කොස්ලන්ද කඳුළින් තෙමිණි

කොස්ලන්ද කඳුළින් තෙමිණි

සුනාමියෙන් පසු ශ්‍රී ලංකාෙව් සිදුවූ විශාලම ෙඛ්දවාචකය

* වතු සමාගම රජයේ ඉල්ලීම නොසලකා හැරියා

* ඉඩම් දුන්නා, ඒත් ඉවත් වුණේ නෑ

තේ දලු මතට පිනි බිඳු වැටී දැලිසෙන අපූරුව ඔබ කෙදිනක හෝ දැක තිබෙනවාද? ඒ අපූර්වත්වය තුළ සැඟව ඇති කඳුළු කතා කොතෙකුත්ද? මරණය දැක, දැක, අවදානම දැක දැක ඔවුන් ඒ අවදානම් සහගත ප්‍රදේශයේ රැඳී සිටියෙ මරණයට බිය නැති නිසාද?

තවත් දවසකට හිරු උදාවිය. සියල්ලටම කලියෙන් අවදිවන ලෙච්චමීලා, තංගමනීලා, ශාන්තිනීලා පුංචිඋන් පාන්දරින්ම ඉස්කෝලේ පිටත්කරන්න හිතාගෙන ගෙදර වැඩ ටික අහවර කරලා උදේ දලු මුරේට යන්න දවස පටන්ගත්තත් ඊයේ දවසේ ඔවුන්ටත් පෙරාතුව අවදිවී සිටියේයග.

බදුල්ල, කොස්ලන්ද, හල්දුම්මුල්ල, වතුයායේ දරුණු නායයාමක් හේතුවෙන් ලැයිම් නිවාස පේළි තුනක නිවාස 60ක් සමගින් බංගලා 2ක් ඊයේ පස් අතරෙහි සැඟව ගොස් තිබුණේ එහි ජීවත්වූ නිවැසියන්ද සමගිනි.

උදේ පාන්දරින් මවුවරුනගේ දෙපා වැඳ පාසල් ගිය දරුවනට නැවත එන්නට ගෙයක් ඉතිරි නොකරන තරමට ඒ පුංචි උන්ගේ දෛවය කුරිරු වී තිබුණේ උන් හිටි තැන් මාපියන් නෑසියන් සියල්ලද අහිමි වීමෙනි.

කොස්ලන්ද දෙමළ මහා විද්‍යාලයේ තවමත් පාසල් ගිය ඒ දරුවන් ගේ මුහුණුවල රැඳි දුක, බිය, සංතාපය පිළිබඳ සිතෙන විට හැ‍ඟෙන්නේ ඔවුනගේ හෙට දවසෙහි ඇති අවිනිශ්චිත බව පිළිබඳ කුරිරු යථාර්ථය නොවේද?

ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය, මෙම ප්‍රදේශයේ ඇති අවදානම් සහගත බව පිළිබඳ නිවේදනය කරමින් නිවෙස්වලින් බැහැර වන ලෙස අවස්ථා කීපයකදී දන්වා තිබුණද නිවෙස් අතැහැර යාමට හල්දුම්මුල්ල වතුවාසීන් ඉදිරිපත් නොවීම නැවත සිතා බැලිය යුතුම කරුණකි.

සැතපුම් පහක පමණ ප්‍රදේශයකට බලපා ඇති මෙම නායයාමට හේතුවූ ආපදාව කළමනාකරණය කිරීම ඉතා දුෂ්කර කාර්යයක් බවට පත්වී ඇත්තේ කාලගුණය තවදුරටත් අයහපත් වෙමින් පවතින නිසාය.

විපතට පත්වූවන් සෙවීම ආදී කටයුතු දුෂ්කර කාර්යයක් බවට පත්වී තිබේ.

ආපදාස්ථානයට ළඟාවී සිටින ත්‍රිවිධ හමුදාවන් හා සහන සේවකයින් සහ ප්‍රදේශවාසීන් මහත් පරිශ්‍රමයකින් සහ සහයෝගයෙන් කටයුතු කළද ව්‍යසනය මහත් දරුණු තත්ත්වයකට පත්වී ඇත්තේ කාලගුණයෙහි මෙන්ම එම ප්‍රදේශයට ළඟාවීමට ඇති දුෂ්කරතාවද හේතුවෙන් බව බදුල්ල දිස්ත්‍රික් ලේකම් වරයා දිනමිණ වෙත පැවසීය.

හැම දෙයටම වඩා වටින්නේ මිනිස් ජීවිතය යන උදාර හැඟීමෙන් යුතුව කොස්ලන්ද ප්‍රදේශවාසීන් පමණක් නොව සියලු වගකිවයුතු නිලධාරීන්ම තම වගකීම් ඉටුකිරීමට කැපවී සිටී.

ලිපිය මුද්‍රණය වෙත යවන්නට මොහොතකට පෙර කළ විමසීමේදී කොස්ලන්ද පොලිසිය බණ්ඩාරවෙල රෝහල මෙන්ම දිසාපති කාර්යාල‍ෙයන් ලත් තොරතුරුවලින් කියැවුනේ මේ මොහොතේ විනාශය අවම කරවීමට හා අවට වාසීන්ගේ ජීවිත ආරක්ෂා කරවීමට කටයුතු කරමින් සිටින බවයි.

වසර තිහක යුද්ධයෙන් හෙම්බත් වී සිටි අප යාන්තමට සැනසිල්ලේ හුස්ම ගත්තා පමණි. පසුගියදා කොළඹ සිට යාපනය තෙක් ගමන්ගන්නට පටන්ගත් දුම්රියේ වැඩි වශයෙන් ගමන් ගන්නේ උතුරේ හා දකුණේ වෙසෙන ද්‍රවිඩ ජනතාව බව තොරතුරු වාර්තාවලින් කියැවිණි.

ඉන් ගම්‍ය වන්නේ උතුරේත් දකුණේත් නෑදෑකම් සබඳකම්වල නව පැතිකඩක් විවර වී ඇති බවකි.

එහෙත් දෛවයේ සරදම නැවතත් හිස ඔසවමින් සිටින්නේ කුරිරු ලෙසින්ය.

සුනාමිය පැමිණ අපට එක්කළ අඳුරු මතකය මෙන් විටක මහ වැසි ද, නියඟයද අපට පහරදීමට පටන්ගෙන තිබේ.

සොබාදහම විටක සිනහව මෙන්ම විටක කඳුළද ගෙන එන්නේ,

මිනිස්බව පිළිබඳ යළි යළිත් සිතන්නට ඉඩ සලසමිනි.

මේ මොහොතේ මිනිසුන් ලෙස එක්වී කළයුතු බොහෝ දේ ඇත. දුකට පත්මිනිසුන් ඉන් ගලවා ගැනීම ඒ අවට අනාරක්ෂිත ලෙස ජීවත්වන මිනිස් ජීවිත සුරැකීම බලධාරීන්ගේ පමණක් නොව මිනිසුන් ලෙස අපි කාගෙත් වගකීමක් වන බැවිනි.

 

හල්දුම්මුල්ල ප්‍රදේශයේ නාය යෑමට ලක්වූ ලයිම් කාමර පැවැති ප්‍රදේශයේ අවදානම් සහගත බව පිළිබඳව අප ආයතනය 2004 දීත් 2011දීත් අනතුරු ඇඟවූවා. අප හඳුනාගත් පරිදි ගල්වැටීමේ අනතුර ලයිම්පේළි දෙකකටත්, ලයිම් පේලි හයක් නායයෑම් අනතුරටත් ලක්වීමට ඉඩ ඇති බව අප එම අවස්ථාවල දැනුම් දුන්නා.

ප්‍රදේශවාසීන් දැනුවත්කිරීම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ, සර්වෝදය ආයතනය සහ රතුකුරුස සමාජයේ දායකත්වයෙන් මීරියබැද්ද පාසලේදී දැනුවත්කිරීමේ රැස්වීමක් පවා සංවිධානය කළා. නමුත් ඒ අවස්ථාවේදීවත් එම නිවෙස් අත්හැරයාමට ඔවුන් වැඩිදෙනෙක් කැමැත්තක් දැක්වූයේ නැහැ.

මා දන්නා පරිදි පවුල් කිහිපයක් පමණක් ප්‍රදේශයෙන් ඉවත්වී තිබෙනවා. දැනුවත් කිරීම හැර අවදානම් සහගත ප්‍රදේශවල ජීවත්වන පිරිස් බලෙන් ඉවත්කිරීමට අපට බලයක් නැහැ.

මේ තත්ත්වය ඉතාමත් කනගාටුයි. බොහෝ දෙනෙකුගේ පුරුද්ද වී ඇත්තේ තමන්ට හුරුපුරුදු ප්‍රදේශ අත්නොහැරීමටයි.‍ ඔවුන් හැදී වැඩුණු කාලයක් ජීවත් වූ ප්‍රදේශවලම ජීවත්වීට කැමැත්තක් තිබෙනවා. මුත් මෙවැනි දේ වලින් සිදුවන්නේ දරාගත නොහැකි ව්‍යසනයන්. මෙය ඉදිරියේදී පාඩමක් කරගතයුතු වෙනවා.

ආර්. එම්. එස්. බණ්ඩාර
අධ්‍යක්ෂ නායයෑම් අධ්‍යන හා සේවා ආයතන
ජාතික ‍ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය

 

 

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා