා