අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ජනපති මහින්දට තෙවැනි වර තරග කිරීමට කිසිදු බාධාවක් නැහැ

අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ජනපති මහින්දට තෙවැනි වර තරග කිරීමට කිසිදු බාධාවක් නැහැ

- විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබ සාධන ඇමැති ඩිලාන් පෙරේරා

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය දෙවැනි ධුර කාලයේ දිවුරුම් දී තිබෙන්නේ 18වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීමෙන් පසු එම සංශෝධනය ද ඇතුළත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව යටතේ වන හෙයින් එතුමාට තෙවැනි වර තරග කිරීම සම්බන්ධයෙන් කිසිදු බාධාවක් ඇති නොවන බව විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබ සාධන ඇමැති ඩිලාන් පෙරේරා මහතා පෙන්වා දෙයි.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නැවත තරග කළ නොහැකි බවට ජනතා විමුක්ති පෙරමුණ නඟන තර්කය මේ අනුව පදනම් විරහිත බවද හෙතෙම පෙන්වා දෙයි.

කිසියම් ජනාධිපතිවරයකුගේ ධුර කාලය ක්‍රියාත්මක වන්නේ දිවුරුම් දුන් දිනයේ සිට බවට 18වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයාට තුන්වැනි වර තරග කළ නොහැකි බව පවසන හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතා ම 2004දී ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ජනාධිපතිවරණ ධුර කාලය සම්බන්ධයෙන් දුන් ශ්‍රේෂ්ධාධිකරණ තීන්දුවෙන් ප්‍රකාශ කැර තිබූ බවත් ඇමැතිවරයා පෙන්වා දෙයි.

ඇමැති ඩිලාන් පෙරේරා මහතා මේ බව පැවැසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථාන ශ්‍රවණාගාරයේ ඊයේ (4) පැවැති මාධ්‍ය හමුවේදී ය.

ඇමැති ඩිලාන් පෙරේරා මහතා මෙසේද පැවැසීය.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය දෙවැනි ධුර කාලය සඳහා දිවුරුම් දෙන්නේ 2010 නොවැම්බර් 10වැනිදායි. ඒ වනවිට 18 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මත කර අවසන්. ඒ නිසා ජනාධිපතිවරයාට තුන්වැනි වර එම ධුරය සඳහා තරග කළ නොහැකි බවට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ එතෙක් තිබූ වගන්තිය ඉවත් කර අවසානයි. එය සම්මත වූයේ 2010 නොවැම්බර් මාසයේදීයි. ජනාධිපතිතුමා දෙවැනිවර දිවුරුම් දෙන්නේ 18වැනි සංශෝධනය ඇතුළත් ව්‍යවස්ථාව යටතේයි. එතුමා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය මෙන් ජනවාරි මාසයේ දිවුරුම් දුන්නේ නම් ප්‍රශ්නයක් ඇති වෙනවා. 18වැනි සංශෝධනය ගෙන එන විට එයට විරුද්ධව නීති ක්ෂේත්‍රයේ ඇතැම් පිරිස් අධිකරණයට ගියා. හිටපු අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායක මහත්මිය ඒ සම්බන්ධයෙන් දුන් නඩු තීන්දුවෙන් ඉතා පැහැදිලිව ප්‍රකාශ කෙළේ 18 වැනි සංශෝධනයෙන් ජනතාව සතු පරමාධිපත්‍ය බලය සහ ඡන්ද අයිතිය තව දුරටත් පුළුල් වන නිසා එම සංශෝධනය ගෙන ඒම වැදගත් බවයි.

නීති හා රීති යනුවෙන් දෙකක් තිබෙනවා. මෙයින් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අර්ථ නිරූපණය වන්නේ රීති යටතේයි. මේ කුමන අන්දමින් සළකා බැලුවත් ජනාධිපතිතුමාට 18වැනි වගන්තිය ඇතුළත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව යටතේ යළි තරග කළ හැකියි. 18වැනි සංශෝධනය තුනෙන් දෙකක බහුතර ඡන්දයෙන් සම්මත කෙළේ ජනාධිපතිතුමාට යළි තරග කිරීමට තිබෙන බාධාව ඉවත් කිරීමටයි. ඒ නිසා එතුමාට තුන්වැනි වර තරග කරන්න බෑ කියා කාටවත් කියන්න බෑ.

කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා- -

ජනාධිපතිතුමාට තුන්වැනි වර තරග කිරීමට තිබූ ව්‍යවස්ථාමය බාධාව ඉවත් කිරීමට අප කටයුතු කෙළේ පුළුල් අරමුණක් වෙනුවෙනුයි. ජනතාවගේ සිතුම් පැතුම් සමඟ සිටින ජනාධිපතිවරයාට එම අයිතිය ලබා දිය යුතුයි. ජනාධිපතිවරණයකට ඉදිරිපත්වී දිනීමේ හැකියාව තිබෙන ජනාධිපතිවරයකුට එම අයිතිය ලබා නොදීම එක් පැත්තකින් මානව හිමිකම් කඩ කිරීමක් ද වෙනවා. අප ප්‍රකාශ කරන්නේ පුළුල් අවබෝධයකින් යුතුව ජනතාව වෙනුවෙන් අප සම්මත කළ ව්‍යවස්ථාවේ අයිතිය ජනතාවට ලබා දිය යුතු බවයි.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා