උත්තරීතර

උත්තරීතර

මනමාලයා සභාවට පැමිණියේය.

ඒ අකිල විරාජ් කරියවසම් මහතාය. පසුගියදා යුගදිවියට පත් ඒ මහතාට මුලසුනේ සිටි චන්දිම වීරක්කොඩි මහතා ප්‍රථමයෙන් සුබ පැතුවේය. දැන් ලස්සන වෙලා කියා වීරක්කොඩි මහතා කියද්දී එජාපයේ අනික් මන්ත්‍රීවරු ඔහුට සුබපතමින් කතා කළේය. කාරියවසම් මහතා මී හරක් ගැන අසා තිබූ ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ එච් ආර් මිත්‍රපාල මහතාය. ඔහු සුබපතන ගමන් මී කිරි ගැන ප්‍රශ්නයක් ඇසීම ගැන සතුට පළ කළේය.

දැන් කිරි එරෙන කාලේ කියා සභාවෙන් ඇසිණි. රෝසි සේනානායක මහත්මිය ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ගාමිණි විජිත් විජයමුණි සොයිසා මහතාය. ප්‍රශ්නය වනෝද්‍යානවලට ගොන්නු රිංගීම ගැනයි. ඇසූ ප්‍රශ්නයට පිළිතුරුදීමට පෙර සේනානායක මහත්මිය අතුරු ප්‍රශ්නයක් අසන්නට උත්සාහ කළාය. ඒ ඇයගේ හැටිය. එවිට සොයිසා මහතා බොහෝම ආදාරයෙන් ඉල්ලා සිටියේ අනික් අයත් එක්ක වගේ මාත් එක්කත් කරුණාවෙන් දයාවෙන් කතා කරන ලෙසය. ප්‍රශ්නය හරක් ගැන නිසා ඇති වූ වාතාවරණය මත දෑත් උස්සාගත් සොයිසා මහතා අනේ මට අලි මදිවට හරක් යැයි කීවේ සිනාසෙමිනි.

පෙර දිනයේ සභාවේ නොසිටි ඒ එච් එම් අස්වර් මහතා සුපුරුදු පරිදි පෙනී සිටියේය. ඔහු සාම්පූර් රැගෙන ගොස් තිබිණි. ඒ දිනේෂ් ගුණවර්ධන මහතා විසිනි. ජල යෝජනා ක්‍රමයක් විවෘත කිරීමකට ජනාධිපතිවරයා සමඟ ඊට සහභාගීවී ඇත. ගුණවර්ධන මහතා සිය අය වැය කතාවේදී මේ බව සඳහන් කළ විට ඇයි එයාව එක්කගෙන ගියේ කියා ඇසුවේ යාපනයේ විජයකලා මහේෂ්වරන් මහත්මියයි. ඊට පිළිතුරු දුන් ගුණවර්ධන මහතා ඔයාව එක්කරගෙන යන්න බැරි නිසා යැයි කීවේ සිනාසෙමිනි.

ශරීරයෙන් කුඩා මහේස්වරන් මහත්මිය සභාවේ රැදී සිටිමින් ගුණවර්ධන මහතාගේ කතාවට බාධා කළේ තලතා අතුකොරළ මහත්මිය සමඟය. ඒ සිංහල භාෂාවෙනි. අසන්නට පිරිස නොමැතිව කම්මැලි කමින් ඈනුම් අරින මට්ටමෙන් සිටි අයට මේ කාන්තාවන් දෙදෙනාගේ බාධාකිරීම්වලින් පොඩි විනෝදයක් ලැබිණි. දැවැන්ත චරිතයක් වූ ගුණවර්ධන මහතාට මහේෂ්වරන් මහත්මිය බාධා කළේ පොඩි එකියක මෙනි. ගුණවර්ධන මහතා අතීත කතාවක් කර ඔබ ඒ කාලයේ පාසල් යන දැරියක කියා කීවත් මහේෂ්වරන් මහත්මිය ඇගේ බාධා කිරීම් නතර කළේ නැත.

අය වැය විවාදයට එක්වූ අගමැති දී මූ ජයරත්න මහතා කවි කතාවක්ද කළේ අපහසුවෙනි. මාස තුනකට වරක් සභාව රැස් කිරීම හොඳ බවට ඒ මහතා යෝජනා කළේ එජාපයේ මන්ත්‍රීවරු සභාවේ නොමැති තත්ත්වයක් මතය. එවිට සජිත් ප්‍රේමදාස මහතා කියූ ආකාරයට දිනකට කෝටි එකහමාරක් වැය වෙන්නේ නැති බවද ජයරත්න මහතා කීය. අධිවේගී මාර්ගයේ රිය අනතුරකට ලක්ව පාදයක් අහිමි වූ අජිත් මාන්නප්පෙරුම මහතාද සභාවට පැමිණ සිටියේ අත්වාරුවක ආධාරයෙනි.

තමාට සිදුවූ කරදරය ගැන කීවේ කවියෙනි. රෝහලේ සිටියදී ලැබූ අත්දැකීම්ද විවාදයට එකතු කළේ වේදනාවෙනි. කකුලක් නැතත් තනි කකුලෙන් හොඳ දායකත්වයක් විවාදයට එකතු කළේය. අස්වර් මහතා සිය සුපුරුදු රීති ප්‍රශ්නය මතු කළේද කවියෙනි. මර්වින් සිල්වා මහතා කිවි මෙන්ම සින්දුද කීවේය. අය වැය ගැනත් ජනාධිපතිවරයා ගැනත් කී ඔහු ටොයියාට වඩා බයියා හොඳ බව කීය.

ගුණවර්ධන මහතාට පොඩි දැරියක් ලෙස මහේෂ්වරන් මහත්මිය පෙනුනත් මාතර බුද්ධික පතිරණ මහතා ගුණවර්ධන මහතාව දැක්කේ සීයා කෙනෙකු ලෙසය. ඊට හේතුව වූයේ ගුණවර්ධන මහතා පතිරණ මහතාට පොඩි සත්තමක් දැමීම නිසාය. හරියට මෙයා අපේ සීයා වගේනේ කියා පතිරණ මහතා කීවේ ඒ නිසාය. ඒත් ගුණවර්ධන මහතා ඊට කෝප වූ බවක් නොපෙනුණි. පතිරණ මහතා ප්‍රශ්න දෙකක් අසා තිබිණි. ඒ දෙකම මහනුවර ගොහාගොඩ කුණු ගොඩ පිළිබඳවයි.

මහනුවර දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරු රැසක් සිටියද අවස්ථා කිහිපයකදීම පතිරණ මහතා මේ කුණු ගොඩ ගැන ප්‍රශ්න අසා තිබිණි. කුණු ගොඩ අසලින් මහවැලි ගඟ ගලා යන නිසා අපද්‍රව්‍ය බැර ලෝහ ගඟට එකතු වන බව තහවුරු කිරීම පතිරණ මහතාගේ අරමුණ විය. ඊට හේතුව කුණුගොඩට පහළින් නගරයට බීමට ගන්නා පොම්පාගාරය ඇති නිසාය. ගඟේ ජලය අපවිත්‍රවීමෙන් බොන ජලයටද අපවිත්‍ර වී ඇතැයි පතිරණ මහතා කළ චෝදනාවට ගුණවර්ධන මහතා පිළිතුරු දුන්නේ තරවටු කරන අන්දමේ ශබ්දයෙනි. පතිරණ මහතා අසා තිබූ එක් ප්‍රශ්නයක් කුණු ගොඩ කළමනාකරණය කළ සමාගම හා කොන්දේසිස ගැනය. ඊට පිළිතුරු දුන්නේ ඉන්දික බණ්ඩාරනායක මහතාය.

කුණුවලින් විදුලිය නිපදවා ලාභයෙන් සියයට 5ක් මහනුවර මහ නගරසභාවට ලබාදීමට පොරොන්දුව හැර අන් සියලු පොරොන්දු සමාගම ඉටු කර ඇති බවද ඒ මහතා කීය. අනෙක් ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ සුසිල් ප්‍රේමජයන්ත මහතාය. එම කුණු ගොඩේ අපද්‍රව්‍යවල තත්ත්වය පිළිබඳ මධ්‍යම පරිසර අධිකාරියේ පරීක්ෂණ වාර්තා සමඟ දුන් එම පිළිතුරෙන් මහවැලි ගඟට අපද්‍රව්‍ය බැර ලෝහ එකතු වීමේ අවදානම ගැන ඉගියක් ලැබුණි. තමා කියන්නේ සත්‍යයක් බව තහවුරු කරන පිළිතුරක් ලැබීමෙන් උද්දාමයට පත් පතිරණ මහතා ප්‍රේමජයන්ත මහතාට පින් දී කුණුගොඩ කළමනාකරණය කරන සමාගමේ සභාපතිවරයා තක්කඩියෙක් ලෙස හැඳින්වීය.

දිනේෂ් ගුණවර්ධන මහතා ඊට විරෝධය පළ කිරීමත් සමඟ සභාව උණුසුම් විය. සමාගමේ ලිපිනය ලෙස පේරාදෙණියේ පිහිටි මහාචාර්යවරයාගේ විශ්ව විද්‍යාල නිල නිවාසය යොදා ගැනීම තක්කඩි වැඩක් ලෙස පතිරණ මහතා හැඳින්වීය. ඊට විරෝධය පළ වීම නිසා බෙහෙත් ගන්නා ආ ලෙඩාව මැරූ දොරස්තරට මිනීමරුවා කියා කීවා නම් තක්කඩිකමක් කළ මහාචාර්යවරයාට තක්කඩියා ඇමතීමේ වරද කුමක්දැයි පතිරණ මහතා ප්‍රශ්න කළේය. එහිදී තක්කඩියා යැයි කීම සලකනවාට වඩා ගොහාගොඩ කුණු ගොඩෙන් මහවැලි ගඟට එකතු වෙන අපද්‍රව්‍ය ගැන අදාළ බලධාරීන් සිය අවධානය යොමු කළ යුතුවේ. දිගම ගංගාව වූ මහවැලි ගඟට මහනුවරින් එකතුවන අපද්‍රව්‍ය ත්‍රිකුණාමලය දක්වාම ගඟ දෙපස සිටින ජලය පාවිච් කරන්නන්ගේ ජීවිතවලට කරන බලපෑම සුළු පටුනොවේ. එමනිසා අපවිත්‍රවන ද්‍රව්‍ය එකතු වන්නේ නම් එය නතර කිරීමට පියවර ගැනීම වගකීමක් මෙන්ම යුතුකමක් ලෙසද සැළකිය යුතුය.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා