මුද්‍රණය සඳහා

 
ඉතිහාසයේ රාවණාට හිමිතැන මම ලබා දුන්නා

ඉතිහාසයේ රාවණාට හිමිතැන මම ලබා දුන්නා

- චන්න පෙරේරා

ජනප්‍රිය නළු හා අධ්‍යක්ෂ චන්න පෙරේරා අධ්‍යක්ෂණය කළ ‘කල්පාන්තේ සිහිනයක්’ චිත්‍රපටය මේ දිනවල රීගල් ඇතුළු රිද්මා මණ්ඩලයේ සිනමාහල්වල තිරගතවේ. ‘අංජලිකා’ගෙන් පසු තිරගත වන ඔහුගේ දෙවැනි චිත්‍රපටය වන්නේ ‘කල්පාන්තේ සිහිනයක්’ ඒ පිළිබඳ චන්න කතාබහට එක්වූයේ මෙසේය.

කල්පාන්තේ සිහිනයක්’ චිත්‍රපටයේ කතා සංකල්පය ඉදිරිපත් කරන්නේ ඔබමයි. එවැනි තේමාවකට ඔබගේ සිත යොමු වුණේ කොහොමද?

ඉතිහාසය කියන්නේ මම බොහොම ප්‍රිය කරන විෂයයක්. ඒ වගේම ඒ ඉතිහාසයේ මම බොහොම ප්‍රිය කළ චරිතයක් තමයි රාවණා කියන්නේ. එතුමා සියලු කලාවල කෙළ පැමිණියෙක්. යන්ත්‍ර - මන්ත්‍ර ගුරුකම් වගේම ගුවන්යානා තාක්ෂණයත් දැනගෙන සිටිය මේ දක්ෂයා දඬුමොනරයක් නිර්මාණය කළා.

මේ අපූරු මනුෂ්‍යයා ගැන මහාවංශයේවත් ලියැවිලා නැහැ. ඒ නිසා මට ඕනෑ වුණේ ඉතිහාසයේ රාවණා රජුට ලබා නොදුන් තැන මගේ නිර්මාණය ඔස්සේ ලබා දෙන්නයි.

එහෙම හිතලයි මා මාගේ සිතින් මැවුණු කතා තේමාව අනුව චිත්‍රපටය නිර්මාණය කරන්නේ. නමුත් කාට හරි හිතෙන්න පුළුවන් මම චිත්‍රපටය නිර්මාණය කළේ මේ රාවණා රැල්ලට කියලා.

ඒත් මම චිත්‍රපටය නිර්මාණය කරන කාලේ ඒ වගේ රාවණා රැල්ලක් ඇති වෙලා තිබුණේ නැහැ. ඒ කියන්නේ මීට වසර තුනකට පෙරයි චිත්‍රපටය මා නිර්මාණය කරන්නේ. මගේ කතා සංකල්පය තිර නාටකයක් බවට පත් කළේ කපිල කුමාර කාලිංගයි.

ඒ අතීතය දෙසට යන ගමනේදී චිත්‍රපටය සඳහා ඔබ භාවිත කරන්නේ සුන්දර දර්ශන තලයි. හැමදාමත් දකින දර්ශන තලවලට වඩා වෙනස් දර්ශන තලවල මේ නිර්මාණය කරන්න හිතුවේ ඇයි?

රිවස්ටන්, රත්තොට, ගල්ගමුව, දඹුල්ල වගේ ප්‍රදේශයි චිත්‍රපටය රූගත කිරීම් සඳහා තේරා ගත්තේ. එහිදී මීට පෙර කවුරුවත් භාවිත නොකළ දර්ශන තලවලට යන්න අපි මහන්සි වුණා.

එහෙම කළේ චිත්‍රපටය නරඹන සිනමා රසිකයාගේ සිතේ යම් වෙනසක් ඇති කරන්නයි. ඒ වෙනසේදී කෘත්‍රිමව සෑදූ දර්ශන තලත් අපි භාවිත කළා. මේ ඔස්සේ අලුත් අත්දැකීමක් සිනමා රසිකයන්ගේ සිත්වල ඇති කිරීමට මට හැකි වුණා යැයි මා සිතනවා.

ඔබ චිත්‍රපටයේ අධ්‍යක්ෂණය වගේම ප්‍රධාන නළුවා. මේ කාර්යය ද්විත්වයම සාර්ථක අයුරෙන් ඉටු වූවා යැයි ඔබ සිතනවාද?

මීට පෙර මා ටෙලි නාට්‍ය රැසක් අධ්‍යක්ෂණය කරලා තිබෙනවා. එහිදීත් මා අධ්‍යක්ෂණය කරමින් තමයි රඟපෑවේ. ඒ නිසා ඒ පිළිබඳ මට යම් අත්දැකීම් රැසක් තිබෙනවා. ලොකුම අත්දැකීම ලැබුණේ ‘පුංචි වීරයෝ’ කියන ටෙලි නාට්‍යයෙන්.

එතනදි මම රඟපෑවේ ළමයි පස් දෙනෙක් අධ්‍යක්ෂණය කරමින්. මේ අභියෝගය වඩා හොඳින් ජය ගත්තා කියන හැඟීම මට තිබෙනවා. මම හිතන්නේ මේ චිත්‍රපටයේදීත් යම් සාර්ථකත්වයක් තිබෙන බවයි.

මගේ චිත්‍රපට දෙකේම ප්‍රධාන චරිත රඟපෑවේ විදෙස් නිළියෝ. ඔවුන් සමඟ කටයුතු කිරීමේදී දැඩි වෙහෙසක් දරන්නට සිදු වුණ බව ඇත්තයි. එතනදියි මට සිතෙන්නේ මේ භාරදූර වගකීම නොතිබුණා නම් මීට වඩා හොඳට මගේ රංගනය ඉදිරිපත් කරන්න තිබුණු වග. මොකද භාෂාව නොදත් නිළියක් හසුරවන්නට යෑමෙන් මගේ රංගනය යම් පසුබෑමකට පත්වෙන්නට ඇති බවත් සිතෙනවා.

මේ චිත්‍රපටයට ඔබ මේ නමම තබන්නට විශේෂ හේතුවක් තිබුණාද?

කල්පාන්තයක් කියන්නේ කල්පයක අන්තය කියන තේරුමයි. කිසිම දවසක ළඟා නොවුණු කාලයක් ගැනයි මේ සිහිනය දකින්නේ. ඒ වගේම මේ චිත්‍රපටයේ රඟපාන තරුණියත් තරුණයාත් ගමන් කරන්නේ කිසිම දවසක සැබෑ නොවෙන්නා වූ සිහිනයක් සැබෑ කර ගැනීමේ අදිටනින්.

ඒ වගේම සංසාර පුරුද්ද ගැනත් මෙතනදි මා කතා කරනවා. අපේ සංසාර පුරුදු කල්පාන්තයක් දක්වා ගෙනි යන්න පුළුවන්. ඔය කාරණා දෙකම සලකලයි මම චිත්‍රපටයට ‘කල්පාන්තේ සිහිනයක්’ කියන නම යොදන්නේ.

චිත්‍රපටයේ රංගන දායකත්වය ලබාදෙන පිරිස අතර ප්‍රවීණයන් කිහිප දෙනෙකුත් ඉන්නවා?

අයිරාංගනී සේරසිංහ, සනත් ගුණතිලක, නිහාල් ප්‍රනාන්දු, සඳුන් විජේසිරි, හිමාලි සයුරංගි, ගුණදාස මධුරසිංහ කියන නළු නිළි පිරිසගේ සහයෝගය මට ලැබුණා. චිත්‍රපටයේ පසුබිම් සංගීතය හා ගීත දෙකකට සංගීතය නිර්මාණය කළේ රෝහණ වීරසිංහයන්.

තේමා ගීතය නිර්මාණය කළේ දිනේෂ් සුබසිංහ. කැමරා අධ්‍යක්ෂණයෙන් පුෂ්පකුමාර රාජගුරු, උපුල් ප්‍රභාත් සහ චන්දන ජයසිංහයි සහාය වුණේ. සහාය අධ්‍යක්ෂණයෙන් ඩොනල්ඩ් ජයන්තත් සහභාගි වුණා. විශේෂයෙන්ම මෙහි අර්ථපතිත්වය දැරූ පර්ලි විජේතුංග, සුනේත්‍රා බාලසූරිය, හර්ෂ ගමඇතිගේ, වෛද්‍ය අසේල අමරසිරිත් සිහිපත් කරන්න ඕනෑ.

ඔබ හඳුන්වා දුන් පූජා උමාශංකර් අද වන විට ලාංකේය සිනමාවේ දිගු ගමනක නිරත වෙනවා. ඒ ගැන මොකද ඔබට හිතෙන්නේ?

ඒ ගැන මම බොහොම සතුටකින් ඉන්නේ. පූජා කියන්නේ් අද ලංකාවට නැතිවම බැරි නිළියක්. ලංකාවේ ජනප්‍රියම නිළියක් බවට පූජා පත් වෙලා. රංගනයේදී දිගු ගමනක් ඈට තිබෙනවා. ඇය සෑම තැනකදීම මගේ හඳුන්වාදීම ගැන සඳහන් කරනවා. ඈ ළඟ කෘතවේදී ගුණය තවමත් තිබෙනවා.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2014 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]