අද හැමදේම ඩිජිටල් මිනිස්සු අතින් අඳින්නේ නෑ

අද හැමදේම ඩිජිටල් මිනිස්සු අතින් අඳින්නේ නෑ

- ආනන්ද ප්‍රේමලාල්

චිත්‍ර ශිලපී ආනන්ද ප්‍රේමලාල් ගේ “වර්ණ රූසිරි” සිතුවම් දැක්ම මේ මස 30,31 දින වලදී ජාඇළ නගර සභා ශාලාවේදී පැවැත්වේ. මේ සටහන ඒ වෙනුවෙනි.

පුවත්පත් පිටු සැකසුම, තොරණ චිත්‍ර, වෙළෙඳ චිත්‍ර, බිතු සිතුවම් වගේ චිත්‍ර ශිල්පයේ පදාස රැසක හැකියාවන් ඔබට තියෙනවා. ඒ සියල්ල අතර චිත්‍ර ප්‍රදර්ශනයකට යන්නට හේතුව?

මූලිකම හේතුව මම චිත්‍ර ශිල්පියෙක් වීම. තොරණ, වෙළෙඳ චිත්‍ර ආදී නොයෙක් ඉසව්වල වැඩ කළත් චිත්‍ර ශිල්පියාගේ මූලික ඇල්ම තියෙන්නේ කලාත්මක චිත්‍රයට. මා ඉන් අදහස් කරන්නේ වෙ‍ළඳ චිත්‍ර, තොරණ චිත්‍ර අවතක්සේරු කිරීමක් නොවෙයි. ඒ චිත්‍රවලත් යම් යම් කලාත්මක වටිනාකම් තියෙනවා. ඒත් ඒ ක්ෂේත්‍රවලදී ඉස්මතු වන්නේ වෙනත් අරමුණු.

වත්මන් ශ්‍රී ලංකාවේ චිත්‍ර කලාවේ පරිහානියක් පිළිබඳ මැසිවිලිත් අපට නැ‍ඟෙනවා නෙමෙයි. ඔබ ඒ පිළිබඳ දරන්නේ මොන වගේ අදහසක් ද?

චිත්‍ර කලාවේ පරිහානිය ගැන ඇහුවොත් මට දෙන්න තියෙන්නේ “ඔව්” සහ “නැහැ” කියන වචන ‍ෙදකම එකවර කියවෙන උත්තරයක්. ඔබේ ප්‍රශ්නයට මම “ඔව්” කියන්නේ ඇයි කියා මම මුලින් පැහැදිලි කරන්නම්. දැන් අපේ රටේ ළමයි චිත්‍ර අඳින්නේ නැහැ. ඉස්කෝලවල චිත්‍ර උගන්වන්නෙ නැහැ. චිත්‍ර පන්ති නැහැ. ඒ නිසා චිත්‍ර කලාවේ පැහැදිලි ප්‍රබෝධයක් අපට පෙනෙන්නේ නැහැ. ඒත් ජනතාව චිත්‍රවලට කැමැතියි. චිත්‍ර රසවිඳිනවා.

පත්තරවල පළවෙන චිත්‍රකතා කියවන්න රසිකයො කොච්චර ඉන්නවද? චිත්‍ර ප්‍රදර්ශන නරඹන්න රසිකයො කොච්චර එනවද. ප්‍රදර්ශනවලින් ජනතාව චිත්‍ර ගන්නේ නැද්ද? ඒ අනුව මතුපිටින් පෙනෙන කඩාවැටීමට යටින් චිත්‍ර ගැන උනන්දුවකුත් තියෙනවා.

විවෘත ආර්ථිකය පරිගණකය වගේ දේවල් අපේ රටේ මෑත කාලීන චිත්‍ර කලාවට පැහැදිලි බලපෑමක් කළා නේද?

විවෘත ආර්ථිකයෙත්, නූතන තාක්ෂණයෙත් හොඳ සහ නරක දෙකම තියෙනවා. උදාහරණයක් වශයෙන් විවෘත ආර්ථිකය නිසා කලාව යම් පමණකට වාණිජකරණය වුණා. මුද්‍රණ කර්මාන්තයේ දියුණුව වගේ දේවල් චිත්‍ර කලාවට බලපෑවා.

ඒ කාලෙ අපි පෝස්ටර්, බැනර්, කටවුට් අතින් ඇන්ඳට අද ඒ හැමදේම ඩිජිටල් වෙලා. මිනිස්සු අතින් අඳින්නේ නැහැ. හැමදේටම යන්නේ පරිගණකය ළඟට. ඒ අතරතුර හේමමාලා කුමරියත්, දන්ත කුමරුත් දළදා වඩම්මන ආකාරය දැක්වෙන ප්‍රකට සිතුවම බිත්ති ගඩොලක මුද්‍රණය කරලා තියෙනවා මම දැක්කා. උසස් වින්දනයක් තියෙන කෙනෙකුට තමන්ගේ බිත්තිය ඉන් සරසගන්න පුළුවනි.

චිත්‍ර ප්‍රදර්ශන බොහෝ විට පැවැත්වෙන්නෙ කොළඹ කේන්ද්‍රියව. ඒත් ඔබ කොළඹ වෙනුවට ගම තෝරාගන්නවා. හේතුව?

හේතු කිහිපයක් ඊට බලපෑවා. චිත්‍ර කලාවේ අලුත් පිබිදීමක් ඇතිකරන්න නම් අපි කොළඹින් ගමට විතැන් වෙන්න ඕන. ගමට අවස්ථා අඩුයි. ඒත් ගමේ ජනතාවගේ රසවින්දන ශක්තිය අඩු නැහැ. මගේ ප්‍රදර්ශනය උඩුගම්පළ කළ වෙලාවෙ ඉතා හොඳ රසික ප්‍රතිචාර ලැබුණා.

ජාඇළ නගරයේ මගේ ප්‍රදර්ශනය කරන්නෙ ඒ ප්‍රදේශයේ අයගේ ඉල්ලීමට. චිත්‍ර බලන්න කොළඹ එන්න කියල එයාලට කියන්න හොඳ නැහැ. අනෙක් කාරණය පිටත ප්‍රදර්ශනවලින් මට මගේ හැකියාවන් තවත් මුවහත් කරගන්න පුළුවනි. සුළු අඩුපාඩු හදාගන්න පුළුවනි. ලබන අවුරුද්දේ මම අලුත් චිත්‍ර ටිකකුත් එකතු කරගෙන මම කොළඹ එනවා.

ප්‍රදර්ශනයට ඇතුළත් නිර්මාණ පිළිබඳ කෙටියෙන් කතා කළොත්?

චිත්‍ර එකසිය විස්සත්, එකසිය විසි පහත් අතර ප්‍රමාණයක් ප්‍රදර්ශනයට ඇතුළත්. පැන්සල්, දිය සායම්, පැබ්රික්, පැස්ටල් ආදී විවිධ මාධ්‍ය උපයෝගී කරගෙන ඇන්ද චිත්‍ර වගේම විෂයයන් වශයෙන් ගත්තොත් ආලේඛ්‍ය චිත්‍ර පරිසර චිත්‍ර ආදී විවිධ අංශවල චිත්‍ර ප්‍රදර්ශනයට ඇතුළත්.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා