තඹරවිලෙන් සුභාවිත ගීතයට මුල් තැන දෙනවා

තඹරවිලෙන් සුභාවිත ගීතයට මුල් තැන දෙනවා

- සුසන්ත කහවත්ත

ශ්‍රී ලංකා පරිපාලන සේවයට 2000 වර්ෂයේ දී එක් වූ කණ්ඩායම සංවිධාන කරන “තඹරවිල” සොඳුරු ගී සුයාමය තෙවන වරටත් නොවැම්බර් මස 8 වැනි දින සවස 6.00 ට නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේ දී පැවැත්වෙයි.

මෙවර ප්‍රසංගය වෙනුවෙන් ඔබ හා ගීතවත් වීමට ආචාර්ය වික්ටර් රත්නායක, විශාරද එඩ්වඩ් ජයකොඩි, බණ්ඩාර අතාවුද, නිර්මලා රණතුංග, අමිතා වැදිසිංහ සමඟින් සමිතා එරන්දතී මුදුන්කොටුව ගායන ශිල්පී ශිල්පිනීන් රැසක් සහභාගිවීමට නියමිතය.

එහි සභාපති සුසන්ත කහවත්ත මහතා දිනමිණට මෙසේ අදහස් දැක්වීය.

තඹරවිල ගී ප්‍රසංගයේ විශේෂත්වය කුමක්ද?

අවසන් වරට සංවිධාන කළ “තඹරවිල” ගී ප්‍රසංගය උපරිම ගුණාත්මක භාව‍ෙයන් යුතුව සංවිධාන කළා. එහිදී ගායන ශිල්පීන් ඉදිරිපත් කරන ලද සියලුම ගීත රචනා කළ ගේය පද රචකයන්ට දීමනාවක් ඔවුන්ගේ කර්තෘ භාගය ලෙස ලබාදීමට කටයුතු කළා. මෙවරත් ඒ කටයුත්ත එසේම සිදු වෙනවා. පාසල් පුස්තකාල සංවර්ධනයට ද මුදල් පරිත්‍යාග කිරීම මේ අවස්ථාවේදී සිදු වෙනවා.

ප්‍රසංගය සඳහා ප්‍රවේශපත්?

තඹරවිල ප්‍රසංගය වෙනුවෙන් අද වන විට වෙනමම රසික රසිකාවියන් පිරිසක් සෑදී සිටිනවා. පළමු හා දෙවන ප්‍රසංගය සඳහා විශාල පිරිසක් සහභාගි වුණා. මෙවර තඹරවිල ප්‍රසංගය වෙනුවෙන් ප්‍රවේශපත් නුගේගොඩ, මහරගම සරසවි පොත්හල්වලින් ද, බොරැල්ල සදීපා ‍සහ නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලෙන් ද ලබාගත හැකියි.

ඔබ සංගමයේ ඉදිරි අපේක්ෂා මොනවාද?

අප සංගමයේ වැඩපිළිවෙළ තව තවත් දියුණු කර ව්‍යාප්ත කිරීමට බලාපොරොත්තු වෙනවා. පාසල් සංවර්ධනය, පුස්තකාල සඳහා ආධාර ලබාදීම, අවශ්‍යතා ඇති පාසල් දරු දැරියන්ට පිහිටවීමට හා සාමාජික සුබසාධනය වෙනුවෙන් කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනවා.

මෙවැනි කාර්යයන් ඉටුකිරීමේදී සාමාජික දායකත්වය කෙබඳු ද?

සාමාජිකයන් සියලු දෙනාගේම උපරිම කැපවීම අගය කළ යුතුයි. ඔවුන් එකාවන්ව සෑම කාර්යයක් සඳහාම පෞද්ගලික කාලය, ශ්‍රමය, ධනය කැප කරමින් මේ කාර්යයන් සඳහා දායකත්වය ලබා දෙනවා.

අවසන් වශයෙන් යමක් සඳහන් කළොත්?

අප සංගමය සාමාජිකයන් 180 කින් පමණ සැදුම්ලත් ලාබ නොලබන පරමාර්ථයෙන් පවත්වාගෙන යන ස්වේච්ඡා සංවිධානයක්. මෙහි පරමාර්ථය සාමාජික හා සමාජ සුබසාධනයයි.

තුන්වන වරටත් සංවිධාන කරන තඹරවිල ගී ප්‍රසංගය හුදෙක් සුබාවිත ගීයට මුල් තැන ‍දුන් ප්‍රසංගයක්. ඒ නිසා අපි ඔබ සැමට ආරාධනා කරනවා නොවැම්බර් 8 දා නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලට පැමිණ මේ සොඳුරු අත්දැකීම අපිත් සමඟ බෙදාගන්න.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා