ශ්‍රී ලංකා මවුන්ටන් පාපැදි ක්‍රීඩකයෝ ආසියානු තරග බිමේ

ශ්‍රී ලංකා මවුන්ටන් පාපැදි ක්‍රීඩකයෝ ආසියානු තරග බිමේ

රටවල් විස්සක තරගකරුවන් සහභාගි වන ආසියාතික මවුන්ටන් පාපැදි ශූරතාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මවුන්ටන් පාපැදි තරගකරුවන් සිවු දෙනෙකු සහභාගි වෙති. ඉන්දුනීසියාවේ ලුබුක්ලින්ගම්හි නොවැම්බර් 1 සිට 2 දක්වා පැවැත්වෙන මේ තරගාවලිය ජ්‍යෙෂ්ඨ හා කනිෂ්ඨ වශයෙන් දෙඅංශයකින් පැවැත්වේ.

ශ්‍රී ලංකා මවුන්ටන් පාපැදි ක්‍රීඩකයන් හයදෙනා...අමල් සුරංග, සුමේධ වර්ණකුලසූරිය, සචින් දුලංජන, සංජු දීමන්ත, අසිත පින්නදූව හා මෙවන් ගුණවර්ධන.

ජ්‍යෙෂ්ඨ ශූරතාව සඳහා ගුවන් හමුදාවේ අමල් සුරංග හා යුද හමුදාවේ සුමේධ වර්ණකුලසූරිය ද, කනිෂ්ඨ ශූරතාව සඳහා ගාල්ල කුලරත්න මහ විදුහලේ සචින් දුලංජන හා ගම්පහ ‘ද ෆ්‍රෙන්ඩ්ස්’ පාපැදි සමාජයේ සංජු දීමන්ත ද ශ්‍රී ලංකාව වෙනුවෙන් මවුන්ටන් පාපැදි ධාවනය කරනු ඇත. මේ ක්‍රීඩකයන් සිවුදෙනා හා කණ්ඩායමේ කළමනාකරු ලෙසින් මහවැලි ක්‍රීඩා නිළධාරී නන්දන බණ්ඩාර මහතා ඊයේ දිවයිනෙන් පිටත්ව ගියහ.

ලුබුක්ලින්ගම් ප්‍රදේශයේ ඉතාමත් දුෂ්කර මාර්ගයක පැවැත්වීමට නියමිත මේ ශූරතාවලියේ ජ්‍යෙෂ්ඨ තරගයේ දුර කිලෝ මීටර 40කි. කනිෂ්ඨ තරගය කිලෝ මීටර 30ක දුර ප්‍රමාණයක පැවැත්වෙනු ඇත.

චීනය, ජපානය, කොරියාව, තායිලන්තය, මැලේසියාව, ඉන්දුනීසියාව, සිංගප්පූරුව, ඉන්දියාව හා කසකස්තානය ඇතුළු රටවල් විස්සක දක්ෂතම මවුන්ටන් පාපැදි තරගකරුවන් මේ ශූරතාවලියට සහභාගි වෙති.

වැලිසර නාවික හමුදා රේසිං ධාවන පථයේදී සැප්තැම්බරයේ පැවැති තෝරා ගැනීමේ තරගාවලියෙන් ඉන්දුනීසියා තරගය සඳහා මේ ක්‍රීඩකයන් සිවුදෙනා තෝරා ගැනිණි. අනතුරුව නන්දන බණ්ඩාර මහතාගේ අධීක්ෂණය යටතේ බ්‍රිතාන්‍ය ජාතික පීටර් බ්ලක් මහතා විසින් ඉංගිරිය හා මාදිවෙල දුෂ්කර ධාවන පථවල මේ ක්‍රීඩකයන් පුහුණු කෙරිණි.

“ක්‍රීඩකයන් හතර දෙනා ඉතාමත් උසස් තරග මට්ටමේ සිටිනවා. ඒ අනුව මේ තරගයේදී ප්‍රතිවාදීන්ට තියුණු සටනක් දීමේ තත්ත්වයක මේ ක්‍රීඩකයන් ඉන්නවා. විශේෂයෙන් දකුණු ආසියාවේ රටවල තරගකරුවන්ට අපේ ක්‍රීඩකයන් හතර දෙනා ප්‍රබල අභියෝගයක් වේවි” යැයි මවුන්ටන් පාපැදි සංගමයේ සභාපති අමල් සූරියගේ මහතා පවසයි.

ආසියාතික මවුන්ටන් පාපැදි ශූරතාවලියට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයන් යැවීම සඳහා සම්පූර්ණ සහයෝගය ලබා දීම පිළිබඳව ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ සභාපති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කේ.පී.පී.පතිරණ මහතාට ස්තූතිවන්ත වන බව සූරියගේ මහතා කියයි.

ශූරතාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෙකුට හා කනිෂ්ඨ ක්‍රීඩකයෙකුට ‘බියංකි’ වර්ගයේ සුපිරි මවුන්ටන් බයිසිකල් දෙකක් ලබා දී තිබේ. මේ එක් බයිසිකලයක වටිනාකම අමෙරිකානු ඩොලර් ලක්ෂ තුනක් පමණ වෙයි.

“මේ බයිසිකල් ලබා දී ඇත්තේ බයිසකලයේ තත්ත්වයේ අඩුපාඩුව මකා ගන්නයි. ජාත්‍යන්තර තරගවලට සහභාගි වන අපේ ක්‍රීඩකයන් සැම විටම කරන ප්‍රධාන පැමිණිල්ලක් වන්නේ විදෙස් තරගකරුවන්ගේ බයිසිකල්වල නවීන තත්ත්වයට වඩා ඒ අයගේ බයිසිකල් ඉතා පහත් තත්ත්වයේ තිබීම නිසා සාර්ථකව තරග කරන්න බැරිවුණා කියලයි. ඒ අඩුපාඩුව මේ තරගාවලියේදී අපි සම්පූර්ණ කළා” යනුවෙන් අමල් සූරියගේ මහතා ප්‍රකාශ කරයි.

‘රම්බල් ඉන් ද ජංගල්’

ආසියාතික මවුන්ටන් පාපැදි ශූරතාවලියට අමතරව ශ්‍රී ලංකාවේදී පළමු වතාවට පැවැත්වෙන ජාත්‍යන්තර මවුන්ටන් පාපැදි CROSS COUNTRY (XC) තරගාවලිය සඳහා ඉන්දුනීසියා තරග බිමට නම් කළ ක්‍රීඩකයන් සිවුදෙනා සහ තවත් දෙදෙනෙකු තෝරා ගෙන තිබේ. අසිත පින්නදූව හා මෙවන් ගුණවර්ධන එම ක්‍රීඩකයන් දෙදෙනා වෙති.

පින්නදූව හා ගුණවර්ධන ජාත්‍යන්තර මවුන්ටන් පාපැදි තරගාවලියේ විනෝදයට තරගකරන්නන්ගේ ඉසව්වේදී ශ්‍රී ලංකාව නියෝජනය කරනු ඇත. මොවුන් ඉදිරියේ ඇත්තේද අභියෝගාත්මක ධාවන පථයකි.

“විනෝදය සඳහා පාපැදිය ධාවනය කරන තරගකරුවන් ලංකාවේ සෑම දිසාවකින්ම අද සෑහෙන්න බිහිවෙලා ඉන්නවා. ඒ අයට ස්ථාන දෙකක් වෙන්කර තියෙනවා” යැයි සූරියගේ මහතා කියයි.

ජාත්‍යන්තර මවුන්ටන් පාපැදි තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවට ස්ථාන හයක් ලබා දී ඇත්තේ ‘ලංකා ස්පෝට්රයිසන්’ ආයතනයේ සභාපති තිලක් වීරසිංහ මහතා විසිනි. දිවයිනේ මවුන්ටන් පාපැදි ක්‍රීඩාව නංවාලීම සඳහා කරනු ලැබූ මේ මහඟු සේවය පිළිබඳව තම හෘදයාංගම ස්තූතිය තිලක් වීරසිංහ මහතා වෙත පුදකරන බව සූරියගේ මහතා සඳහන් කරයි.

“වීරසිංහ මහතා ශ්‍රී ලංකාවට මේ ස්ථාන හය ලබා දුන්නේ නොමිළේයි. එහෙම නැත්නම් එක් ක්‍රීඩකයෙකුට අමෙරිකානු ඩොලර් 1900ක් බැගින් ගෙවිය යුතුයි.”

ශ්‍රී ලන්කන් ගුවන් සේවය අනුග්‍රහය දක්වන මේ තරගාවලිය සංවිධානය කරන්නේ Yak Attack නමැති බ්‍රිතාන්‍ය ආයතනයයි. වසරක් පාසා පවත්වනු ලබන මේ තරගාවලිය පසුගිය වර්ෂයේ පැවතියේ නේපාලයේය. මෙවර ශ්‍රී ලංකාවට ලබා දී ඇති තරගාවලිය ‘රම්බල් ඉන් ද ජංගල්’ (Rumble In The Jungle) ලෙසින් නම්කර තිබේ.

නොවැම්බර් 19 සිට 22 දක්වා සිවු දිනක් තිස්සේ තරගාවලිය කුඩාඔය සිට හපුතලේ දක්වා අති දුෂ්කර ධාවන පථයක පැවැත්වෙනු ඇත. ස්විට්සරලන්තය, අමෙරිකාව, ජපානය, එංගලන්තය හා ප්‍රංශය ඇතුළු රටවලින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 40 දෙනෙකු දැනටමත් මේ තරගාවලිය සඳහා අයැදුම් පත් එවා ඇතැයි අමල් සූරියගේ මහතා වැඩි දුරටත් ප්‍රකාශ කරයි.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා