ජාත්‍යන්තර ගණිත තරගයෙන් ශ්‍රී ලංකාවට පදක්කම් රැසක්

ජාත්‍යන්තර ගණිත තරගයෙන් ශ්‍රී ලංකාවට පදක්කම් රැසක්

ඇමැතිවරයා අතින් සිසුවකු මුදල් ත්‍යාගය ලබා ගත් අයුරු.

බල්ගේරියාවේ බ්ලගොව්ග්‍රැඩ්නුවර පැවැති 21 වැනි ජාත්‍යන්තර ගණිත තරගයෙන් ශ්‍රී ලංකාව රිදී පදක්කමක්, ලෝකඩ පදක්කමක් හා ගෞරව සම්මාන දෙකක් ලබා ගනිමින් ජයග්‍රහණ රැසක් හිමි කර ගැනීමට සමත් වී තිබේ.

මොරටුව විශ්වවිද්‍යලයේ සිසුහු තිදෙනකු සහ කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුවකු මෙම ශී ලාංකේය අභිමානය සනිටුහන් කළහ.

මීට අමතරව රටවල් 51 ක ප්‍රමුඛතම විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් හා වෙනත් දක්ෂතා ඇති සිසුන්ගේ සහභාගීත්වයෙන් සැදුම් ලත් කණ්ඩායම් 73 කින් 49 වැනි ස්ථානය ලබාගැනීමටද මෙහිදී ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

මේ පිරිස පිළිගැනීමේ උත්සවයක් පසුගියදා උසස් අධ්‍යාපන ඇමැති එස්.බී. දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශයේදී පැවැති අතර එහිදී අදහස් දැක්වූ දිසනායක මහතා කියා සිටියේ ඉදිරියේදී ද මෙබඳු ක්‍රියාකාරකම් සඳහා අනුග‍්‍රහය සපයන බවයි.

මෙහිද පදක්කම්ලාභීන්ට මුදල් ත්‍යාග ප්‍රදානය කෙරුණු අතර රිදී පදක්කම දිනාගත් මොරටුව විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය ජී. ආර්. බී. ආර්. ගම්ලත් සිසුවාට රුපියල් 150,000 ක මුදල් ත්‍යාගයක්ද, ලෝකඩ පදක්කම දිනාගත් මොරටුව විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය ආර්. එම්. ටී. බී. රත්නායක සිසුවාට රුපියල් 100,000 ක මුදල් ත්‍යාගයක් ද පිරිනැමිණ.

මොරටුව විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය එච්. ඒ . ආර්. ටී. විජේසේකර සහ කොළඹ විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය එම්. එෆ්. එම්. සබ්‍රි යන දෙදෙනා විසින් ගෞරව සම්මාන දිනාගැනීමෙන් කණ්ඩායම වෙනුවෙන් කරන ලද මෙහෙවරද මෙහිදී ඇගයීමට ලක් කෙරිණි.

උසස් අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න, අතිරේක ලේකම් පියසේන රණේපුර මෙන්ම කණ්ඩායම පුහුණු කිරීමේ කටයුතු සිදු කරන කොළඹ විශ්වවිද්‍යාලයීය ගණිත අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය සනත් බොරළුගොඩ, අනුරාධ මහසිංහ සහ ජයන්තා සුරනිමලී මහත්ම මහත්මීහු ද මේ අවස්ථාවට සහභාගී වුහ.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා