මුද්‍රණය සඳහා

 
අනුරපුර ෙය් මහ වැව් වාන් දමයි

අනුරපුර ෙය් මහ වැව් වාන් දමයි

- තිසා,අංගමුව, තුරුවිල වැව්වල ජල ධාරිතාව ඉහළට

අනුරාධපුර දිස්ත්‍රික්කයට නොකඩවා ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් ඊයේ (4 )උදෑසන වන විට අනුරාධපුර දිස්ත්‍රික්කයේ මහවැව් අතරින් තිසා වැව, අංගමුව සහ තුරුවිල වැව වාන් දැමීමට පටන් ගෙන ඇතැයි අනුරාධපුර වාරිමාර්ග කාර්යාලය පවසයි.

අංගමුව වැවේ ජල ධාරිතාව වාන් මට්ටම වූ අක්කර 14400 ඉක්මවා යාම හේතුවෙන් එහි හදිසි වාන් දොරටු දෙක අඩි දෙක බැගින් විවෘත කර වැවෙහි වැඩි ජලය කලාඔය වෙත මුදා හැරීමට කටයුතු කළ බව වාරිමර්ග ඉංජිනේරු අරුණ කෝනගෙදර මහතා පැවසීය. මේ හේතුවෙන් අංගමුව හදිසි වාන් දොරටු දෙකෙන් තත්පරයට ගණ අඩි 1600ක ජල ධාරිතාවක් කලාඔයට මුදාහරින බව කී ඒ මහතා රාජාංගණය වැවේ ජල මට්ටමද සීඝ්‍රයෙන් ඉහළ යන බව පැවසීය.

රාජාංගණය වැවේ ජල මට්ටම අඩි 33යි අඟල් 4 දක්වා ඉහළ ගොස් ඇති අතර එහි ජල ධාරිතාව අක්කර අඩි 75405ක් දක්වා ඉහළ ගොස් තිබු බව ඒ මහතා පැවැසීය. වැවේ ජල ධාරිතාව අක්කර අඩි 81680ක් වූ විට රාජාංගණය වැව වාන් දැමීම ආරම්භ වන බවද ඒ මහතා පැවසීය.

අනුරාධපුර පිහිටි තිසාවැවේ ජල මට්ටම අඩි 19 අඟල් 6ක්, තුරුවිල වැවේ අඩි 15ක් දක්වා ඉහළ ගොස් වාන් දමන්නට පටන් ගෙන ඇතැයි උතුරු මැද පළාත් වාරිමාර්ග අධ්‍යක්ෂ ලලිත් ද අල්විස් මහතා පැවසීය. මේ වන විට නාච්චාදූව මහවිලච්චිය හුරුළුවැව බසවක්කුලම මහකනදරාව, වාහල්කඩ , මානංකට්ටිය, පදවිය වැව්වල ඊයේ (04) උදෑසන වන විට ජල මට්ටම ඉහළ ගොස් තිබු බව අධ්‍යක්ෂවරයා පැවැසීය.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2014 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]