මුද්‍රණය සඳහා

 
කොළඹ නාලන්දාවේ 90 වෙනි සංවත්සරය සමරන ‘නාලන්දා සතිය’ 1දා සිට

කොළඹ නාලන්දාවේ 90 වෙනි සංවත්සරය සමරන ‘නාලන්දා සතිය’ 1දා සිට

කොළඹ නාලන්දා විද්‍යාලයේ 90 වැනි සංවත්සරය නිමිත්තෙන් පැවැත්වෙන 'නාලන්දා සතිය' නොවැම්බර් 01 වැනිදා සිට ආරම්භ කෙරේ.

මෙම සතිය ඇතුළත විවිධ ආගමික උත්සව හා සැමරුම් අංග රැසක් පැවැත්වේ. මේ පිළිබඳව කරුණු පැහැදිලි කිරීමේ මාධ්‍ය හමුවක් නාලන්දා විදුහල්පති කර්නල් රංජිත් ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත්දා නාලන්දා විද්‍යාලයීය භාෂා විද්‍යාගාරයේදී පැවැත්විණි.

මාධ්‍ය හමුවේදී ඡායාරූපය - සුදත් මලවීර

ඒ අනුව නාලන්දා සතිය ආරම්භ වනුයේ නොවැම්බර් 01 වැනිදා (සෙනසුරාදා) විදුහල් පරිශ්‍රය තුළ පරිත්‍රාණ ධර්ම දේශනයක් පැවැත්වීමෙනි. අනතුරුව නොවැම්බර් 03 වැනිදා පස්වරුවේදී කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී 'නාලන්දා වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය' පැවැත්වේ.

නොවැම්බර් 04 වැනි අඟහරුවාදා සවස 'නාලන්දා වර්ණ ප්‍රදානෝත්සවය' බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී සිදු කෙරේ.

නාලන්දා විද්‍යාලය වෙනුවෙන් පසුගිය වසර හතරහමාරක කාලයේ ලෝකයේ රටවල් 26ක පැවති විවිධ ජාත්‍යන්තර තරඟවලට ඉදිරිපත්ව ජයග්‍රහණ අත්පත් කර ගත් තුන්සියයකට අධික සිසුන් ඇගයීමේ විශේෂ උත්සවයක් නොවැම්බර් 05 වැනිදා සවස බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ. නොවැම්බර් 07 වැනිදා ත්‍රයිනිකායික මහනායක හිමිවරුන් සහ සමස්ථ සියලුම සංඝරත්නය නියෝජනය කරමින් 90 නමක් විෂයයෙහි මහා සාංඝිකමය දානමය පින්කමක් නාලන්දා විද්‍යාලයේදී සිදු කෙරේ.

මෙම සංවත්සරික උත්සව මාලාවේ උත්කර්ෂවත් උත්සවය ලෙස 'නාලන්දා පාගමන' නොවැම්බර් 08 වැනි සෙනසුරාදා උදෑසන 8.00ට නාලන්දා විද්‍යාලයෙන් ආරම්භ කෙරේ.

මෙම මාධ්‍ය හමුවේදී නාලන්දා විදුහල්පති කර්නල් රංජිත් ජයසුන්දර මහතා මෙසේද කීය.

'19 වැනි සියවසේ ඇතිවූ මෙරට සිංහල බෞද්ධ ආගමික ප්‍රබෝධයේ ප්‍රතිඵලයක් ලෙස ජාතික අවශ්‍යතාවයක් ලෙස මෙරට බෞද්ධ පාසල් පද්ධතිය බිහි වුණා. කොළඹ ආනන්ද විද්‍යාලය ප්‍රමුඛව බිහි වූ එම පාසල් පද්ධතිය තුළින් 1924 වර්ෂයේදී නාලන්දා විද්‍යාලය ළමයි 330කින් සමන්විතව ආරම්භ වූයේ ආනන්දයේ ශාඛාවක් ලෙසින්. පසුව 1925 දී නාලන්දා විද්‍යාලය නමින් ස්වාධීන පාසලක් ලෙස 1925දී ලියාපදිංචි කර තිබෙනවා.

මෙම මාධ්‍ය හමුවේදී නාලන්දා විද්‍යාලයේ මාධ්‍ය ඒකකයේ ප්‍රධානී ලක්ෂ්මන් අමරසූරිය, ආදී නාලන්දීය මාධ්‍ය සංසදයේ අජිත් ගලප්පත්ති යන මහතුවරු අදහස් දැක්වූ අතර මෙම අවස්ථාවට නාලන්දා නියෝජ්‍ය විදුහල්පති ආරියරත්න බණ්ඩාර, සහකාර විදුහල්පති ඊ.ඩබ්ලිව්.එම්. ප්‍රේමරත්න, ජ්‍යෙෂ්ඨ ආදි ශිෂ්‍ය ඩෝල්ටන් වක්වැල්ල, මාධ්‍ය ඒකකය භාර ආචාරිණී ඉන්ද්‍රානි පීරිස් යන මහත්ම මහත්මීහු සහ විද්‍යාලයේ වාණිජ හා කලා අංශ ප්‍රධානී බෝපේ ඉන්ද්‍ර‍ජෝති හිමියෝද සහභාගී වූහ.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2014 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]