මාගේ දේශය අවදි කරනු මැන!

මාගේ දේශය අවදි කරනු මැන!

ඊයේ නො ව; පෙරේදා හැන්දෑවරුවේ කොළඹටත් ගම්පහටත් මහ වර්ෂාවක් ඇද හැලිණි. එය හැඳින්වූයේ ඉල් මහේ අන්තිම වැස්ස ලෙස ය. මේ වැස්සට කිසිවකු එළියට බහින්නේ නැත. කවුරුත් කැමැති ගෙදරට වී කල් මැරීමට ය. කලාකරුවන් අතර නම්; ඒ ගතිය හොඳට ම වැඩි ය. එහෙත් පෙරේදා හැන්දෑව අරලියගහ මන්දිරයට අමුතු සන්ධ්‍යාවක් වී තිබිණි. රටේ සියලුම කලාකරුවෝ අරලියගහ මන්දිරයට රැස්වී ජනාධිපතිවරයාට සුබ පතන්නට පටන් ගත්හ. අපේ සංගීතයේ මහැදුරු පණ්ඩිත අමරදේව මාගේ දේශය අවදි කරනු මැන පියාණෙනි නම් ගීතයෙහි කොටසක් ගායනා කළේය.

කතාව ඇත්තය. මේ රටත් - ජාතියත් අවදි කළේ මහින්ද රාජපක්ෂ ය. ඔහු රට එක්සේසත් කළේය. ත්‍රස්තවාදය තුරන් කළේ ය. බෙදුම්වාදයට තිත තැබුවේය. සාමය හා නිදහස ජනතාවට ලබා දුන්නේ ය. ඔහු ජාතිය අවදි කළ දේශය අවදි කළ නායකයා ලෙස ගණන් ගැනීමෙහි කිසිදු වරදක් නැත. කලාකරුවෝ ඔහු පිළිගනිති. ගෞරව කරති. ඔහුට සහය දක්වති. වෙනත් දේශපාලන නායකයකුට කලාකරුවන්ගේ මෙබදු සහයෝගයක් ලැබෙනු අප දැක නැත.

මහින්ද රාජපක්ෂ මහතා කලාව හා සාහිත්‍යය හොඳින් වටහා ගත් කලාකරුවන් සමඟ සමීප සබඳතාවක් ඇති නායකයෙකි. ඔහු එදින උපන් දිනය සමරන කලාකරුවනට සුබපතා ත්‍යාග පිරිනැමුවේය. තවත් විශේෂ කලාකරුවන් රැසකට සම්මාන ලබා දුන්නේ ය. වේදිකාවෙන් පහළට බැස කලාකරුවන් හමුවීමට ගිය ජනාධිපතිවරයාට අඩි කිහිපයක් ඉදිරියට යෑමට නො ලැබිණි. විශාල පිරිසක් ඔහු වටකරගෙන නොයෙක් අදහස් පළ කරන්නටත්, ඉල්ලීම් ඉදිරිපත් කිරීමටත් පටන් ගත්හ. මේ දර්ශන පෙළින් පෙනී යන්නේ ශ්‍රී ලංකාවේ කලා සමාජය හා ජනාධිපතිවරයා අතර ඇති සමීප සම්බන්ධයයි.

ඇරිස්ටෝටල්ගේ ගුරුතුමා ග්‍රීක රාජ්‍ය තන්ත්‍රයට උපදෙස් දෙමින් කියා සිටියේ කවියා හෙවත් කලාකරුවා ආදර්ශවත් ජන රජයෙන් පලවා හැරිය යුතු බව ය. එහි ඉතා ගැඹුරු අදහසක් තිබේ. උත්ප්‍රාසයක් ද තිබේ. කලාකරුවා ඇත්ත කියන බැවින් පාලකයාට ගැටලුවෙකි. පාලකයා බොරුකරන බැවින් කලාකරුවාට ප්‍රශ්නයකි. මේ දෙපාර්ශ්වය අතර ගැටුම දීර්ඝ කාලයක් තිස්සේ වර්ධනය වී තිබේ. රටක් බලහත්කාරයෙන් පාලනය කිරීමට නම්; කවියා හෙවත් කලාකරුවා පන්නා දැමිය යුතු ය.

‍ෙබාහෝ රටවල පාලකයා හා කලාකරුවා අතර කිසිදු සම්බන්ධයක් නැත. කලාකරුවා හා පාලකයා නයාට අඳුකොළ සේ කල් ගෙවන තත්ත්වයක් හුඟාක් රටවල තිබේ. ශ්‍රී ලංකාවේ වුව මෑතක් වනතුරු එම තත්ත්වයෙහි වෙනසක් දක්නට නො ලැබිණි. කලාකරුවා එක මාර්ගයකත්, දේශපාලකයා තවත් මාර්ගයකත් යෑම සාමාන්‍ය සිරිත වී තිබේ. ජේ. ආර්. ජයවර්ධන පාලන සමයේ කලාකරුවනට කාණු දිගේ ඇදගෙන ගොස් පහරදීම් කරනු ලැබිණි. මහාචාර්ය සරච්චන්ද්‍ර මහතා පවා එදා ගුටි කෑවේ ය.

ශ්‍රී ලංකාවේ සංගීත ක්ෂේත්‍රයෙහි ගුත්තිල ඇදුරු පණ්ඩිත අමරදේවයෝ ය. එතුමාගේ දැනුම, කීර්ති නාමය හා නිර්මාණ හැකියාව මූලික කොට ඇකඩමියක් හෙවත් ශාස්ත්‍රාලයක් ඇති කරන්නට කිසිදු පාලකයකු උනන්දු වුයේ නැත. මෑත කාලය විමර්ශනය කළහොත් ජනාධිපතිවරු පස් දෙනෙකි. හතර දෙනෙකුටම එතුමා අමතක වී තිබිණි. අවසානයේ අමරදේව ඇකඩමි යෝජනාව ගෙන ආවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ය. මේ යෝජනාව වැඩි කලක් යෑමට ප්‍රථම යථාර්ථයක් බවට පත්වනු ඇත. මහින්ද මහතා අතගහපු වැඩක් වැරැදී නැත. එය ජනතාවගේ විශ්වාසය බවට පත් වී ඇත.

කලාකරුවා යනු රටක ජීවත්වන සංවේදී හා බුද්ධිමත් ම ප්‍රජාව ලෙස සලකනු ලැබේ. කලාකරුවන්ට වෙන ම ආණ්ඩුවක් ඇතැ’යි කතාවක් ද තිබේ. එහි අර්ථය වන්නේ කලාකරුවාගේ අදහස් හා මතවාද පිළිගැනීමට ජනතාව සූදානම් බව ය. ආණ්ඩුවක් ජනතාවට කුමන වර්ගයේ සහන හා ප්‍රතිලාභ ලබා දෙන්නේ වුව එම ආණ්ඩුවට වඩා වැඩි ජනතා ආකර්ෂණයක් කලාකරුවන් වෙත තිබේ. බොහෝ රටවල ආණ්ඩු වෙනස් කරන්නේ කලාකරුවන්ගේ සංවිධාන බව දේශපාලන ඉතිහාසය විසින් සනාථ කරනු ලැබේ. නිය ම කලාකරුවෝ ඇත්ත කියති. ජනතාව සංවිධාන කරති.

එක්සත් ජනතා නිදහස් සන්ධානය සමඟ ශ්‍රී ලංකාවේ ප්‍රබුද්ධ කලාකරුවන් ඒකරාශී වූයේ 1994 දී සිට ය. එදා ඔවුන්ගේ එකමුතුව නිදහස් කලා සන්ධානය ලෙසින් හැඳින්විණි. ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියට බලය ලබා ගැනීම සඳහා අවශ්‍ය දේශපාලන පසුබිම සකස් කළේ නිදහස් කලා සන්ධානය යි. දෙවනුව මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය සඳහා ද ශ්‍රී ලාංකේය කලාකරුවන්ගේ සංවිධානය දෙවරක් ම සිය සහභාගිත්වය ලබාදුන‍්නේ ය. ඔවුන් කැපවූයේ මේ රටේ ජනතාව වෙනුවෙන් ය.

හුදී ජනයාට ඇත්ත - නැත්ත කියා දීම කලාකරුවන්ගේ යුතුකම ය. 2005දී රටේ සියලු පළාත්වලට යමින් ඇත්ත පැහැදිලි කරන්නට කලාකරුවෝ සමත් වූහ. අප දන්නා පරිදි කිසිදු කලාකරුවකු මහින්ද රාජපක්ෂට විරුද්ධ වූයේ නැත. 2010දී ඊටත් වඩා ප්‍රබල සහයෝගයක් මහින්ද රාජපක්ෂ මහතා වෙත ලැබිණි. කලාකරුවෝ වෙනදාටත් වඩා සක්‍රීය ලෙස ඔහුට සහාය දක්වන්නට පටන් ගත්හ.

පෙරේදා අරලියගහ මන්දිරයට රැස්වූ කලාකරුවන් මහින්ද රාජපක්ෂ මහතාගේ ඊළඟ දේශපාලන ජයග්‍රහණය වෙනුවෙන් සහයෝගය දක්වන්නට පෙළගැසී උන්හ. ජනාධිපතිවරයා කලාකරුවන් රැසකට සම්මාන ලබාදුන් අතර කලාකරුවෝ ද ජනාධිපතිවරයාට සම්මානයක් ලබාදුන්හ. එය කලාතුරෙකින් දකින්නට ලැබෙන සිද්ධියකි. ජනාධිපතිවරයා හා කලාකරුවන් අතර හෘදයාංගම සම්බන්ධයක් තිබේ. එබඳු සම්බන්ධයක් ශ්‍රී ලංකාවේ කිසිදු දේශපාලකයකුට නැත.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා