විසි නව වැනි මැතිවරණයත් ඉහළින්ම දිනනවා

විසි නව වැනි මැතිවරණයත් ඉහළින්ම දිනනවා

නිමල් සිරිපාල ද සිල්වා
වාරිමාර්ග හා ජල කළමනාකරණ ඇමැති

භාවිතයට නොගෙන ජලය මුහුදට ගලා යාම සියයට 65 සිට 50 දක්වා ප්‍රමාණයක් අඩුකර ගැනීම වසර 2020 දී ඉලක්කය බව වාරිමාර්ග හා ජල කළමනාකරණ ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කරයි. 2006 – 2014 කාලසීමාව තුළ වාරි අංශයේ මුළු ප්‍රාග්ධන ආයෝජනය රුපියල් බිලියන 177 ක් බව ද එතරම් සුවිසල් මුදලක් වැය කළ පාලන යුගය මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලය බව ද හෙතෙම පෙන්වා දෙයි. අයවැය හා ‍කාලීන දේශපාලන ප්‍රවණතා පිළිබඳව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා දැක්වූ අදහස් මේසේයි.

ශ්‍රී ලංකාවේ වාරි අංශයේ ප්‍රතිපත්තීන්වල ඉලක්කය කුමක්ද?

අපේ මේ අංශයේ ඉලක්කය තමයි අහසින් වැටෙන එකම දිය බිඳක්වත් ප්‍රයෝජනයට නොගෙන මහ මුහුදට ගලා යෑම ප්‍රමාණාත්මකව අඩුකර ගැනීම. ඒ අරමුණ ඇතිව ජනාධිපතිතුමාගේ උපදෙස් මත 2005 සිට අපි විවිධ වැඩසටහන් ව්‍යාපෘති ක්‍රියාත්මක කළා.

2005 ට පෙර රටේ වාරි අංශ කටයුතුවලට ලැබී තිබූ සැලකිල්ල කොහොමද?

කියන්න කනගාටුයි. මේ අංශය ගැන එවක රජය කිසි, නිසි සැලකිල්ලක් දක්වා තිබුණේ නැහැ. මේ අංශයේ දියුණුවට ඒ අය 2002 – 2005 කාලයේ වියදම් ක‍‍ෙළ් රුපියල් බිලියන 25 ක මුදලක්.ජනාධිපතිතුමා 2006 – 2010 රුපියල් බිලියන 50 ක් වැය කළා. පෙර කාලය හා සසඳා බැලීමේදී මේ මුදල සියයට දෙසීයයක වැඩිවීමක්. පසුගිය 2011 – 2013 සඳහා අපි රුපියල් බිලියන 75 ක් වැය කළා. 2014 දී තවත් රුපියල් බිලියන 52 ක් වැය කළා. 2006 සිට මේ දක්වා මේ අංශයේ සංවර්ධනයට අපේ රජය රුපියල් බිලියන 177 ක් තරම් අති විශාල මුදලක් වැය කර තිබෙනවා.

වාරි ජලයෙන් මූලික ලෙස සිදු කරන්නේ මොනවාද?

අපි, වාරි ජලය මූලික අවශ්‍යතා තුනක් සපුරා ගන්න යොදා ගන්නවා. ආහාර සුරක්ෂිතතාවය ඇතිකිරීම, ගොවිතැන් කටයුතුවලට, පානීය ජලය සැපැයීමට, ජල විදුලිය ජනනය කර ගැනීමට.

එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු 1980 කාලයේ කඩිනම් මහවැලි ව්‍යාපාරය ක්‍රියාත්මක කළා නේද?

ඔවුන් එය ක්‍රියාත්මක කළා. නමුත්! ඒ ව්‍යාපාරයෙන් පසු පත් වූ එජාප ආණ්ඩු වාරි අංශයේ දියුණුවට විශාල මුදලක් වැය කළේ නැහැ.

වාරිඅංශයේ නවෝදයක් ඇතිවුණේ 2005 න් පසුවයි කීවොත්...! එය නිවැරදිද?

ජනාධිපතිතුමා 2005 බලයට පත්වෙලා 2006 වර්ෂය මේ අංශයේ නවෝදයක් ඇතිකිරීමට පියවර ගත්තා. මහින්ද චින්තනයත්, ඉදිරි දැක්මත් සංවර්ධන සැලැසුම්වලට අනුගතව මහා පරිමාණයේ නව වාරිමාර්ග යෝජනා ක්‍රම විශාල ප්‍රමාණයක් ආරම්භ කළා. වාරිමාර්ග යෝජනා ක්‍රම ප්‍රතිසංස්කරණය, පහළ නිම්න නඩත්තුව හා නවීකරණය, මහා පරිමාණ වාරි යෝජනා ක්‍රම 32 ක් වේළි ආරක්ෂණ කටයුතු සිදු කළා.

වෙහෙරගල ජලාශය දකුණු පළාතට, රඹුක්කන් ඔය නැ‍ඟෙනහිර පළාතට, දැදුරුඔය වයඹ පළාතට, මොරගහකන්ද හා කළුගඟ ජලාශය මධ්‍යම, උතුරුමැද හා නැ‍ඟෙනහිර පළාත්වලට, උමා ඔය හැරවුම ඌව හා දකුණු පළාත්වලට, යාන් ඔය උතුරුමැද හා නැ‍ඟෙනහිර පළාත්වලට, ගිං - නිල්වලා හැරවුම් දකුණු පළාතට ආදී වශයෙන් මහා පරිමාණ වාරිමාර්ග යෝජනා ක්‍රම ආරම්භ කළා. මේ ව්‍යාපාර සඳහා රජය වැඩිම මුදලක් දේශීය සම්පත්වලින් තමයි යොදා ගත්තේ. දැනුම, තාක්ෂණය, ශ්‍රමය අපේ රටේ අයගෙනුයි වැඩිපුර ලබා ගත්තේ.

මේ වාරි ව්‍යාපෘතීන් හරහා අනිසි පාරිසරික බලපෑම් සිදුවන බවට චෝදනාවක් තිබෙනවා?

අපි සිදුකළ මහා පරිමාණ සංවර්ධන යෝජනා ක්‍රමවල සිට කුඩාම ඇළ වේල්ල ප්‍රතිසංස්කරණය කිරීම දක්වා ව්‍යාපෘතීන්වලින් ඉටුවන්නේ පාරිසරික හානි වීමට ඇති ඉඩකඩ අහුරාලීමයි. අපි කරන්නේ ජනතාවට අතමිට සරු කරගන්න, ගොවිතැනක් කරන්න නිසි කලට වේලාවට ජලය ටික ලබා දෙන එකයි. පිරිසිදු පානීය ජලය ලබාදීමයි. ඒවායේ වැඩවලින් පරිසරයට හානියක් සිදුවන්නේ නැහැ.

වාරි ක්ෂේත්‍රයේ සංවර්ධනයට රජය මුදල් වැය කිරීමෙන් ලද ප්‍රතිලාභය පිළිබඳව ඔබට සෑහීමකට පත්විය හැකිද?

ඉතාම සතුටුදායක දේ තමයි, ගොවි ජනතාවට වගාවට අවශ්‍ය ජලය කලට වේලාවට ලබාදීමට හැකිවීම. ජල විදුලිය නිපදවනවා. ඒවාගේම හැකි තරම් ජලයෙන් උපරිම ප්‍රයෝජන ගන්න ක්‍රමවේද සකස් කිරීම නිසා කළ ආයෝජන‍ෙයන් ලද ප්‍රතිලාභ ගැන සතුටුයි.

අපි ජලය උපරිමයෙන් ප්‍රයෝජනයට ගන්න හැකි ලෙස ඇළවේලි සකස් කිරීමේ අත්හදා බැලීමක් කළා. සාමාන්‍යයෙන් වියළි කලාපයේ යල කන්නයේ වී වගාවට ජලය අක්කරයකට අඩි 06 ක් විතර භාවිතා කරනවා. මේ ප්‍රමාණය සියයට 20 – 30 කින් අඩුකර ගන්න, අස්වැන්න වැඩි කර ගන්න අපේ අත්හදා බැලූ ජලය ඉතිරි කර ගැනීමේ ක්‍රමවේදවලින් හැකි වුණා. එය සතුටක්.

වසර 2015 අයවැය පිළිබඳව කතා කළොත්...!

අපේ රටේ ඉතිහාසයේ කවරදාකවත් සිදු නොවූ සංවර්ධනයක් පටන් ගත්තේ 2005 න් පස්සේයි. එදා මෙදාතුර රටේ ආර්ථික වර්ධන වේගය, ජනතාවගේ ආදායම් දිනෙන් දින වැඩි කරන්න ඕනෑ මුදල් ආණ්ඩුව සෑම අයවැයකින්ම වෙන්කළා. එක අරමුණක්, ඉලක්කයක් ඔස්සේ රටේ ආර්ථිකය ජනතාවගේ ආදායම් මාර්ග වැඩිදියුණු කරන්න මුදල් ලබා දුන්නේ මේ ආණ්ඩුවයි. ඒ අනුව ක්‍රමවත් වැඩපිළිවෙළකට, චින්තනයකට රට මෙහෙයවන බව කියන්න ඕනෑ. මෙවර අයවැයෙන් රටේ සංවර්ධනයටත්, ජනතාවගේ සුබසාධනයටත්, ඒවාගේම මානව සම්පත් දියුණුවටත් විශාල දිරිදීම් ලබා දී තිබෙනවා.

විපක්ෂය මේ අයවැය මැතිවරණ ඉලක්ක කර ජනතාවට සහන ලබාදීමට යොදා ගත් අවස්ථාවක් ලෙස චෝදනා කරනවා.

ජනතාවට සහන දෙන්නේ නැහැ කියා විපක්ෂය චෝදනා කරනවා. ඒවා දීපු දා ඉඳන් ඡන්දේ බලාගෙන ඒ දේවල් කරනවා කියනවා. මේක මහ හතරබීරි කතාවක්. විපක්ෂය කරන චෝදනා හරිම බොළඳයි. අපි ජනතාවට දිගුකාලීන ප්‍රතිලාභ ලබාදීමටයි හැම වේලාවේම කටයුතු කරන්නේ.

මෙවර අයවැයෙන් අතිවිශාල මුදලක් ජනතා සුබසාධනයට වෙන්කරලා තිබෙනවා. ඒවා සොයාගන්නේ කොහොමද?

ජනාධිපතිතුමා එක අරමුණක්, ඉලක්කයක් ඇතිවයි රට පාලනය කරන්නේ. ඒ නිසා ඉතා ක්‍රමවත් මූල්‍ය කළමනාකරණයක්, සාර්ව ආර්ථික අංශ දියුණුවක් සෑම විටම සිදුකළා. ඒවාගේ ප්‍රතිඵල නිසා රටේ ආදායම් වැඩිදියුණු වුණා. යුද්ධය නතර කළ නිසා නව ආයෝජන ආවා. ප්‍රතිලාභ ලැබුණා. මේ වාසිය ජනතාවට ලබාදීමයි මෙවර සිදුවුණේ. මේ සුබසාධන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්න අවශ්‍ය මුදල් සියල්ල මහා භාණ්ඩාගාරය අදාළ ආයතනවලට ලබාදීමට සූදානම්. ඒ නිසා ජනතාවට මෙවර අයවැයේ යෝජනා සෑම එකකින්ම ලැබෙන සෘජු හා වක්‍ර ප්‍රතිලාභ ලැබෙනවාමයි.

වාරිමාර්ග අංශයේ දියුණුවට මුදල් වෙන්කළාද?

2015 – 2017 මැදිකාලීන අයවැය රාමුවේ වාරිමාර්ග පද්ධතිය වැඩිදියුණු කරන්න විශාල ඉඩක් ලබා දුන්නා. ප්‍රමිතියෙන් යුත් පානීය ජලය සැපැයීම, වනජීවී සංරක්ෂණය ප්‍රමුඛ කරගෙන යාන් ඔය, උමා ඔය, මොරගහකන්ද වාගේම ගිංගඟ, නිල්වලා ගඟ, මාඔය, බදුලු ඔය, රනාල්ල මල්වතු ඔය, කාලිංගනුවර, වේළි ඔය, කළුගල් ඔය, මහගල්ගමුව වැව ආදී වාරි ව්‍යාපෘති ඇතුළු ව්‍යාපෘති රැසක් සඳහා රුපියල් මිලියන 15000 ක් වෙන්කළා.

මේවාගේ සුබසාධන වැඩපිළිවෙළක් ඇයි? මීට පෙර යෝජනා නොකළේ?

අපි හැමදාමත් යෝජනා කළේ සෑම ක්‍රියාවකින්ම ජනතා සුබසෙත සැලසීම ඉලක්ක කරගෙන තමයි. ඒ බවට අපේ රටේ ජනතාවගේ ආර්ථික දියුණුව තුළින් සනාථ වෙනවා. එදා 2006 – 2007 ජාතික මට්ටමේ සමස්ත ජනගහනයෙන් සියයට 15.7 තිබූ දරිද්‍රතාවය 2013 – 2014 කාලය වන විට සියයට 8.7 අඩුවුණා.

ග්‍රාමීය දිළිඳුකම සියයට 15.7 සිට සියයට 7.6 දක්වා අඩුවුණා. වැවිලි අංශයේ නිරත ජනගහනයෙන් සියයට 32 මට්ටමේ තිබූ දිළිඳුකම සියයට 10.9 දක්වා අඩුවුණා. දිනකට ඩොලර් 2 කට වඩා අඩු ආදායම් ලබන ජනගහනය සියයට 28.3 සිට සියයට 18.9 දක්වා අඩුවුණා. 2013 මාතෘ මරණ අනුපාතය ජීවිත උපත් ලක්ෂයකට 12.1 සිට 7.2 දක්වා අඩුවුණා. මැලේරියාවලින් තොර රටක් බවට අපේ රට පත්වුණා.

මේවාගේ තවත් දර්ශක ගණනාවකින් රටේ ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ ගිය බව කියන්නට පුළුවන්. ඒ සියලු දේ සිදුවුණේ ඉබේටම නොවෙයි. රටේ සමාජ, ආර්ථික, යටිතල පහසුකම් දියුණු කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ඇතිවූ දියුණුව නිසා තමයි එහෙම වුණේ. ඒ නිසා අපි හැමදාම කටයුතු කරලා තිබෙන්නේ ජනතා සුබසාධනය, සංවර්ධනය ඇතිකිරීමටයි.

ඉදිරි ජාතික මැතිවරණ ගැන පක්ෂ, විපක්ෂ විවිධ මත තිබෙනවා. ආණ්ඩුවේ ප්‍රබලයෙක් ලෙස ඔබ මැතිවරණවලට සූදානම් ද?

අපි, අනිවාර්යයෙන්ම ඕනෑම මැතිවරණයකට නිරන්තරයෙන්ම සූදානම්වයි සිටින්නේ. එ. ජ. නි. සන්ධානය මැතිවරණ 28 ක් ජයගෙන තිබෙන්නේ. ඉදිරි මැතිවරණය 29 වැනි එක. ඒ ඕනෑම මැතිවරණයක් අතිවිශාල ජනතා කැමැත්තකින් දිනන්න අපි සූදානම්. අපිට ඒ ඕනෑම මැතිවරණයක් ජය ගන්නට හැකියි කියන ජනතා විශ්වාසය තිබෙනවා.

ගතවූ වසර 09 කාලය තුළ රටේ සිදුවූ ප්‍රගතිය, දියුණුව ගැන ඔබේ දැක්ම කුමක්ද?

අපේ රටේ විජය රජ්ජුරුවන්ගේ සිට ජනාධිපතිතුමා දක්වා පාලන කාලය ගත් විට හොඳම දියුණුවට වැඩිම වැඩ කොටසක් කළ පාලන කාලය මේ යුගයයි.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා