මුද්‍රණය සඳහා

 
මීරියබැද්ද නාය යාමට ලක්වූ ජනතාවට රජය ශෝකය පළ කරයි

මීරියබැද්ද නාය යාමට ලක්වූ ජනතාවට රජය ශෝකය පළ කරයි

බදුල්ල දිස්ත්‍රික්කයේ මීරියබැද්ද ප්‍රදේශය නාය යාමකට ලක් වී ඇත. මේ නාය යාමෙන් මීරියබැද්ද වතු නිවාස පේළි හතකට අයත්ව තිබූ නිවාස 125ක් පමණ පස් තට්ටුවකට යට වී පවතින බව ආපදා කළමනාකරණ අමාත්‍යංශය පැවසීය.

මීරියබැද්ද ගම අවට පදිංචිකරුවන් මේ වනවිට සහන කඳවුරු වෙත යොමු කර ඇති අතර ඔවුන්ට සහන සැපයීම සඳහා කණ්ඩායම් ගණනාවක් ගරු ජනාධිපතිතුමාගේ උපදෙස් මත ලබා දී ඇත. මේ වනවිටත් ගිලන් රථ, වෛද්‍යවරු, හෙද හෙදියන්, ඖෂධ මෙන්ම ආහාරපාන සහ පානීය ජලය වැනි මූලික අවශ්‍යතා කඩිනමින් ලබාදීමට පියවර ගෙන ඇත.

ආපදා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමා ඇතුළු එම අමාත්‍යංශයේ ඉහළ නිලධාරින් පිරිසකට වහාම එම ස්ථානයට ගොස් අවශ්‍ය කටයුතු සොයා බලා ඉටු කරන ලෙස අතිගරු ජනාධිපතිතුමා උපදෙස් දුන් අතර එම පිරිස එම ස්ථානය බලා ගොස් ඇත.

ආපදාවට ලක්වූවන් මුදාගැනීම සඳහා ත්‍රිවිධ හමුදාව ඇතුළු ආරක්ෂක අංශත්, මහජනතාවත් මේ වනවිටත් යුහුසුළුව කටයුතු කරමින් සිටියත් තවදුරටත් එම ප්‍රදේශයේ පවතින ජලය ගලා යාමේ ස්වභාවය නිසා ආපදාවට ලක්ව සිටින ජනතාව මුදා ගැනීමේ කටයුතු මහත් අසීරුවෙන් සිදු කිරීමට සිදු වී ඇතැයි ආපදා කළමනාකරණ අමාත්‍යංශය පවසයි.

කෙසේ වුව ද මෙම ආපදාවට ගොදුරු වූ ජනතාව සම්බන්ධයෙන් රජය ශෝකය පළ කරන අතර, එම ජනතාව සඳහා ගත හැකි ඉදිරි සියලුම පියවර ගන්නා බව රජය අවධාරණය කර සිටී.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2014 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]