ලතින් අෙමරිකාවට සෘජුවම ශ්‍රී ලංකාවෙන් තේ

ලතින් අමෙරිකාවට සෘජුවම ශ්‍රී ලංකාවෙන් තේ

අතරමැදියන්ගෙන් හෝ වෙන්දේසිවලින් තේ නිෂ්පාදන ලබා ගැනීම වෙනුවට ශ්‍රී ලංකාවෙන් සෘජුවම තේ මිලදී ගැනීමට ආජන්ටිනාව, චිලී, බ්‍රසීලය, මෙක්සිකෝව, උරුගුවේ සහ කොලොම්බියාව යන ලතින් අමෙරිකානු රටවල් තීරණය කර තිබේ.

ඒ පිළිබඳ අධ්‍යනය කිරිම සඳහා එම රටවල්වල ප්‍රකට තේ ව්‍යාපාරිකයින් 31 ක් දෙනකුගෙන් යුත් කණ්ඩායමක් දිවයිනට පැමිණ සිටිති.

දැනට ලතින් ඇමරිකානු රටවල් විශාල ලෙස ශ්‍රී ලංකාවේ තේ පරිභෝජනය කළද ඔවුන් එම තේ මිලදී ගනු ලබන්නේ යුරෝපයේ සහ අමේරිකාවේ පිහිටි තේ වෙන්දේසි වලින් වීමත් එහිදි අතරමැදියන්ගේ හවුල් වීම නිසා දෙපාර්ශවයටම අවාසි සහගත තත්ත්වයක් ඇතිවන හෙයින් එය වලක්වා ගැනීමේ අරමුණින් මෙලෙස සෘජුවම ශ්‍රී ලංකාවෙන් තේ මිලදි එම රටවල්වල අවධාණය යොමුව තිබේ. ශ්‍රි ලංකා තේ මණ්ඩලය, වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය හා දෙනියාය ලුම්බිණි තේ කර්මාන්ත ශාලාව එක්ව කොළඹ තේ මණ්ඩලයේ පෙරේදා (03) පැවැත් වු මාධ්‍ය හමුවේදි ආජන්ටිනා තේ අධ්‍යන පාසලේ අධ්‍යක්ෂ ඩිඅගෝ මොල්ලචෙට්ටි මහතා මෙම තොරතුරු අනාවරණය කෙළේය. ලතින් ඇමරිකානු රටවල ජනතාව ශ්‍රී ලංකාවේ තේ පරිභෝජනය සඳහා වැඩි කැමැත්තක් දක්වන බවත් එහෙත් අතරමැදියන්ගෙන් ලබා ගැනීමේදි නිසි ප්‍රමිතියෙන් යුතු තේ නිෂ්පාදන ලබාගැනීමට නොහැකි වී ඇති බවත් හෙතෙම කීවේය.

ලංකාව සුන්දර රටක් සේම මෙහි ජනතාවද හොඳ ආගන්තුක සත්කාර වලින් හෙබි ජාතියක් බව පැවැසු ඒ මහතා මෙවැනි රටකට පැමිණි තේ පිළිබඳ අධ්‍යනයක් කිරිමට ලැබීමෙන් තමන් සමඟ පැමිණි නියෝජිත පිරිස තෘප්තිමත් වු බව ප්‍රකාශ කෙළේය.

සිය රටවල් විශාල ජනග්‍රහණයන්ගෙන් හෙබි රටවල් බවත් මෙතෙක් තේ වෙන්දේසි වලින් ලබාගත් ප්‍රමාණයට වඩා විශාල ප්‍රමාණයක් සෘජුවම ලබාගැනීමට හැකිවනු ඇති බවත් මොල්ලචෙට්ටි මහතා කියා සිටියේය.

2013 වසරේදි වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා තේ මණ්ඩලය එක්ව ඩිඅගෝ මොල්ලචෙට්ටි මහතා ලතින් ඇමරිකානු රටවල් සඳහා ශ්‍රී ලංකා තේ තානාපති ලෙස නම්කර ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස මෙරට තේ පිළිබඳ ලතින් ඇමරිකානු රටවල දැඩි උනන්දුවක් ඇතිව ඇතැයි ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ අධ්‍යක්ෂ ජෙනරාල් අනුර සිරිවර්ධන මහතා පැවැසීය.

දෙනියායා ලුම්බිණි තේ කර්මාන්ත ශාලාවේ කළමණාකාර අධ්‍යක්ෂ චමින්ද ජයවර්ධන මහතා.

මෙම වැඩසටහන මඟින් ශ්‍රී ලංකාවේ තේ සඳහා නව වෙළෙඳ පොළක් නිර්මාණය කරගන්න අවස්ථාව ලැබෙනවා. ඒ මඟින් අපේ රටේ ගුණාත්මක හා ප්‍රමිතියෙන් උසස් තේ නිෂ්පාදන ඒ රටවලට ලබාදීමෙන් විශාල වෙළෙඳ පොළක් වගේම වැඩි විදේශ විනිමය ප්‍රමාණයක් උපයා ගැනීමට හැකිවෙනවා. ඒ වගේම මෙරට තේ නිෂ්පාදනය කරන ආකාරය පිළිබඳව නිසි අවබෝධයක් ලබාදීමට අපට හැකියාව ලැබෙනවා. මෙම පිරිසට ලුම්බිණි තේ කර්මාන්ත ශාලාව, තේ පර්යේෂණාගාර නැරඹීමට වගේම ශ්‍රී ලංකා තේ මණ්ඩලය, කොළඹ තේ වෙන්දේසිය, තලවකැලේ තේ පර්යේෂණ ආයතනය සහ නුවර පිහිටි තේ කෞතුකාගාරය නැරඹීමට අවශ්‍ය පහසුකම් සළස්වා තිබෙනවා. අපගේ අරමුණ මීටත් වඩා වැඩි පිරිස ඊළග වතාවේදි අපේ රටට ගෙන්වලා ඒ රටවල හොඳ වෙළෙද පොළක් ඇති කර ගැනීමයි. ඇතැම් අය විවිධ කසල තේ වර්ග යැවීමෙන් අපේ රටේ තිබෙන “සිලෝන් ටී“ කියන නාමයට කැළලක් ඇති කර තිබෙනවා. මෙවැනි සංචාරයන් මඟින් වැරදි මත පවා ඉවත් කරගන්න අවස්ථාව ලැබෙනවා. මා දකින්නේ මෙම පිරිසගේ පැමිණීම අපේ තේ කර්මාන්තයට සුබ සිහින දකින්න අවස්ථාවක් උදාවීමක් ලෙසයි.

ලතින් අමරිකානු දූත පිරිස මෙම සංචාරය අතරතුර ශ්‍රී ලංකාවේ තේ පිළිබඳ ස්පාඤ්ඤ භාෂාවෙන් දින පහක පුහුණු වැඩමුළුවක් සංවිධානය කර ඇති අතර වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද සමරසිංහ මහතා හමුවී සිය රටවල තේ වෙළදාම සිදුකිරීමට අවශ්‍ය සැලසුම් සම්බන්ධව සාකච්ඡා කිරීමට නියමිතය.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා