සහන ලබා දෙන්න වහාම පියවර ගන්න  - ජනපති

සහන ලබා දෙන්න වහාම පියවර ගන්න 

මහින්ද අමරවීර, ඩග්ලස්, තොණ්ඩමන්, ශෂීන්ද්‍ර, ගෝඨාභය වහා කැඳවා ජනපති උපදෙස් දෙයි

හල්දුම්මුල්ල කොස්ලන්ද-මීරියබැද්ද ප්‍රදේශයේ ඊයේ(29) පෙරවරුවේ සිදු වූ නාය යාමෙන් විපතට පත් ජනතාවට අවශ්‍ය සහන කටයුතු කඩිනමින් සලසන ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අදාළ අංශ වෙත උපදෙස් දුන්නේ ය.

සිද්ධිය සැලවූ වහාම ආපදා කළමනාකරණ ඇමැති මහින්ද අමරවීර, රාජ්‍ය ආරක්ෂක සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ, ඌව පළාත් මහ ඇමැති ශෂීන්ද්‍ර රාජපක්ෂ මහත්වරුන් සහ ආරක්ෂක අංශ ඇමතූ ජනාධිපතිතුමා ඒ පිළිබඳ සොයා බලා එම ජනතාව මුදා ගැනීමේ සහ අවශ්‍ය සහන සැලසීමේ කටයුතු කඩිනමින් සැලසීමට පියවර ගන්නා ලෙස උපදෙස් දුන්නේය.

මේ අතර ත්‍රිකුණාමලය විපුලානන්ද විද්‍යාලයේ මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාරය සිසු අයිතියට පත්කිරීමේ අවස්ථාවට ඊයේ උදෑසන එක්වෙමින් ජනාධිපතිතුමා මේ සිද්ධිය සම්බන්ධයෙන් සිය කණගාටුව පළ කළේය.

නාය යෑම පිළිබඳ දැනගත් වහාම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇමැති ඩග්ලස් දේවානන්දා හා තොණ්ඩමන් මහත්වරුන්ට හල්දුම්මුල්ල කොස්ලන්ද ප්‍රදේශයට ගොස් විපතට පත් ජනතාවට සහන සැලැසීමට උපදෙස් දුන්නේය.

මේ නායයෑම හේතුකොටගෙන පුවත්පත මුද්‍රණයට යන අවස්ථාව වන විට තිදෙනෙකු මිය ගොස් 200ක් අතුරුදන්වී ඇති අතර යුද හමුදාව, පොලිසිය, දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නිලධාරීන්, ස්වේච්ඡා සහන සංවිධාන ගණනාවකට අයත් විශාල පිරිසක් එක්ව ඊයේ (29) පෙරවරුවේ සිටම මළ සිරුරු සෙවීමේ නිරත වූ අතර පස්යට වැළලී ඇති පිරිස සොයා එම මොහොතේ සිටම මෙහෙයුම් දියත් කර ඇතැයි ආපදා කළමනාකරණ ඇමැති මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.

මේ නාය යෑම් හේතුකොට ගෙන වතු කම්කරුවන්ට අයත් ලයින් නිවාස පේළි 7ක් සම්පූර්ණයෙන්ම පස්වලින් යටවී ඇති අතර වතු නිවාස 127ක්, නිල නිවාස 03ක්, කඩ කාමර 10ක් සම්පූර්ණයෙන්ම විනාශයට පත්වීම හේතුකොටගෙන වර්ග කිලෝමීටර් 3ක පමණ භූමි ප්‍රමාණයක් මේ නායයෑම හේතුකොටගෙන පස්වලින් වැසී තිබේ.

මේ අතර මේ නාය යෑමට ලක්වූ ප්‍රදේශය සම්බන්ධයෙන් 2005 අප්‍රේල් 27 වැනි දින ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය මඟින් අවධානම් කලාපයක් බවට පත් කර අක්කර 10 භූමි ප්‍රදේශය තුළ පදිංචිවීම් නොකරන ලෙසට එකල අදාළ වතු සමාගමට තමන් උපදෙස් දුන් බවත් එම ආයතනයේ නාය යෑම් අංශ ප්‍රධානී ආර්.එම්.එස්. බණ්ඩාර මහතා දිනමිණට සඳහන් කළේය.

මේ අවදානම් තත්ත්වයට 2011දී නැවතත් අලුත් කරමින් ප්‍රදේශයේ ගලායන ජලය කාණු පද්ධතියක් මඟින් ඉවත් කරන ලෙසට අදාළ වතු සමාගමට උපදෙස් දුන් බව සඳහන් කළ හෙතෙම එවැනි සුළු ක්‍රියාමාර්ගයක්වත් වතු සමාගම අනුගමනය නොකිරීම මෙවැනි බරපතළ අනතුරකට හේතුවී යැයිද සඳහන් කළේය. මේ අතර බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ අංශයේ නිලධාරියකු සඳහන් කළේ යුද හමුදාව පොලිසිය ස්වේච්ඡා සංවිධානවලට අයත් පිරිස්වලට එම ප්‍රදේශයට යෑම ඉතාමත් දුෂ්කර වූ බවය.

ඇතිවී ඇති මේ අනතුරුදායක තත්ත්වය හේතුකොටගෙන පොලිසිය මඟින් ජනතාවට එම ප්‍රදේශය දැක බලා ගැනීමට නොයන ලෙසට උපදෙස් ලබාදී තිබේ.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා