පාප් වහන්සේගේ ශ්‍රී ලංකා සංචාරය ස්ථිරයි

පාප් වහන්සේගේ ශ්‍රී ලංකා සංචාරය ස්ථිරයි

ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේගේ ශ්‍රී ලංකා සංචාරය ස්ථිර වශයෙන්ම සිදු වන බව වතිකානයේ ශ්‍රී ලංකා උපාධ්‍ය පියතුමා වන නෙවිල් ජෝ පෙරේරා පියතුමා ‘දිනමිණ’ට ඊයේ (29දා) පැවසීය.

ඒ අනුව ලබන ජනවාරි 13 සිට 15 දක්වා ශ්‍රී ලංකාවේ ශුද්ධෝත්තම පාප් වහන්සේ රැඳී සිටින බව සඳහන් කරන පියතුමා 14දා පෙරවරුවේදී ගාලු මුවදොර පිටියේදී පැවැත්වෙන භාග්‍යවත් ජුසේවාස් පියතුමා ශුද්ධවරයට එසවීම සිදු කරනු ලබන බව ද සඳහන් කරයි.

එදින පස්වරු 2.00ට මඩු සිද්ධස්ථානයට ශුද්ධෝත්තම පියතුමා පැමිණෙන බව සඳහන් කරන පියතුමා, එහිදී ජපමාල උච්චාරණ දේව මෙහෙයකට සහභාගිවී මඩු මෑනියන්ගේ ප්‍රතිමාවෙන් ජනතාවට ආශිර්වාදය දානය කරන බව ද සඳහන් කළේය.

ජනවාරි 13දා ශුද්ධෝත්තම පියතුමා සහ ශ්‍රී ලංකාවේ රදගුරුවරුන් අතර හමුවක් 13දා අගරදගුරු නිවසේදී පැවැත්වෙන බව සඳහන් කරන පියතුමා එදින පස්වරුවේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමඟ සාකච්ඡාවක් පවත්වනු ලබන බව ද පැවසීය.

එදිනම බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී මහා සංඝරත්නය සහ අන්‍ය ආගමික නායකයින් හමුවී විශේෂ සාකච්ඡාවක් පවත්වන බව සඳහන් කරන පියතුමා වෙත 14දා අධ්‍යාත්මික මල් පොකුරක් පිළිගන්වනු ලබන බව ද සඳහන් කළේය.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා