මධ්‍යම පළාත් පාසල් මාර්ග ධාවන තරග හෙට

මධ්‍යම පළාත් පාසල් මාර්ග ධාවන තරග හෙට

මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ක්‍රීඩා අංශය සහ යු.ජී.එම්. පදනම එක්ව පස්වැනි වරටත් සංවිධාන කරන සමස්ත ලංකා පාසල් අර්ධ මැරතන් ධාවන තරගය සහ මධ්‍යම පළාත් පාසල් මාර්ග ධාවන තරගය හෙට (31) පෙරවරුවේ දඹුල්ල නගරය කේන්ද්‍රකර ගනිමින් පැවැත්වේ.

බාලක හා බාලිකා වශයෙන් පැවැත්වෙන මේ තරගාවලිය සඳහා වාර්ෂිකව අඛණ්ඩව අනුග්‍රහය සපයනු ලබන්නේ මාතලේ දිසාවෙන් බිහිවු ප්‍රවීණ දුර ධාවන ශුරයකු වු ව්‍යාපාරික යු.ජී මුතුබණ්ඩා මහතා විසිනි. මෙහිදී සමස්ත ලංකා පාසල් අර්ධ මැරතන් ධාවන තරගය තනි තරගයක් ලෙසත් මධ්‍යම පළාත් පාසල් මාර්ග ධාවන තරගය කණ්ඩායම් තරගයක් ලෙසත් පැවැත්වේ. ජයග්‍රාහී ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හා කණ්ඩායම් සඳහා යු.ජි මුතුබණ්ඩා අභියෝගතා කුසලාන සමග මුදල් ත්‍යාග පිරිනැමීමට සංවිධායක මණ්ඩලය කටයුතු යොදා ඇත.

එදින පෙරවරු 8.00 ට රංගිරි දඹුලු ජාතික පාසල අසළින් අර්ධ මැරතන් ධාවන තරගය ආරම්භ වන අතර දඹුල්ල - මාතලේ පාරේ දඹුලුඔය දක්වා ගොස් නැවත රංගිරි දඹුලු ජාතික පාසල දක්වා පැමිණිමෙන් තරගය නිමාවට පත්වේ. කි.මී. 10ක් වු බාලක බාලිකා මාර්ග ධාවන තරගය දඹුලු ඔය මන්සන්ධියෙන් ආරම්භ කොට රංගිරි දඹුලු ජාතික පාසල දක්වා පැමිණිමෙන් නිමාවට පත්වේ.

සියලු තරගකරුවන් එදින පෙරවරු 6.00ට රංගිරි දඹුලු ජාතික පාසලට වාර්තා කළ යුතු බව සංවිධායක මණ්ඩලය දැනුම් දෙයි. තරගයේ ජය සංකේත ප්‍රදානය මධ්‍යම පළාත් ප්‍රධාන ඇමැති සරත් ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් එදින පෙරවරු 11.30 ට රංගිරි දඹුලු ජාතික පාසල් ප්‍රධාන ශාලාවේදී පැවැත්වීමට නියමිතය.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා