සියලු රජයේ සේවකයන් ගේ වැටුප් වැඩිවීම ජූලි 1දා සිට

සියලු රජයේ සේවකයන් ගේ වැටුප් වැඩිවීම ජූලි 1දා සිට

 - ඇමැති ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න

රජයේ සේවකයන් සඳහා මෙතෙක් තුන් වතාවකදී ලබා දුන් සියයට විස්සේ විශේෂ දීමනාව සහ මෙවර අය-වැයෙන් ලබා දුන් රුපියල් 2200ක වැටුප් වැඩිකිරීම මූලික වැටුපට එකතු කර ලබන ජූලි 01වැනිදා සිට ගෙවීමට පියවර ගන්නා බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු ඇමැති ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතා පවසයි.

රාජ්‍ය සේවකයන් සඳහා 2011 දී සියයට 5ක්, 2012 දී සියයට 10ක් සහ 2013 දී සියයට 5ක් වශයෙන් මෙකී විශේෂ දීමනාව ලබා දුන් බවත් ඇමැතිවරයා පවසයි.

එමෙන්ම අය වැයෙන් ලබා දුන් මෙකී වැටුප් වැඩිකිරීම ලබා දෙන තෙක් ලක්ෂ 14ක් වන මෙරට සියලු රජයේ සේවකයන්ට රුපියල් 3000ක් හා සියලු විශ්‍රාමිකයන්ට රුපියල් 2500ක් බැගින් අන්තර් දීමනාවක් ලෙස ලබන නොවැම්බර් 01වැනිදා සිට ලබා දෙන බවත් ඇමැතිවරයා පැවැසීය. ඇමැතිවරයා මේ බව පැවැසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථාන ශ්‍රවණාගාරයේ ඊයේ (29) පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.

2006 වසරේ රුපියල් දහසකින් ගෙවීම ආරම්භ කළ ජීවන වියදම් දීමනාව මේ වනවිට රුපියල් 7800ක් බවට පත්ව තිබෙන බවත්, එය මෙවර අය වැයෙන් තවත් රුපියල් 10,000 දක්වා වැඩිකොට තිබෙන බවත් කීය. සියලු වැටුප් වැඩිකිරීම් සමඟ කණිෂ්ට රාජ්‍ය සේවකයකුගේ අවම වැටුප රුපියල් විසිපන්දහස දක්වා වැඩි වන බවත් කීය.

එමෙන්ම පහ වසර ශිෂ්‍යත්වය සමත් දරුවන්ට ලබා දෙන ශිෂ්‍යධාරය මෙතෙක් රජයේ සේවකයන්ගේ දරුවන්ට ලබා නොදුන්නත් මෙවර අය වැයෙන් එම ශිෂ්‍යාධාරය රුපියල් 500 සිට 1500 දක්වා වැඩිකොට රජයේ සේවකයන‍්ගේ දූ දරුවන්ට ද ලබා දීමට යෝජනා කැර තිබෙන බවත් පැවැසීය.

වැවිලි කරමාන්ත ඇමැති මහින්ද සමරසිංහ මහතා- මේ අය වැය සකස් කළේ සීත කාමරවල සිටින පිරිසක් බවට විපක්ෂය චොදනා කරනවා. අය වැය සකස් කළේ සීත කාමරවල සිට නොවෙයි. මේ අයවැය ඔක්තෝබර් මාසයේ සෑදූ එකක් නොවෙයි. අයවැය සඳහා අවශ්‍ය යෝජනා එක් රැස් කිරීම ආරම්භ කළේ මේ වසරේ මුල සිටයි. ජනාධිපතිතුමා එතුමාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් මට්ට‍මේ සංවර්ධන කමිටු රැස්කර එයට සියලු පාර්ශ්ව කැඳවා අවශ්‍ය යෝජන ලබා ගත්තා. ඇමැතිවරුන් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ යෝජනා ලබා ගත්තා. ඒ අනුව ජනතා අවශ්‍යතා හඳුනා ගෙනයි මේ ජනතා හිතවාදී අය වැය ඉදිරිපත් කළේ‍.

2009 දී සියයට 9.9 ක් ලෙස පැවති අයවැය පරතරය සියයට 5 දක්වා අඩු කළා. ලබන වසරේ එය සියයට 4.6 දක්වා අඩු කර ගැනීම අපේක්ෂාවයි. 2020 වනවිට එය සියයට 3ක ඉලක්කයකට ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා. උද්ධමන අනුපාතය පාලනය කර එය සියයට 5ක් ලෙස තනි අගයක පවත්වා ගැනීමට හැකිව තිබෙනවා. ආර්ථික වර්ධන වේගය ලබන වසරේ සියයට 8 අගයට ගෙන ඒමට අපේක්ෂා කරනවා. අපනයන ක්ෂේත්‍රයේ සියයට හයක වර්ධනයක් අත් කර ගෙන තිබෙනවා. අය වැයෙන් මෙවර ලබා දී තිබෙන්නේ යුද්ධයෙන් පසු රටේ ඇතිව තිබෙන දේශපාලන, ආර්ථික හා සමාජීය ස්ථාවරත්වයේ ප්‍රතිලාභයි.

වැවිලි ක්ෂේත්‍රය ගත්විට එම ක්ෂේත්‍රයටත් සුවිශේෂ සහන ලබා දී තිබෙනවා. ලක්ෂ 4ක් වන කුඩා තේ වතු හිමියන් සහ කුඩා රබර් වතුවලින් යැපෙන පවුල්වලටත් සහන ලබා දී තිබෙනවා. ලෝක වෙළෙඳ පොළේ රබර් මිල අඩුවීම නිසා කුඩා රබර් වතු හිමියන් මුහුණ දුන් විශාල ගැටලුව වුණා. එයට විසඳුමක් ලෙස රබර් කිලෝව සඳහා අය වැයෙන් රුපියල් තිහක සහතික මිලක් නියම කර තිබෙනවා. මේ මිල මෙම නොවැම්බර් මස සිට ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිතුමා තීරණය කැර තිබෙනවා.

කුඩා තේ වතු හිමියන්ට නැවත වගාව සඳහා ලබා දෙන ණය මුදල ලක්ෂ පහ දක්වා වැඩි කළා. ගොවි විශ්‍රාම වැටුපටත් කුඩා තේ හා රබර් වතු හිමියන් දායක කර ගැනීමට යෝජනා කර තිබෙනවා. හිකුඩා තේ වතු හිමියන්ට රුපියල් 1200ට ඍජු පොහොරත්, රුපයල් 1300ට මිශ්‍ර පොහොරත් පොහොර සහනාධාරය ලෙස ලබා දෙනවා.

බස්නාහිර පළාත් මහ ඇමැති ප්‍රසන්න රණතුංග මහතා- ශ්‍රී ලංකාවේ දියුණුම පළාත වන්නේ බස්නාහිර පළාතයි. එමෙන් ම වැඩිම ආදායම් උපයන පළාත් සභාව වන්නේ බස්නාහිර පළාත් සභාවයි. එහෙත් 2005ට පෙර පළාත් සභාවේ මහජන අවශ්‍යතා වෙනුවෙන් වැය කිරීමට සිදුවූයේ එහි ආදායමින් සියයට 10ක් පමණයි. ඉතිරි සියල්ල පුනරාවර්තන වියදම් ‍වෙනුවෙන් වැය කිරීමට සිදු වුණා.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා