මහින්ද රාජපක්ෂ හැර වෙනත් ප්‍රගතිශීලියෙක් නැහැ

මහින්ද රාජපක්ෂ හැර වෙනත් ප්‍රගතිශීලියෙක් නැහැ

කෘෂිකර්ම නියෝජ්‍ය ඇමැති වයි.ජී. පද්මසිරි

ඉදිරි ජනාධිපතිවරණයේ දි ප්‍රගතිශීලි පක්ෂ නියෝජනය කරමින් තරග කරන ජනාධිපතිවරයාට සහය දැක්විය යුතු බවට ලංකා සමසමාජ පක්ෂය සම්මත කළ යෝජනාව ගැන හා 2015 අය-වැයෙන් ගොවි ජනතාවට ලබාදුන් සහනය ගැන ලංකා සමසමාජ පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කෘෂිකර්ම නියෝජ්‍ය ඇමැති වයි.ජී. පද්මසිරි දක්වූ අදහස් මෙසේය.

* විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතු බවට ලංකා සමසමාජ පක්ෂය දිගින් දිගටම දැරූ ස්ථාවරයට පටහැනි යෝජනාවක් සම්මත කිරීමට ඔබ මූලික වූ බවට පක්ෂයේම පිරිසක් චෝදනා කරනවා. ඒ ගැන කියන්න තියෙන්නේ කුමක්ද?

විධායක අගමැති තනතුරක් සහිත පාර්ලිමේන්තු ක්‍රමයක් ඇති කළ යුතු බවට මේ ක්‍රමය ඇති කළ අවස්ථාවේ සිටම අපි ස්ථාවරයක සිටියා. එහෙම වුණත් යම් යම් කාරණා මත විධායක ජනාධිපති ධුරයට තරග කළ අපේක්ෂකයන් කිහිප දෙනෙක්ට 94 සිට සහය දී තිබෙනවා.

* ඒ අනුව 94දී ශ්‍රී.ල.නි.ප. යෙන් තරග කළ අපේක්ෂිකාවට ලංකා සමසමාජ පක්ෂය සහය දුන්නේ කුමන පදනමක් මතද?

එක්සත් ජාතික පක්ෂ පාලනයට විරුද්ධව ප්‍රගතිශීලී බලවේගයක් ජයග්‍රහණය කරවීමේ අපේක්ෂාව ඒ සඳහා බලපෑවා.

* 2005 හා 2010 ජනාධිපතිවරණ‍වලදී මෙම මතයේ වෙනසක් සිදුවූවාද?

නැහැ. එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග කළ මහින්ද රාජපක්ෂ මහතාට සහය දුන්නේත් එම මතය උඩයි. ඒ වගේම එම සන්ධානය ජය ගැනීමෙන් පසු ගොඩනැගුණු ආණ්ඩුවේ පාර්ශ්වකරුවෙක් හැටියටත් අපි කටයුතු කළා. නමුත් විධායක ජනාධිපති ක්‍රමය පිළිබඳ මතය වෙනස් වූණේ නැහැ.

* ඉදිරි ජනාධිපතිවරණයට ප්‍රගතිශීලී පිලේ අපේක්ෂකයා ලෙස තරග කරන ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහය දැක්විය යුතු බවට ඔබ පසුගියදා පක්ෂයට යෝජනාවක් ඉදිරිපත් කළා. නමුත් එයට විරුද්ධව පක්ෂයේ විශාල බෙදීමක් ඇතිවූවා නේද?

දේශපාලන බලය ලබා ගැනීමත්, විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමත් දෙකක්. දේශපාලන බලය ලබාගැනීම එහෙම නැතිනම් බලය වෙනස් කිරීම කියන කාරණයේදී අපි ඇතුළු වමේ මිත්‍ර පක්ෂ 56 සිටම කටයුතු කළේ ශ්‍රී.ල.නි.ප. ය සමඟ සන්ධාන ගතවයි. අද කම්කරු පන්තිය භුක්ති විඳින යම්කිසි වරප්‍රසාදයක් තිබේ නම් ඒ සියල්ලම මේ සභාග දේශපාලනයෙන් ලැබුණු ප්‍රතිලාභ.

අපි වෙනම මාවතක යන්න උත්සාහ කළ යම් අවස්ථාවක් ඇත්නම් ඒ සෑම විටම අපි පරාජය වුණා. 60දී පරාජය වුණා. 77දී අන්ත පරාජයක් ලැබුණා. 56 සිට ප්‍රගතිශීලී බලවේග එක පිලක් හැටියට කටයුතු කළ සෑම අවස්ථාවකම ජයග්‍රහණය කළා. ඒ නිසා අපි කල්පනා කළ යුත්තේ 94 සිට ඉදිරියට ආ ජන බලය රැකගැනීම ගැනයි.

* මෙම ධාරාව ඉදිරියට ගෙනයාම සඳහා වමේ පක්ෂවල මූලිකත්වයෙන් තරඟ කරන අපේක්ෂකයන්ට සහයදිය යුතු බවට පක්ෂයේ පිරිසක් අදහස් කරනවා. මේ ගැන ඔබේ අදහස කුමක්ද?

මහින්ද රාජපක්ෂ මහතාට පිටස්තරව ප්‍රගතිශීලී හඬ නියෝජනය කළ හැකි විකල්ප අපේක්ෂකයෙක් අපේ පක්ෂය තුළ හෝ ප්‍රගතිශීලී ධාරාව නියෝජනය කරන වෙනත් පක්ෂයක හෝ මේ මොහොතේ නැහැ. ජනතාව විශ්වාස කරන අත්දැකීම් සහිත වෙනත් දේශපාලන නායකයෙක් නැහැ. ඒක තමයි සත්‍යය.

* කල් ඇතිව දැනුම් නොදී හිටිවනම මෙම යෝජනාව ගෙන ආ බවට අනෙක් පාර්ශවය චෝදනා කරනව නේද?

පක්ෂයේ ව්‍යුහය අනුව සම්මේලන දෙකක් අතර තීරණ ගනු ලබන්නේ මධ්‍යම කාරක සභාවයි. පසුගියදා පැවැති මධ්‍යම කාරක සභාවට යෝජනා තුනක් ඉදිරිපත් වූණා. දෙකක් මහින්ද මහතාට තවදුරටත් සහය දීම ගැන. එකක් විරුද්ධ පක්ෂයේ අපේක්ෂකයෙක්ට සහය දීම ගැන. මේ යෝජනාවල පිටපත් සියලුම සභිකයින්ට මාසයකට පෙර ලබා දුන්නා. සාකච්ඡාව තිබුණේ ඒ අනුවයි. උදේ දහයේ සිට රාත්‍රී 8.00 දක්වා මේ ගැන කතා කළා. කඩිමුඩියේ සම්මත කළා කියන අයට එක් අයෙක්ට පැය භාගය බැගින් වෙලාව ලැබුණා. ‍සාමාජිකයන් 38 දෙනාම අදහස් දැක්වූවායින් පසුව ඡන්දයක් ගත්තා. එයින් අප ඉදිරිපත් කළ යෝජනාව ජය ගත්තා.

මහින්ද රාජපක්ෂ මහතාට ජනාධිපතිවරණයේදී සහය දැක්විය යුතු බවට මෙයට වසර 4කට පෙර පැවැත් වූ සම්මේලනයේදී තීරණයක් අරන් තිබෙනවා. අපේක්ෂකයා ඔහු නම් ඒ සම්මේලනයේදි ගත් තීරණය තවදුරටත් වලංගුයි. නීති තර්කවලට ජනමතය යට කරන්න දෙන්න බැහැ

* විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම වෙනුවෙන් පෙනී සිටින පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීම සඳහා වඩාත්ම සුදුසු මොහොත මෙය ලෙස සමහරු දකිනවා නේද?

විධායක ජනාධිපති ධුරය මාසෙන්, දෙකෙන් ‍අහෝසි කළ යුතුය කියලා ළඟ ඉල්ලීමක් දැමීම නිශ්ඵල ක්‍රියාවක්. ව්‍යවස්ථා වෙනසක් සඳහා යෝජනා ලබා ගැනීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කර තිබෙනවා. 78’ ව්‍යවස්ථාවට වගේම 72’ ව්‍යවස්ථාවටත් විවේචන ආවා.

අපේ රටේ තියෙන්නේ පොදු සාකච්ඡාවකින් හැදුණු ව්‍යවස්ථා නෙමෙයි. දැන් තියෙන අඩුලුහුඬුකම් හදාගන්න නම් පුළුල් සාකච්ඡාවක් ඇතිවිය යුතුයි. එයට උතු‍රේ ජනතාවගේ අදහස් ලබා ගැනීමත් කළ යුතුයි.

* මෙයට පෙර පත් කළ තිස්ස විතාරණ කමිටු යෝජනා ගැන බොහෝ දුරට දේශපාලන පක්ෂ අතර එකඟතාවක් තිබෙනවා. එය පාදක කරගෙන රජයේ යෝජනාවක් ඉදිරිපත් කළ නොහැකිද?

සුළු ජාතීන් පිළිබඳ ගැටලුවේදී ඒ තේරීම්කාරක සභාව අවධානය යොමු කර තිබෙනවා. නමුත් ඒ යෝජනා සකස් කිරීමේදී එයට සුළු ජාතික පක්ෂවල දායකත්වයක් ලැබුණේ නැහැ. ඒවා ඔවුන්ට හොඳ යැයි අනෙක් පක්ෂ තීරණය කළා. නමුත් සැබෑ විසඳ­ුමක් ඇති වෙන්න නම් උතුර නියෝජනය කරන පක්ෂ මේ තේරීම් කාරක සභාවට පැමිණිය යුතුයි.

* ද්‍රවිඩ ජාතික සන්ධානය තේරීම් කාරක සභාවට සහභාගී නොවීමට හේතුව කුමක්ද?

වෙනම රාජ්‍යයක් පිළිබඳ අදහස් තවම ඔවුන් අත්හැර නැහැ. ඔවුන් තේරීම් කාරක සභාවට සහභාගී නොවන්නේ ඒ නිසයි. පහසුම දේශපාලනය ජාතිවාදය ඇවිස්සීමයි. උතුරු පළාත් සභාවෙන් ජනතා අවශ්‍යතා ඉටුවන බවක් පේන්න නැහැ. සල්ලි ලැබෙනව මදි නම් ඒ වෙනුවෙන් හඬක් නැඟිය යුතුයි. නමුත් දැන් පේන විදිහට ඔවුන් වැඩක් කරන්නෙ නැහැ. ඒක අභාග්‍යයක්.

* උතුරේ ජනමතය 2005ට හා 2010ට වඩා මේ වන විට වෙනස්ව තිබේ යැයි විශ්වාස කරනවාද?

ජනමතය වෙනස් විය යුතුයි. 2005 වන විට උතුරේ ජනතාවට නිදහසේ ජීවත්විය හැකි තත්ත්වයක් තිබුණේ නැහැ. 2010 වන විට තත්වය වෙනස්. නිදහස් රටක් ඇතිව තිබෙනවා. උතුර සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙනවා. 2015 තවත් ඉස්සරහට ගිහිල්ලා. යාල් දේවිය උතුරට ඇවිල්ලා. කර්මාන්ත ශාලා ඇතිවෙලා. ඒ නිසා පසුගිය කාලය තුළ උතුරේ ජනතාවට හොඳක් මිසක් නරකක් වුණේ නැහැ.

* යුද්ධය අවසන් කළ හැකි වූයේ විධායක ජනාධිපති ධුරය නිසාය යන මතය දැරූ යම් පිරිසක් හිටි හැටියේ ඒ ස්ථාවරය වෙනස් කර තිබෙනවා. මේ ගැන ඔබේ අදහස කුමක්ද?

ත්‍රස්තවාදය අවසන් කළ හැකි වූයේ මහින්ද රාජපක්ෂ කියන ශක්තිමත් නායකයා නිසයි. විධායක අගමැති තනතුරේ හිටියත්, එතුමා මේ යුද්ධය අවසන් කරන බවට කිසිම සැකයක් නැහැ. ඔහුට කලින් විධායක ජනාධිපතිවරුන් හතර දෙනෙක් සිටියා. ඔවුන්ට යුද්ධය අවසන් කරන්න බැරි වුණා. ඒ නිසා විධායක ජනාධිපතිකම නිසා යුද්ධය අවසන් කරන්න පුළුවන් වුණා කියන එක පිළිගන්න බැහැ. චර්චිල් දෙවන ලෝක යුද්ධය ජයග්‍රහණය කළේ විධායක අගමැති හැටියටයි. ඒ නිසා වැදගත් ශක්තිමත් නායකයෙක් ඇති කරගැනීමයි.

* ජනාධිපතිවරයාට තෙවන වරට තරඟ කළ නොහැකිය යන මතය දරන පිරිසක් ඔබේ දේශපාලන පක්ෂය තුළත් සිටිනවා නේද?

රාජ්‍ය නොවන සංවිධාන නියෝජනය කරන පිරිස් දේශපාලන පක්ෂ ඇතුළට වැදී ඒවා පාලනය කිරීමට උත්සාහ කරන සෙයක් පෙනෙන්න තියෙනවා. බටහිර බලවේග නව යටත්විජිතවාදී ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ සූක්ෂ්ම ආකාරයට. ඔවුන්ට පාලනය කළ නොහැකි නායකයන් සිටින ‍රටවල පාලනය අවුල් කිරීමට විවිධ ප්‍රශ්න ඇති කරනවා. ප්‍රතිපත්තිගරුක නායකයන් ඉවත් කිරීම බටහිර ප්‍රතිපත්තියයි. ඒ වෙනුවෙන් පෙනී සිටින අය හැමතැනම ඉන්නවා.

* කෘෂිකර්ම ක්ෂේත්‍රයට මෙවර අයවැයෙන් ලැබුණු පිටුබලය කොහොමද?

වී ගොවියා දිරිමත් කිරීම සඳහාත් පාරිභෝගිකයා අපහසුවට ලක් නොවන ආකාරයටත් සහතික මිලක් ඇති කර තිබෙනවා. පොහොර සහනාධාරය තවදුරටත් පවත්වාගෙන යාමටත් කාබනික පොහොර භාවිතය දිරිගැන්වීමටත් කටයුතු කර තිබෙනවා.

ඊට අමතරව මෙවර අලුත් ආයෝජන ක්ෂේත්‍රයක් ලෙස පලතුරු වගා කිරීම සඳහා ලබාදෙන දිරිගැන්වීම වැඩිකර තිබෙනවා. අප ආරම්භ කළ ග්‍රෑම් 200 පලතුරු ප්‍රවර්ධන වැඩසටහන සඳහා ලබාදෙන මුදල තුන් ගුණයකින් වැඩිකර තිබෙනවා. ඒ සඳහා වෙනම ඇකඩමියක් ඇති කිරිම සඳහා යෝජනා කර තිබෙනවා. පොල් වගාවේ අතුරු වගාවක් හැටියට පලතුරු වගා කිරීමට අවධානය දක්වා තිබෙනවා. මේ සියල්ලේම අරමුණ පලතුරු අපනයනය දියුණු කිරීමයි.

* පොහොර සහනාධාර ලබාදීම වැනි යෝජනා දිගින් දිගටම අය වැය යෝජනා ලෙස ඇතුලත්වීම විපක්ෂය දෝෂයක් ලෙස දකිනවා. මේ ගැන ඔබේ අදහස?

පොහොර සහනාධාරය ලබාදීම මහින්ද චින්තනයේ වැදගත් අපේක්ෂාවක්. ඒ නිසා එයට අය වැයෙන් සැලකිය යුතු මුදලක් වැය කරනවා. මුදල් වෙන් නොකර සහන දෙන්න බැහැ. මෙවර අය වැයේ පොහොර සහනාධාරය සඳහා මුදල් වෙන් කර තිබීමෙන් එම සහනාධාරය ඉදිරියටත් ලබාදෙන බව කියවෙනවා. විපක්ෂය අයවැයට විරුද්ධව ඡන්දය දෙනවා කියන්නේ මේ සහන වලට විරුද්ධයි කියන එකයි.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා