රණවිරු පවුල් නඟාසිටුවන්න ජනපතිතුමා නිහඬව සංවේදී සේවාවක් කළා

රණවිරු පවුල් නඟාසිටුවන්න ජනපතිතුමා නිහඬව සංවේදී සේවාවක් කළා

ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ කියයි

උතුරු නැඟෙනහිර මානුෂීය මෙහෙයුමේ දී රණවිරුවන් ජීවිත පූජා කළේ ශ්‍රේෂ්ඨ ජාතික අවශ්‍යතාවයක් නිසා බවත් වියෝ වේදනාවෙන් පෙළෙන රණවිරුවන්ගේ දූදරු මාපිය ඥාතීන්ට අවබෝධ කරදී ඔවුන් එම දුකින් මුදා ගැනීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නිහඬ සංවේදී සේවාවක් සිදුකෙළේ යැයි ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැසීය.

ආරක්ෂක ලේකම්වරයා එසේ පැවැසුවේ සංවිධාන කටයුතු හා ප්‍රවාහනය සම්බන්ධ වරලත් ආයතනයේ (CILT) ඊයේ (04) පැවැති සමුළුවේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වෙමිනි.

වරලත් ගණකාධිකාරී (CICT) ජාත්‍යන්තර සමුළුව ඊයේ (4) ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹදී පැවැති අතර එහිදී එම ආයතනයේ සභාපති නිරාල් කඩවතආරච්චි මහතා ආරක්ෂක ලේකම්වරයාට සමරු තිළිණයක් ප්‍රදානය කළ අවස්ථාව. ඡායාරූප - සිරිපාල හල්වල

එහිදී ලේකම්වරයා තවදුරටත් මෙසේද කීය.

යුද්ධයේදී ජීවිතය පූජා කළ රණවිරු අවමංගල අවස්ථාව වෙත යවන ලද හමුදා නිලධාරින් හරහා ජනපතිවරයා වියෝ දුකින් පෙළෙන දූ දරුවන්, බිරින්දෑවරු, මාපියන් අස්වසාලීම සඳහා පියවර ගත්තා.

එම ඥාතීන් පෞද්ගලිකවම හමුවී එම පරිත්‍යාගයේ ශ්‍රේෂ්ඨ බව කෙතරම් උතුම් දෙයක් ද යන්න අවබෝධ කැර දෙන ලෙසට ද ජනාධිපතිවරයා හමුදා නිලධාරින්ට උපදෙස් දී තිබුණා.

ජනාධිපතිවරයාගේ එම නිහඬ සංවේදී සේවාව නිසා යුද්ධයේ දී මියගිය තිස් දහසක් පමණ පවුල්වල දූ දරු මාපියෝ යම් අස්වසාලීමකට පත්ව තිබුණා.

ඔවුන් තම පියා, සොයුරා, පුතා යුද්ධයේ දී ජීවිතය කැප කෙළේ එවැනි ශ්‍රේෂ්ඨ ජාතික අවශ්‍යතාවයක් නිසා බව මේ වනවිටත් හරිහැටි කරුණු අවබෝධ කරගෙන තිබෙනවා.

රජය ඔවුන්ගේ සෑම අවශ්‍යතාවයක්ම ඉෂ්ට කරනවා. මේ වනවිට රණවිරුවන් වෙනුවෙන් ලබාදිය හැකි දේ ලබාදීමටද පියවර ගෙන තිබෙනවා. ඒ නිසා රණවිරුවන්ට ආණ්ඩුව ගැන දැඩි පැහැදීමක් තිබෙනවා.

තවද යුද්ධය පැවැති සමයේ හමුදා රණවිරුවෝ යුද්ධ භූමියේ දී අප්‍රමාණ දුක් පීඩාවලට දුෂ්කරතාවලට පත්වුණා. නමුත් ඔවුන්ගේ ආත්මශක්තිය ත්‍රස්තවාදය පරාජය කිරීමට ශක්තියක් වුණා.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා