සංගීතයට විචාර කලාවක් ඕනෑ

සංගීතයට විචාර කලාවක් ඕනෑ

සංගීතඥ සහ මාධ්‍යවේදී ලාල් ආනන්ද අබේධීර

මාධ්‍යවේදියකු මෙන් ම සංගීත විෂය පිළිබඳ අධ්‍යයනයේ නියුතු වූවකු ද වන ලාල් ආනන්ද අබේධීර විසින් රචිත ‘මියැසි හරසර’ පර්යේෂණ ග්‍රන්ථය දොරට වැඩීම හා උපහාර ගී ප්‍රසංගය අද (05) දින සවස 3.00ට කොළඹ 05, පොල්හේන්ගොඩ ප්‍රවෘත්ති හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය සංවර්ධන ආයතනීය ශ්‍රවණාගාරයේදී, ප්‍රවෘත්ති හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. යුගයක් එකලු කළ ප්‍රවීණ සංගීත නිර්මාපකයන් පස්දෙනකු ඇසුරින් බිහිවුණු මේ කෘතිය පිළිබඳ කතුවර ලාල් ආනන්ද අබේධීර මහතා සමඟ කළ කතාබහකි මේ.

* ‘මියැසි හරසර’ කෘතිය පිළිබඳ හැඳින්වීමක් කළොත්?

මෙය පර්යේෂණ ග්‍රන්ථයක්. සිසිර සේනාරත්න, වික්ටර් දළුගම, සරත් බාලසූරිය, ජයතිස්ස අලහකෝන්, චන්ද්‍රදාස බෝගොඩ කියන අපේ ආත්මය රසැයූ ප්‍රේමණීය මියැසිවේදීන් පස්දෙනා පිළිබඳ සංගීතවේදාත්මකව කියැවීමට වෑයම් කිරීමක් විදිහට මේ කෘතිය හඳුන්වන්න පුළුවන්. මේ කෘතිය නිර්මාණයවීම සිදුවන්නේ අධ්‍යාපන කටයුත්තක් හැටියටයි. ශාස්ත්‍රපති උපාධිය වෙනුවෙන් මා ඉදිරිපත් කළ යුතු වූ පර්යේෂණ නිබන්ධනය වෙනුවෙන් තමයි මේ පර්යේෂණය කළේ. අද දින ඔබ අතට පත්වන්නේ මා කළ ඒ පර්යේෂණ ග්‍රන්ථයයි.

* මේ පර්යේෂණ ග්‍රන්ථය සඳහා මේ මියැසිවේදීන් පස්දෙනාම තෝරා ගැනීමට සුවිශේෂී හේතුවක් තිබෙනවාද?

මං මේ පර්යේෂණයට සංගීතවේදීන් දහදෙනෙක් ප්‍රථමයෙන්ම තෝරා ගත්තා. ඒත්, මේ පර්යේෂණ නිබන්ධනය සඳහා දස දෙනෙක් යොදාගත්තා නම්, පර්යේෂණය පුළුල් වැඩිවන නිසා පස්දෙනකුට සීමාකර ගත්තා. ඒ අනුව කිසිදා සාධාරණ ඇගැයීමකට ලක් නොවූ මේ මියැසිවේදීන් පස්දෙනා පිළිබඳ මා මේ කෘතිය හරහා පර්යේෂණාත්මකව විවරණයකට ලක් කළා.

බොහෝ වෙලාවට ගීතයක් පිළිබඳ කතා කිරීමේදී එම ගීයේ සාහිත්‍යාත්මකභාවය, කාව්‍යොක්තිය, රචක අත්දැකීම් වගේ දේ තමයි කතා කරන්නේ. සංගීතඥයා ගැන කියැවෙන්නෙ සීමාසහිතවයි. ඒත් සංගීතඥයා කියන්නේ ගීතයක වැදගත්ම පුද්ගලයෙක්. අපි හින්දි සින්දු අහන්නෙ ගීතයේ වචන දැනගෙන නෙමෙයිනෙ. සංගීතයේ මිහිරියාව නිසානෙ. සංගීතඥයා නාද භාෂාවෙන් කරන ශ්‍රමය, එහෙමත් නැත්නම් තානික ශ්‍රමය මගිනුයි. ඒත් අපේ සමාජය තුළ මේ පිළිබඳ කතා කරන්නේ නෑ. ඒ නිසා මං හිතුවා අප කතා නොකළ, මෙරට සිටි හොඳම සංගීතවේදීන් පිළිබඳ මේ කෘතිය මගින් කතා කරන්න.

* මේ සංගීතවේදීන් පිළිබඳ ඔබ කතා කළේ කුමනාකාරයටද?

සංගීතය කියන්නෙ කලාවක්. අනෙක් අතින් ගතහොත් ඒක විද්‍යාවක්. මියැසි හරසර කෘතියේ අරමුණ සංගීතවේදය ඔස්සේ මේ අය පිළිබඳ විග්‍රහ කිරීමයි. මේ කෘතිය හරහා මං ඒ ඒ සංගීත ශිල්පීන් හැදුණු ආකාරය, එවැනි පුද්ගලයන් බිහිවීමට බලපෑ සමාජ, ආර්ථික, දේශපාලන, සංස්කෘතික ආදී කාරණා පිළිබඳ විග්‍රහ කළා. ඒ කියන්නෙ සංගීතවේදය ඔස්සේ ඔවුන් කියැවීමකට ලක් කළා. මං හිතන්නෙ එය අප අතින් ඉටුවිය යුතු දෙයක්. ඒත් වර්තමානයේ සිදුවන්නෙ එය නෙමෙයි. සංගීතවේදය ඔස්සේ කිසිදු සංගීතඥයෙක් පිළිබඳ අධ්‍යයනය කරන්න, පර්යේෂණ කරන්න කවුරුත් පෙලඹෙන්නෙ නෑ. ඒත් අප කළ යුත්තේ ඒ දේයි.

මෙහි අන්තර්ගතය සැකැසුණේ කුමනාකාරයට ද?

1905 සිට වත්මන් තැටිපටි ගීතය දක්වා ලාංකේය ගීතය නිර්වචනය කිරීම සිදු වූවා. ඒ වගේම සංගීතඥයන්ගේ ජීවන චරිතාපදාන, ඒ ඒ සංගීතවේදීන් සංගීතවේදාත්මකව හඳුනාගැනීම සිදු කෙරුණා. සංගීතවේදීන්ගේ බිහිවීම සඳහා බලපාන සාධක හා මේ නිර්මාණවේදීන්ට ඒවා බලපෑ ආකාරයත්, මේ අය අපට දායාද කළ ඉතා නිර්මාණාත්මක සලකුණු තිබෙන ගීත ප්‍රස්තාර කිහිපයකුත් මේ කෘතිය තුළ අන්තර්ගතයි.

* මේ කලාකරුවන්ගේ නිර්මාණාත්මක පෞරුෂය ඔබ දකින්නෙ කොහොමද?

හොඳ පෞරුෂයක් සහ ජන ලීලයක් තිබෙන සිසිර සේනාරත්න වැනි මෙහිදී කතා කරන නිර්මාණකරුවන්ගේ නිර්මාණවලට බලපාලා තිබෙන්නෙ තමන් ජීවත්වුණු පරිසරය, ඇසුරු කළ පුද්ගලයන් වගේ සාධකයි. මං මේ අයගේ පෞරුෂය පිළිබඳ කතා කරන්නෙ ගතික වර්ගය, තානික වර්ගය, ගුණාත්මක වර්ගය සහ කාලික වර්ගය කියන ලක්ෂණ සමඟ සසදා බැලීම මගිනුයි.

* බොහෝවිට කලාකරුවන් පිළිබඳ පතපොත ලියැවෙන්නෙ එකම පුද්ගල පිරිසක් ඇසුරෙනුයි. මෙහෙම වෙන්න හේතුව මොකක්ද?

හැමෝම චරිත කිහිපයක් වටේ කැරකෙනවා. සුලබ දේ අතර රැඳෙනවා මිසක්, සියුම් දේ පිළිබඳ හොයන්නේ නෑ. මේ හැම දේකටම බලපාලා තියෙන්නේ සංගීත විචාරයක් නොමැති වීමයි. සංගීත විචාරය කියන්නෙ ලෝකයේ වෙන රටවල ප්‍රධාන විෂයක්. ඒත් අපේ රටවල තත්ත්වය ඊට හාත්පසින්ම වෙනස්.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා