විනාශය කලින් දැනුම් දුන්නත් වතු සමාගම ක්‍රියාත්මක වී නෑ

විනාශය කලින් දැනුම් දුන්නත් වතු සමාගම ක්‍රියාත්මක වී නෑ

සමාගමට ‍එරෙහිව නීතිමය පියවර ගන්නවා

- ඇමැති මහින්ද සමරසිංහ

හල්දුම්මුල්ල කොස්ලන්ද මීරියබැද්දවත්ත ප්‍රදේශයේ නාය යාමක් සිදුවිය හැකි බැවින් එහි ඇති නිවාස ඉවත් කරන්නැයි ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනය 2011 වසරේදී කළ පූර්ව දැනුම්දීම සැලකිල්ලට නොගැනීම සම්බන්ධයෙන් අදාළ වතු සමාගමට එරෙහිව පියවර ගැනීමට සිදුවනු ඇතැයි වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද සමරසිංහ මහතා පවසයි. මීරියබැද්දවත්ත අයත් වැවිලි සමාගමට මේ බව දැනුම් දෙන ලෙස වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම්වරිය වෙත තමා දැනුම් දුන් බවද ඇමැතිවරයා පැවැසීය. ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනය නාය යාමේ අවදානම සහිත ප්‍රදේශ සිතියම් ගත කර තිබෙන බවත්, එසේ හඳුනා ගෙන තිබෙන අවදානම් සහිත ප්‍රදේශවලින් ජනතාව ඉවත් කිරීමට කටයුතු කරන බවත් ඇමැතිවරයා පවසයි.

ඇමැති මහින්ද සමරසිංහ මහතා මේ බව පැවැසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථාන ශ්‍රවණාගාරයේ ඊයේ (29) පැවැති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු මේ සම්බන්ධයෙන් කළ විමසුමකට පිළිතුරු දෙමිනි. මීරියබැද්දවත්තේ සිදුවූ අවාසනාවන්ත සිද්ධිය සම්බන්ධයෙන් තමන් බෙහෙවින් සංවේගයට පත්වන බව කී ඇමැතිවරයා එවැනි සිදුවීම් මින් ඉදිරියට සිදුනොවන්නට රජය අවශ්‍ය පියවර ගන්නා බවත් කීවේය. නාය යාම සිදුවූ ප්‍රදේශයේ ජනතාවට අවශ්‍ය සහන සැළසීමේ කටයුතු ආපදා කළමනාකරණ ඇමැති මහින්ද අමරවීර මහතාගේ මැදිහත්වීම යටතේ මේ වනවිටත් සිදුවෙමින් පවතින බවද හෙතෙම සඳහන් කළේය.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා