ලෝක පාපන්දු සභාපති බ්ලැටර් 1දා ශ්‍රී ලංකාවට

ජනපති හමුවීම: අරියාලේ පිටිය විවෘත කිරීම අරමුණින්

ලෝක පාපන්දු සභාපති බ්ලැටර් 1දා ශ්‍රී ලංකාවට

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති රංජිත් රුද්‍රිගු මහතාගේ විශේෂ ආරාධනාවකට අනුව ලෝක පාපන්දු සභාපති ජෝෂප් සෙප් බ්ලැටර් මහතා දෙසැම්බර් 1දා මෙරටට පැමිණෙයි.

වසර ගණනාවකට පසුව ශ්‍රී ලංකාවේ සංචාරය කරන ජෝෂප් සෙප් බ්ලැටර් මහතා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හා ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා හමුවීමට සුදානමින් සිටී.

එයට අමතරව යාපනයේ අරියාලේ ක්‍රීඩාංගණය විවෘත කිරීම, ශ්‍රී ලංකාවේ පාපන්දු ලීග් සභාපතිවරු හා ලේකම්වරු ඇමැතීම බ්ලැටර් මහතාගේ සංචාරයේදී සිදු වේ.

අරියාලේ ක්‍රීඩාංගණය ඉදිකිරීමට ලෝක පාපන්දු සම්මේලනය අමෙරිකානු ඩොලර් ලක්ෂ 4ක මුදලක් පරිත්‍යාග කර තිබුණි.

දෙසැම්බර් 1දා රාත්‍රියේ තම පෞද්ගලික ජෙට් යානයෙන් ශ්‍රී ලංකාවට පැමිණෙන ‍ලෝක පාපන්දු සභාපතිවරයා 3වැනිදා සුරිච් බලා පිටත්වීමට නියමිතව සිටී. බ්ලැටර් මහතා ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ පිලිපීනයේ පැවැත්වෙන ආසියානු පාපන්දු සම්මේලනයේ විශේෂ සැසිවාරයකට සහභාගිවීමෙන් අනතුරුවය.

ලෝක පාපන්දු සභාපතිවරයා මේ වසරේදී ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් ලක්ෂ 7.5ක ප්‍රසාද දීමනාවක් ලබාදුන් අතර දංගොල්ල නව පාපන්දු සංකීර්ණයට හා කොළඹ හෙන්රි පේද්‍රික් ක්‍රීඩා පිටිය නවීකරණයට අමෙරිකානු ඩොලර් ලක්ෂ 10ක මුදලක් ලබා දුන්නේය. එම සියලු මුදල් ලෝක පාපන්දු සම්මේලනය වාර්ෂිකව ලබාදෙන අමෙරිකානු ඩොලර් ලක්ෂ 2.5ට අමතරව හිමිවීම විශේෂත්වයකි.

බ්ලැටර් මහතාගේ මේ සංචාරය ඔහුගේ සිවුවැනි ශ්‍රී ලංකා ගමන වන අතර අවසන් වරට 2006දී කළුතර වර්නන් ප්‍රනාන්දු ක්‍රීඩා පිටිය ඉදිකිරීමේ කටයුතු සඳහා පැමිණි අතර 2001දී පාපන්දු නිවහන විවෘත කිරීමේ අවස්ථාවටද එක්විය.

ලෝක පාපන්දු සම්මේලනයේ 8වැනි සභාපතිවරයා වන 78හැවිරිදි සෙප් බ්ලැටර් මහතා 1998සිට පිට පිට සිවුවතාවකදී තේරී පත්වීම විශේෂත්වයකි.

ජෝෂප් සෙප් බ්ලැටර් මහතගේ මෙවර සංචාරයෙන් පසු ශ්‍රී ලංකාවේ පාපන්දු සංවර්ධන වැඩ සටහන් තව තවත් වේගවත්වනු ඇතැයි පැවැසේ.

බ්ලැටර් මහතා මෙයට පෙර පසුගිය වසරේදී මෙරටට පැමිණීමට නියමිතව සිටියද එය හදිසියේම අතහැර දැමීමට තීරණය කළේය. පසුව ශ්‍රී ලංකා පාපන්දු සභාපතිවරයා කළ ඉල්ලීමක් සලකා බලා ශ්‍රී ලංකාවට පැමිණීමට කැමැත්ත පළ කොට ඇත.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා