ශ්‍රී ලංකාව මේ වනවිට නව පරිච්ඡේදයකට පැමිණ තිබෙනවා

ශ්‍රී ලංකාව මේ වනවිට නව පරිච්ඡේදයකට පැමිණ තිබෙනවා

 - පොදු රාජ්‍ය මණ්ඩල මහලේකම් කමලේෂ් ෂර්මා

දශක තුනකට ආසන්න කාලයක් පැවැති යුදගැටුම් සාර්ථකව අවසන් කරමින් රටේ සෑම අංශයකම සීග්‍ර සංවර්ධනයක් ළඟාකරගත් ශ්‍රී ලංකාව මේ වනවිට නව පරිච්ඡේදයකට පැමිණ තිබෙන බව පොදුරාජ්‍ය මණ්ඩලය අවධාරණය කරයි.

ගැටුම් හේතුවෙන් විනාශයට පත් ප්‍රදේශයන්හි ජනජීවිත යථා තත්ත්වයට පත්කිරීම සඳහා ඉවහල් වන බොහෝ දෑ මේ වනවිටත් ඉටුකර තිබෙන අතර යුද ගැටුම් පැවැති ප්‍රදේශ යළි සංවර්ධනය කිරීම වෙනුවෙන් රජය විශේෂ වැඩපිළිවෙළක් ආරම්භකර තිබෙන බවද එහිදී පොදු පහසුකම් දියුණු කිරීම සඳහා විශාල ආයෝජනයක් කිරීම කැපී පෙනෙන බවද පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම් කමලේෂ් ෂර්මා මහතා ප්‍රකාශ කරයි.

ශ්‍රී ලංකාව තුළ සංහිඳියාව ඇති කිරීමේ ප්‍රයත්නය ද සාර්ථක ලෙස ක්‍රියාත්මක වන බව පෙන්වාදෙන ඒ මහතා වසර ගණනාවකට පසුව උතුරු දුම්රිය ධාවනය යළි ආරම්භ කිරීම උතුර සහ දකුණ අතර සම්බන්ධතාව ගොඩනැඟීමෙහි ලා වැදගත් වන බවද ප්‍රතිසංධානය හා සංහිඳියාව ඇතිකිරීම වෙනුවෙන් දේශීය මෙන්ම ජගත් සංවිධාන මට්ටමේ ක්‍රියාවලියක් ආරම්භකර තිබෙන බව පෙන්වාදෙයි.

ඒ මහතා මේ බව සඳහන් කෙළේ කොළඹ දී ඊයේ (29) පැවැති විශේෂ මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි. නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි මහලේකම්වරයා ජනාධිපති මහින්ද රාජපක්ෂ, කතානායක චමල් රාජපක්ෂ, විදේශ කටයුතු ඇමැති මහාචාර්ය ජී.එල් පීරිස් හා පාර්ලිමේන්තු මන්ත්‍රී කරූ ජයසූරිය මහත්වරුන් හමුවී සාකච්ඡා කර තිබෙන අතර ඊට අමතරව උතුරේ සංචාරයක නිරත වෙමින් වත්මන් සංවර්ධන කටයුතු නිරීක්ෂණය කෙළේය.

මෙහිදී ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ උතුරු පළාතේ කළ එක්දින සංචාරයේ දී එහි පශ්චාත් යුද කාලීන සංවර්ධ‍නයේ වැදගත් ප්‍රගතියක් දක්නට ලැබුණු බවත් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂමේ ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් උතුරු පළාත් කොමිෂමේ සහායෙන් වැදගත් ව්‍යාපෘති කිහිපයක් ක්‍රියාත්මක වන බව දක්නට ලැබෙන බවත්ය.

මේ අතර ප්‍රචණ්ඩත්වයට ගොඳුරු වූ කාන්තාවන් සහ බාලිකාවන්ට යුක්තිය ඉටුකර ගැනීම සඳහා සහාය වීමේ ක්‍රියාවලියක්, යාපනය පොලීසියේ ත්‍රෛභාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ වැඩපිළිවෙලක් දක්නට ලැබුණු බව කී ඒ මහතා අල්ලාරායි ගම්මානයේ කළ සංචාරයේ දී ප්‍රජාවගේ ඉඩම් අයිතිය යළි ලබාදීම සහ යුද්ධයේ දී අවතැන් වූ පවුල්වලට ඉඩම් ලබාදීම, ඔවුන්ගේ ජීවිත ගොඩනැඟීම වෙනුවෙන් රජය හවුල් වී ක්‍රියාකරන බවද පෙන්වා දුන්නේය.

මේ අතර උතුරු පළාතේ යටිතල ව්‍යුහය සහ මූලික සේවාවන් සංවර්ධනය කිරීමට රජය පියවර ගෙන තිබෙන බවද ඒ අනුව උතුරු පළාතේ ජනජීවිත යථා තත්ත්වයට පත්කරන්නට එය ඉවහල් වන බවද කී පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම්වරයා තවද එය සාමය ගොඩනැඟීමට හා ජාතීන් අතර සමඟිය ඇති කිරීමට ඉවහල් වන බවද සඳහන් කළේය.‍

ඒ සමඟම උතුරු පළාත් ජනතාව සවිබල ගන්වමින් මැතිවරණ තුළින් ඔවුන්ට අවශ්‍ය නායකයන් තෝරා ගැනීම සඳහා පියවර ගෙන තිබෙන බවද එහි සාමාන්‍ය ජනජීවිතය නඟාළමින් හමුදාවේ ක්‍රියාමාර්ග අඛණ්ඩවම අඩු කෙරෙමින් තිබෙන බවද හෙතෙම සඳහන් කළේය. මේ අතර ඒ මහතා පෙන්වා දුන්නේ ශ්‍රී ලංකාවේ විශිෂ්ඨ මාධ්‍ය සංස්කෘතියක් පවතින බවත් විවිධ මතවාද හා අඳහස් මාධ්‍ය ඔස්සේ ව්‍යාප්ත වෙමින් තිබෙන බවත්ය.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා