ෆෝබ්ස් සඟරාව ඇත්ත කියයි!

ෆෝබ්ස් සඟරාව ඇත්ත කියයි!

අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර පළකරන “ෆෝබ්ස්” සඟරාව ලෝක ප්‍රසිද්ධියට පත් ව ඇත්තේ කරුණු කිහිපයක් නිසා ය. පළමු වන්න ඒ මගින් ප්‍රකාශ කරන බොහෝ අනාවැකි නිවැරැදි වීම ය. දෙවන්න එය ලෝක යථාර්ථයන් පැහැදිලි කරන නිසා ය. තෙවන්න ඒ මගින් ඉතා නිර්භීත හා නිර්ව්‍යාජ විචාර ඉදිරිපත් කරන නිසා ය. මේ සියල්ල මධ්‍යස්ථ ප්‍රජාවගේ විශේෂ සැලැකිල්ලට ලක් ව තිබේ. ෆෝබ්ස් සඟරාව කියන දේ නිවැරැදිව කියයි. එහි තොරතුරු ද සියයට - සියයක් නිවැරැදි ය.

මේ සඟරාවේ අලුත් ම කලාපය කියා සිටින්නේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊළඟ ජනාධිපතිවරණයෙන් ඉහළින්ම ජයගන්නා බව ය. ඔහුට අභි‍යෝග කරන්නට සමතකු ශ්‍රී ලංකාවේ දේශපාලනය තුළ නැත. ප්‍රධාන කරුණු තුනක් කේන්ද්‍ර කොට මේ සඟරාව තම තර්කය පැහැදිලි කරයි. පළමුවන්න යුද්ධයෙන් පසු ශ්‍රී ලංකාවේ ඇති වූ සංවර්ධනය යි. දෙවන්න මහින්ද රාජපක්ෂ චරිතයට රට හා ජාතිය තුළ ඇති ආකර්ෂණයයි. තෙවන්න 2005 සිට සියලු මැතිවරණ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව විසින් ජයග්‍රහණය කරනු ලැබීමයි.

මේ සියල්ල සත්‍ය කරුණු ය. යුද්ධයේ ජයග්‍රහණයෙන් පසු ශ්‍රී ලංකාවේ අභිමානවත් චරිතය බවට පත්ව ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතා ය. එය බොරුවක් හෝ නිරූපණයක් හෝ නො වේ. මහින්ද රාජපක්ෂ මහතාට පෙර ජනාධිපතිවරුන් තිදෙනකු හා එක් ජනාධිපතිවරියක් ද රට පාලනය කළෝ ය. රටේ ප්‍රධාන ගැටලුව වූ බෙදුම්වාදය හා ත්‍රස්තවාදය පරාජය කිරීමට ඔවුනට හැකිවූයේ නැත. ඒ පමණක් නොව ඔව්හු මේ ගැටලුව හිඟන්නාගේ තුවාලය බවට පත් කරගෙන සිය කටයුතු ඉදිරියට ගෙන ගියහ. මෙයින් අපහසුවට පත්වූයේ රටේ ජනතාව ය.

මහින්ද රාජපක්ෂ මහතා 2005 දී රටේ නායකත්වය භාරගෙන මේ ගැටලුවට නිවැරැදි විසැදුමක් ලබා දුන්නේ ය. මෙහිදී රාජපක්ෂ මහතාගේ චරිතයේ විශේෂ ලක්ෂණ මහජනයාට දැනගන්නට ලැබිණි. ඒ ලක්ෂණ අතර කැපී පෙනෙන්නේ ඔහුගේ නිවැරදි තීන්දු ගැනීමේ හැකියාව, අන්තර්ජාතික වශයෙන් දේශපාලනය කළමනාකරණය කිරීමේ හැකියාව හා රාජ්‍ය නායකයකු සතු අභීතභාවය යි. මේ සියල්ලෙන් පරිපූර්ණ වූ නායකයකුගේ අවශ්‍යතාව ශ්‍රී ලංකාවට තිබිණි.

2005දී ශ්‍රී ලංකාවේ ජනතාව සිය නායකයාගෙන් ඉල්ලා සිටියේ රටේ ප්‍රධාන ප්‍රශ්නයට විසැඳුමක් ලබාදී රට නිදහස් කරනු යන්නය. අපේ ජීවිත බේරා දෙන්න! අපේ දරුවන්ගේ ජීවිත නිදහස් කරන්න! යනුවෙන් බෝම්බ පිපිරෙන සමාජයක සිට තාත්තලා ඉල්ලා සිටියෝ ය. අම්මලා ඉල්ලා සිටියෝ ය. මහින්ද රාජපක්ෂ මහතා එය සර්ව ප්‍රකාරයෙන් ම ඉටුකළේ ය. ලෝකයේ ප්‍රකට දේශපාලන විචාරකයන් එදා කියාසිටියේ මහින්ද රාජපක්ෂ මහතා නිවැරැදි බව ය. ඔහු අභීත නායකයකු බව ය. ලෝකයේ ත්‍රස්තවාදය නිමා කළ එක ම රට ශ්‍රී ලංකාව බව ය. මේ කීර්ති නාමය කිසිවිටෙකත් මැකී යන්නේ නැත.

ෆෝබ්ස් සඟරාව පෙන්වා දෙන ලෙස ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය පුදුමාකාර ලෙසින් සතුටුදායක වී තිබේ. රටේ ජාතික ආදායම ඉහළ ගොස් ඇත. ඒකපුද්ගල ආදායම ද්විගුණයකින් වර්ධනය වී තිබේ. පොදු පහසුකම්වල තත්ත්වය ඉතා හොඳින් වර්ධනය වී තිබේ. විදේශීය ආයෝජකයන්ගේ ආකර්ෂණය ශ්‍රී ලංකාව දෙසට යොමුවෙමින් පවතී. ඒ අතර රටේ සංචාරක කර්මාන්තය ශීඝ්‍ර දියුණුවක් ලබමින් පවතී. මේ සියල්ල යහපත් ලක්ෂණය. උද්ධමනය අඩුවෙමින් ජනතාව වෙතට ආර්ථික ප්‍රතිලාභ කාන්දුවන්නට පටන්ගෙන තිබේ. මේ සියල්ල යහපත් ලක්ෂණ ය.

ලෝකයේ ශීඝ්‍ර ආර්ථික වර්ධනයක් සහිත රටවල් අතර ප්‍රමුඛ නාමයක් ශ්‍රී ලංකාවට තිබේ. අපේ වාර්ෂික ආර්ථික වෘද්ධිය 6%කට ඉහළින් පවතී. එබඳු ආර්ථික වර්ධනයක් ස්ථාපිත කරගෙන ඇත්තේ චීනය වැනි රටවල් පමණි. අමෙරිකාවේ ආර්ථික වර්ධනය පල්ලම් බසිමින් තිබේ. යුරෝපය ආර්ථික වශයෙන් කඩා වැටී ඇත. ඉතාලිය, ස්පාඤ්ඤය, ග්‍රීසිය, සයිප්‍රස් වැනි රටවල් ආර්ථික වර්ධනයේ ඉහළින් සිටි අතර එම රටවල බැංකු පද්ධතිය කඩාවැටිණි. මූල්‍ය ව්‍යාපාර හාන්සි විය. දැන් එම රටවල ජනතාවට රැකියා වියුක්තිය පිළිබඳ ගැටලුවකට මුහුණදෙන්නට සිදුවී තිබේ. මේවා පාලකයන්ගේ වැරැදි යැයි තර්ක කරන ජනතාව ආණ්ඩුවලට එරෙහිව උද්ඝෝෂණය කරති.

ශ්‍රී ලංකාව මේ සියලු රටවලින් පාඩම් උගෙන තිබේ. එහෙත් මහින්ද රාජපක්ෂ මහතා අනුගමනය කරනුයේ ස්වාධීන වූ ස්වකීය මාර්ගයෙකි. දේශපාලනයේ දී ද, ආර්ථිකයේ දී ද රටේ නායකයා වඩාත් සාර්ථක වී ති‍බේ. රටේ සමස්ත ජනතාව එය පිළිගන්නා බවක් ද පෙනෙන්නට තිබේ. වඩාත් වැදගත් වන්නේ එයයි. පාලකයකුට නැතහොත් දේශපාලකයකුට වඩාත් වැදගත් වන්නේ ජනතාවගේ විශ්වාසය දිනා ගැනීමය. එම විශ්වාසය මත පාලකයකුගේ අනාගතය විසඳෙනු ඇත. අදටත් දකින්නට ලැබෙන ප්‍රධාන ලක්ෂණය වන්නේ මහින්ද රාජපක්ෂ මහතා තරම් ජනප්‍රිය හා විශ්වාසවන්ත පුද්ගලයකු රටේ නො මැති වීමය.

“‍ෆෝබ්ස්” සඟරාව කරන හෙළිදරව්ව ඉතා නිවැරැදි ය. බටහිරට ගැති එම සඟරාව ශ්‍රී ලංකාවට අමුතු ඇදීමක් කරන්නේ නැත. කොටින්ම බටහිරයන්ගේ මතය වන්නේ ශ්‍රී ලංකාව වැනි රටවල් හා එහි නායකයන් විවේචනය කිරීම ය. එහෙත් ඔවුන්ට පවා සත්‍යයෙන් වසංවිය නො හැකි ය.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා