මිනිස් ජීවිත 300ක් පණපිටින් වැළලිලා

මිනිස් ජීවිත 300ක් පණපිටින් වැළලිලා

ඌව පළාතට දින කිහිපයක් තිස්සේ පැවැති අධික වර්ෂාවත් සමඟ ඊයේ උදේ 7.40ට පමණ හල්දුම්මුල්ල, කොස්ලන්දේ, මීරියබැද්ද ප්‍රදේශයේ වතු ලයින් කාමර රැසක් නාය යෑමෙන් මිනිස් ජීවිත 300ක් පමණ වැළලී ගොස් තිබේ.

මීරියබැද්ද ප්‍රදේශයේ අක්කර 60ක් පමණ නායගොස් තිබේ. එහි තිබූ ලයින් කාමර හතක්, වතු නිවාස පහක්, කඩ දෙකක්, කිරි එකතුකිරීමේ මධ්‍යස්ථාන දෙකක් සම්පූර්ණයෙන්ම නාය යෑම නිසා එහි වාසය කළ මිනිසුන් සියලුම දෙනා පණපිටින් පසට වැළලී මියගොස් තිබේ.

පස් කන්ද නාය යෑම නිසා ගෙවල් අඩි 75 – 100ක් පසට යටවී තිබේ.

මේ ගම්මානයේ වතු ලයින් කාමරවල ජීවත් වූ පාසල් යන ළමුන් කිහිප දෙනකු පමණක් පාසල් ගොස් සිටි නිසා මරණයෙන් බේරී තිබේ.

ඊයේ සවස් වනවිට පස් කන්දට යටවී මියගොස් සිටි දස දෙනකු පමණ සොයාගෙන තිබේ.

එම ප්‍රදේශයේ ජීවත් වූ සියලුම දෙනා මියගොස් ඇති අතර අවට නිවාසවල පදිංචිකරුවන් විශාල ප්‍රමාණයක් අවතැන් කඳවුරුවලට යවා තිබේ.

ප්‍රදේශයට පවතින වැසි හා මීදුම් තත්ත්වයත් සමඟ මළ සිරුරු සොයා ගැනීම ඉතාම අසීරුවී තිබේ.

යුද හමුදාව ඇතුළු ආරක්ෂක අංශ බැකෝ යන්ත්‍ර යොදාගනිමින් ඊයේ දවස පුරාම මළ සිරුරු සෙවීමට උත්සාහ කළත් නිතර කන්ද නාය යෑමට ලක්වීම නිසා එය අසීරුවී තිබේ.

මීරියබැද්ද ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිනී එච්. එම්. චලනි මහත්මිය මෙසේ කීවාය.

මේ ප්‍රදේශය වසර ගණනාවක් පුරා තැනින් තැන ඉරිතැලීම් හා සුළු නායයෑම් සිදුවී තිබෙනවා. පෙරේදා 28 දින උදේ වතු කම්කරුවන් පිරිසක් ඇවිත් මට කිවුවා පොළොව ඉරිතලා තිබෙනවා කියලා.

මමත් ආපදා කළමනාකරණ නිලධාරියාත් ගිහින් බැලුවා. විශාල වශයෙන් පසේ ඉරි ගිහින් තිබුණා. මම මේ අයට එදාම මෙතැනින් ඉවත් වෙන්න කීවා. කොච්චර කීවත් ඇහුවේ නෑ. ඊයේ උදේ මට ආරංචි වුණා මුළු ගම්මානයේම මිනිසුන් පණපිටින් පසට යටවෙලා කියලා. මිනිසුන් 250 – 300ක් විතර මිය යන්න ඇති බව හිතනවා.

එස්. මරියදාස

දැනට වසර 3 – 4ක ඉඳලා මේ ප්‍රදේශය නාය යනවා කියලා නිලධාරීන් කීවා. මීරියබැද්ද පහළ කොටසේ ගෙවල් වගයක් වත්තෙන් හදලා සමහර අය එහි පදිංචි කළා.

මෙතන හිටපු අයට යන්න කීවත් ගියෙත් නෑ. මේ අයට යන්න තැනක් තිබුණෙත් නෑ. නිලධාරින් බැලුවෙත් නෑ. වැසි කාලයට විතරක් අයින් වෙන්න කියනවා. මේ වුණ අපරාධයට නිලධාරින්, බලධාරින් වගකිව යුතුයි.

සින්නයියා යෝගරාජ්

මම 29 උදේ 6.30ට විතර ලොරියේ පැල්වත්තට ගියා. මගේ නෝනා තමයි මේ ගමේ පවුල් සෞඛ්‍ය සේවිකාව. දරුවෝ දෙන්නත් එක්ක එයා ගෙදර හිටියා.

මට උදේ අටට විතර ආරංචි වුණා ගම්මානයම නාය ගියා කියලා. මම 10ට විතර ඇවිත් බලද්දී ගම්මානයම පස්වලින් යටවෙලා. මගේ මුළු පවුලම ඉවරයි.

කන්දයියා මුත්තුසාමි

ඊයේ උදේ 7.40ට විතර මම ගෙදර ඉද්දී මීරියබැද්ද ගම්මානය පැත්තෙන් විශාල ශබ්දයක් ඇසුනා වැස්සත් තිබුණා. කවදාවත් අහපු නැති ශබ්දයක් නිසා මමත් තවත් කිහිප දෙනෙක් ඒ පැත්තට ගියා.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා