ආඝාතය පිළිබඳ ජගත් අයිතිවාසිකම් කෙටුම්පත එළි දැක්වෙයි

ආඝාතය පිළිබඳ ජගත් අයිතිවාසිකම් කෙටුම්පත එළි දැක්වෙයි

ආඝාතය පිළිබඳ ජගත් අයිතිවාසිකම් කෙටුම්පත එළිදැක්වීම ඊයේ (29) සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංයේ දී සිදුකෙරිණි.

ශ්‍රී ලංකා ආඝාත සංගමයේ සභාපති උදය රණවක මහතා විසින් සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරි‍සේන මහතා වෙත එම කෙටුම්පත ලබාදීම එහිදී සිදු කෙරිණි.

මෙවර අය-වැයෙන් විශේෂ ස්ථානයක් ආඝාතය ඇතුළු බෝ නොවන රෝගයන් වන පිළිකා, වකුගඩු යනාදී රෝගවලට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ලබා දී ඇති බව සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසුවේය. ලෝක ආඝාත දිනය ඊයේට (29) යෙදී තිබිණි.

"මම කාන්තාවකි. ආඝාතය මට බලපෑම් ඇති කරයි." මෙවර ලෝක ආඝාත දිනයේ තේමාව වී ඇත. ඒ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණය අමතමින් ඇමැතිවරයා මේ බව සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ දී ඊයේ (29) ප්‍රකාශ කළේය.

කොළඹ නගරය ආසන්නයේ ජිවත්වන පුද්ගලයන්ගෙන් සියයට 1 ක් ආඝාතයට ගොදුරු වන බවත් වාර්ෂිකව ලක්ෂ දෙකක් පමණ මෙරට ජනගහනයෙන් පිරිසක් මේ රෝගයට ගොදුරු වන බවත් ඇමැතිවරයා කීය.

වාර්ෂිකව ලෝකයේ පුද්ගලයන් මිලියන 15 ක් මේ රෝගයට ගොදුරු වන බවත් ලෝකයේ සිටින සෑම පුද්ගලයින් හය දෙනකුගෙන් එක් අයකුට මේ රෝගය වැළඳෙන බවත් ඇමැතිවරයා පැවැසීය.

ආඝාතය පිළිබඳ ජගත් අයිතිවාසිකම් කෙටුම්පතෙහි ප්‍රතිකාර ලබා ගැනීම, දැනුවත් කරනු ලැබීම මඟින් රෝගය සඳහා සූදානම් වීම, සුවය ලබා ගැනිම සඳහා සහාය ලබා ගැනිම යනාදී කරුණු ඇතුළත් වේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල, සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය නීලමණි රාජපක්ෂ ස්නායු රෝග විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න යන මහත්ම මහත්මීහු මේ ‍අවස්ථාවට සහභාගි වූහ.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා