වසර අවසානය වනවිට රටේ ආර්ථික වර්ධන වේගය 8%ක් වෙනවා

වසර අවසානය වනවිට රටේ ආර්ථික වර්ධන වේගය 8%ක් වෙනවා

මේ වසරේ මුල් මාස හය අවසන් වනවිට 7.7%ක් බවට පත්ව තිබූ මෙරට ආර්ථික වර්ධන වේගය සැළකිල්ලට ගත්විට අප රට මේ වසර අවසානය වනවිට සියයට 8ක ආර්ථික වර්ධන වේගයක් පවතින රටක් බවට පත් වනු ඇතැයි උසස් අධ්‍යාපන ඇමැති එස්.බී. දිසානායක මහතා පවසයි.

1950 සිට 2005 දක්වා සෑම වසරක ම අමෙරිකානු ඩොලර් බිලියනයකට වඩා අඩු අගයක පැවති මෙරට විදේශ සංචිත ප්‍රමාණය මේ වනවිට ‍අමෙරිකානු ඩොලර් බිලියන 9.2 දක්වා වැඩිවී තිබීමෙන් ම ආර්ථිකමය වශයෙන් ර‍ටේ පවතින ශක්තිමත්භාවය පෙන්නුම් කරන බවද ඇමැතිවරයා පෙන්වා දෙයි.

ආර්ථික සංවර්ධනය සම්බන්ධයෙන් රජය බොරු සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කරන බවටත්, ආණ්ඩුවට සල්ලි නොමැති බවටත්, කිසිදාක නොවූ තරම් රටේ ජනතාව ණයකරුවන් බවට පත් කොට ඇති බවටත්, මේ රට බංකොලොත් රටක් බවටත් විපක්ෂය නඟන චෝදනා අසත්‍ය හා පදනම් වරහිත බැවින් ඒවා සම්පූර්ණයෙන් ම ප්‍රතික්ෂේප කරන බවත් ඇමැතිවරයා පැවැසීය.

ඇමැති එස්.බී දිසානායක මහතා මේ බව පැවැසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ ඊයේ (4) පැවති මාධ්‍ය හමුවේදී ය.

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වශයෙන් පිළිගත් සංඛ්‍යා දත්ත ගණනය කිරීමේ ක්‍රම අනුව යමින් සංඛ්‍යා දත්ත වාර්තා සැකසීමේ යෙදී සිටින බවත්, එම දත්ත පිළිබඳ ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක කම්කරු සංවිධානය වැනි ජාත්‍යන්තර සංවිධාන දැඩි විමසිල්ලෙන් පසුවන බැවින් ඒ සම්බන්ධයෙන් කිසිසේත් අවිශ්වාසයක් ඇති කර ගත යුතු නැතැයිද ඇමැතිවරයා පෙන්වා දුන්නේය. වැරදි සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කරන්නේ නම් ලෝකයේ කිසිදු සංවිධානයක් හෝ කිසිදු රටක් ශ්‍රී ලංකාවට ණය ලබා දීමට ඉදිරිපත් නොවන බවත් කීය. අපේ සංඛ්‍යා ලේඛන සම්බන්ධයෙන් විපක්ෂය බොරු චෝදනා නඟන්නේ රටේ ආර්ථිකයේ ඇති වෙමින් පවතින සංවර්ධනය දරා ගැනීමට නොහැකි නිසා යැයිද කී ඇමැතිවරයා එයින් විපක්ෂයේ නොදන්නාකම ප්‍රදර්ශනය වන බවද කීවේය.

පසුගිය වසරේ පැවැති සියයට 7.3ක් වූ ආර්ථික වර්ධන වේගය පසුගිය මේ වසරේ මුල් මාස හය අවසන් වනවිට සියයට 7.7ක් බවට පත්ව ඇතැයි මහ බැංකුව නිකුත් කළ මධ්‍ය කාලීන වාර්තාව පෙන්වා දී තිබෙන බවද ඇමැතිවරයා මෙහිදී සඳහන් කළේය. රටට සල්ලි නොමැති බවට විපක්ෂය චෝදනා කළත් මෙරට දළ දේශීය නිෂ්පාදිතය රුපියල් බිලියන 2015 වසර අවසන් වනවිට රුපියල් බිලියන 9000 දක්වා වැඩි කරගන්නා බවත් පැවැසීය.

‍මේ වසරේ මුල් මාස හය ඇතුළත අපනයන ආදායම වැඩිවී ගෙවුම් ශේෂය ඩොලර් මිලියන 1697 දක්වා අඩුවී තිබෙන බවත්, අපනයන ආදායම ඩොලර් මිලියන 850 දක්වා වැඩිවී තිබෙන බවත්,සේවා අංශයේ ආදායම සියයට 49.9කින් වැඩිවී තිබෙන බවත් පැවසීය. පරිගණක හා තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ආදායම සියයට 13.4කින් ද වැඩිවී තිබෙන බව පෙන්වා දුන් ඇමැතිවරයා විදේශ සේවා නියුක්ති ක්ෂේත්‍රයෙන් ඩොලර් මිලියන 4600ක ආදායමක් ලැබෙන බවද කීය. 1965න් පසු ගත වූ සෑම වසරකදී ම ඩොලරයට සාපේක්ෂව සියයට තුන හතරකින් අඩුවූ රුපියලේ අගය පසුගිය මාසයේ සියයට දශම තුනකින් වැඩිවී තිබීම විශේෂයෙන් සඳහන් කළ යුතු යැයිද කීය.

ඇමැතිවරයා මෙසේද කීය.

අපේ අය වැය හිඟය රුපියල් බිලියන 521යි. එනම් ඩොලර් බිලියන 7යි. අවශ්‍ය නම් අපට තිබෙන විදේශ සංචිත ප්‍රමාණය වන ඩොලර් බිලියන 9.2න් එකක් අරන් මේ හිඟය පියවා ගන්න පුළුවන්. එවැනි ශක්තිමත් තැනකට අද රටේ ආර්ථිකය ගෙනැවිත් තිබෙනවා. කෘෂි කර්මාන්තයේ සෑම අංශයකම නිෂ්පාදනය වැඩි කිරීමටත්, ගෘහ කර්මාන්ත ආදායම වැඩි කිරීමටත් මෙවර අය වැයෙන් පියවර ගෙන තිබෙනවා. කර්මාන්ත ක්ෂේත්‍රය නැංවීමටත්, අපනයන ආදේශක නිෂ්පාදන වැඩි කිරීමටත් අවශ්‍ය බදු සහන ලබා දී තිබෙනවා. සේවා අංශයේ සියලුම අංශවලටත් සහන දී තිබෙනවා. අපේ රටේ තිබෙන ගංගා ද්‍රෝණි 103හිම කිසියම් හෝ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට කටයුතු කර තිබෙනවා. කලා වැවේ මෙන් තුන් ගුණයක් ජලය පිරවිය හැකි මොරගහකන්ද යෝජනා ක්‍රමය ළඟදී ම විවෘත කරනවා. එමඟින් යල මහ දෙකන්නයට ම මුළු අනුරාධපුර දිස්ත්‍රික්කයට ජලය ලබා දිය හැකියි. උතුරු නැඟෙනහිර පළාතටත් එමඟින් ජලය ලබා දීමට නියමිතයි. මත්තල ගුවන් තොටුපළට ඩොලර් 1700ක ආදායමක් උත්පාදනය කළ හැකියි. ඉදිරියේදී එම ආදායම රටට ලැබේවි. හම්බන්තොට වරාය ද අපට ලැබුණු සම්පතක්. මේවා විවේචනය කරන්නේ එවැනි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට එජාපයට එදා නොහැකිවූ නිසයි.

විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබ සාධන ඇමැති ඩිලාන් පෙරේරා සහ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහත්වරු ද අදහස් දැක්වූහ.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා