මුද්‍රණය සඳහා

 
රටේ සියලුම බස් නැවතුම් පර්යන්ත එකම සැලැස්මකට ගෙන ඒමේ වැඩපිළිවෙළක්

රටේ සියලුම බස් නැවතුම් පර්යන්ත එකම සැලැස්මකට ගෙන ඒමේ වැඩපිළිවෙළක්

රටපුරා තිබෙන සියලුම බස් නැවතුම් පර්යන්ත එකම සැලැස්මකට අනුව ස්ථාපිත කිරිමට පුද්ගලික ප්‍රවාහන ඇමති සී.බී. රත්නායක මහතා පියවර ගනි. ඉදිකෙරෙන බස් පර්යන්ත උප තැපැල් කාර්යාලයක්, සන්නිවේදන මධ්‍යස්ථානයක් ,පොලිස් මුරපොලක් , මගි විවේකාගාරයක්, හා බැංකු පහසුකම් වලින් සමන්විත බවද ඇමතිවරයා පැවසිය.

පළාත් මාර්ගස්ථ මගි ප්‍රවාහන අධිකාරි කාර්යාලයන්හි පාලන මැදිරි ස්ථාපිත කෙරෙන අතර ඒවා ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ ප්‍රධාන පාලන මැදිරිය හා සම්බන්ධ කෙරේ. ඒ හා සම්බන්ධ තාක්ෂණික දැනුම හා යටිතල පහසුකම් ජාතික ගමනා ගමන කොමිෂන් සභාව මගින් සපයනු ලබේ.

පාසැල් සිසුන් සඳහා ක්‍රියාත්මක සිසු සැරිය පාසැල් බස් සේවාව තව දුරටත් පුළුල් කිරිම සඳහාරජය 2015 වසර වෙනුවෙන් රුපියල් මිලියන 100 ක අමතර මුදලක් රජය ලබා දී ඇති බවද ඇමතිවරයා පැවසිය.

කොළඹ පැවති පළාත් ප්‍රවාහන ඇමතිවරුන්ගේ සමුළුවකදි ඇමති වරයා මෙම අදහස් පළකළේය.

දකුණු පළාත් ප්‍රධාන ඇමති ශාන් විජයලාල්ද සිල්වා මහතා තම පළාත තුළ ඒකාබද්ධ කාලසටහන් සාර්ථකව ක්‍රියාත්මක වන බවත්, එබැවින් ප්‍රවාහන ක්ෂේත්‍රයේ ගැටළු අවම වී ඇති බවත්, පැවසීය.

සිසු සැරිය පාසැල් බස් රථ සේවාව වයඹ පළාත තුළ සාර්ථකව ක්‍රියාත්මකව පවතින බැවින් නව සිසුසැරිය බස් සේවා ආරම්භ කිරීමට අවස්ථාව ලබාදෙක ලෙස වයඹ පළාත් ප්‍රවාහන ඇමති ගුණදාස දෙහිගම මහතා ඉල්ලා සිටියේය.

උතුරුමැද පළාත් ප්‍රවාහන ඇමති එච්.බී. සේමසිංහ මහතා අදහස් දක්වමින් දුරගමන් සේව බස්රථ නැවතුම් හා ආපනශාලා පිළිබඳව සෑහීමකට පත්විය නොහැකි බැවින් ඒවා විධිමත් කිරීමේ වැඩපිළිවෙලක් කඩිනමින් දියත් කළයුතු බව පැවසීය.

ගුණාත්මක මගී ප්‍රවාහන සේවාවක් රට තුළ ස්ථාපිත කිරිම සඳහා අමාත්‍යාංශය වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර ඇති බවත්, එය සාර්ථක කර ගැනීම සඳහා පළාත් මාර්ගස්ථ මගීප්‍රවාහන අධිකාරින්හි සහාය අත්‍යාවශ්‍ය බවත් පුද්ගලික ප්‍රවාහන සේවා අමාත්‍යංශයේ ලේකම් පද්මසිරි ජයමාන්න මහතා පැවසීය.

ඒකාබද්ධ කාලසටඑන් ක්‍රමය ක්‍රියාත්මක කිරීම පිළිබඳව බස්නාහිර හා මධ්‍යම පළාත් මාර්ගස්ථ මගීප්‍රවාහන අධිකාරින් හා ශ්‍රී ලංගම සමග කරන ලද සාකච්ඡා සාර්ථක බව මෙහිදී එම පළාත් අධිකාරින්හි සභාපතිවරුන්පැවසූහ.

ගුණාත්මක මගී ප්‍රවාහන සේවාවක් ස්ථාපිත දිරිම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව ආර්ථික සංවර්ධන ඇමති බැසිල් රාජපක්ෂ මහතා සමග සාකච්ඡා කිරිමට නියමිත අතර එහිදී ගනුලබන තීරණ ජනාධිපතිතුමා වෛත ඉදිරිපත් කිරීමටද නියමිතය

මෙම සාකච්ඡාවට ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ සභාපති රේණුක පෙරේරා මහතාද, පළාත් ප්‍රවාහන අමාත්‍යාංශවල ලේකම්වරුන් පළාත් මාර්ගස්ථ මගි ප්‍රවාහන අධිකාරින්හි සභාපතිවරුන් හා සාමාන්‍යාධිකාරිවරුන්, උතුරු පළාත් දිසා ලේකම් කාර්යාලයන්හි නියෝජිතවරුන් , පුද්ගලික ප්‍රවාහන සේවා අමාත්‍යාංශයේ හා ජාතිත ගමනා ගමන කොමිෂන් සභාවේ නිලධාරිහු සහභාගි වූහ.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2014 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]