පුවත්පත් කලාවට ජීවිතයම කැප කළා

පුවත්පත් කලාවට ජීවිතයම කැප කළා

 ප්‍රවීණ මාධ්‍ය‍වේදී - ප්‍රේමසිරි අබේසිංහ

නව විදු බල මහිම පරදා බල ගතුව
ඉරහඳ සකල සක්වල තරණෙහි යුතුව
ඇතිවිට ‍ඔබේ සිත ගුණ දහමට නතුව
ගිරිහෙල්වල ද ගිය හැක සැරයටි නැතුව

බටහිර අහසේ රත් පැහැය කෙමෙන් කෙමෙන් වියැකෙද්දී ,හිරු නින්දට යන්නට සූදානමින් බැස යන්නට විය. “සිංහ මැදුරේ” පසෙකට වන්නට තනා ඇති බුදු කුටියේ දල්වා ඇති පහන් සිල අවට අඳුර පළවා හරිද්දී ,සුවඳ දුමින් නැගි සිහින් දුමාරයෙන් පරිසරය සුවඳවත් වූයේ ශාන්ත බවක් එයට එක්කරමින් ය.

සිහින් හඬින් පන්සිල් ගෙන ගාථා මැතුරූ ඔහු ,බුදු කුටියෙන් ඉවතට පා එසවිය. තවත් මොහොතකින් අත රැඳුණේ හිස් කොළයක් සහ පෑනකි. දම් රසයේ සුවයෙන් සැනැහී ගිය සිත සමාධිගත වූ ‍සෙයකි. සැඳෑ සමයේ වුව ද වාරුවට සැරයටි වුවමනා නැත. ඒ සිත ගුණ දහමට නතු වූ නිසා ය. ඔහුගේ දෑතින් කවි පේළියක් පබැඳුණේ එලෙසිනි. ඔහු ප්‍රේමසිරි අබේසිංහ නම් විය.

සහජ කලා කුසලතා උරුම කරගත් දුර්ලභ ගණයේ පුවත්පත් කලාවේදියකු වූ ප්‍රේමසිරි අබේසිංහ මහතා ,විවිධ සමාජීය, ආගමික හා සංස්කෘතික සංවිධානයන්ට සම්බන්ධව පරාර්ථ සේවයෙහි යෙදුණු සැදැහැවත් බෞද්ධයකු ලෙස ද, බුදුසරණ පත්‍රයේ හිටපු කර්තෘවරයා ලෙස ද මෙරට සිංහල බෞද්ධ ජනතාවගේ ධර්ම ඥානය වර්ධනය කිරීමටත්, චරිත ශක්තිය වර්ධනය කිරීමටත් ඇප කැප වූ අයෙකි. දැනට අසූවැනි වියේ සිටින ඔහුගේ සිත අතීත ආවර්ජනයක යෙදුණේ ඔහුට අමතක නොවූ මතක බි‍ඳෙන් බිඳ තෙපළමිනි.

“මම ඉපදුණේ 1934 ජනවාරි 8 වැනිදා පොල්ගස්ඕවිට කහතුඩුවේදී. එක් සහෝදරියක් සහ පිරිමි තුන්දෙනෙක් සිටි අපේ පවුලේ බාලයා වුණේ මමයි. මගේ පියා ඉඩම් හිමි වැවිලිකරුවෙක්. ඔහු පබිලිස් අබේසිංහ. අම්මා පාදුක්කගේ ජේන්නෝනා. ඇය ගෘහණියක්. අපේ පවුලේ අපි හැමෝම හරි සමගියෙන් කාලය ගතකළා.

මගේ ළමාවිය හරි සුන්දරයි. මම හොඳයි වගේම ටිකක් දඟයි කියලා අම්මාත් මට ඒ කාලේ කියනවා. ඒත් තාත්තාවත්, අම්මාවත් නිකරුණේ මට තරවටු කරලා නැහැ. අපේ නිදහස අපට දීලා තිබුණේ. හැමදාම පාසලට මාව එක්ක ගියේ මගේ අම්මා.”

සිහින් තෙතමනයක් ඔහුගේ වියපත් දෑසේ වියළි බව මඳකට නැති කිරීමට සමත්විය. යළිත් මුහුණේ ඇඳුණේ ළමාවියේ දඟකාරකම් සිහිවීමෙන් ලද තෘප්තිමත් සිනහවයි.

“මම මූලික අධ්‍යාපනය ලැබුවේ කහතුඩුව කනිටු විදුහලෙන්. හයවන පන්තිය දක්වා එම පාසලෙන් ඉගෙන ගත්තා. අම්මා උදේට මාව පාසලට එක්ක ගියත් දවල්ට ගෙදර එන්නේ යාළුවෝ එක්ක. යාළුවෝ ටික එකතු වෙනකම් කීය වෙනකම් හරි ඉන්නවා. ඒ දවස්වල කැලේ ගස්වල ගෙඩි හැදුණේ අපි වෙනුවෙන්මයි. ඒවා පැහෙන පරක්කුවට අපේ බඩේ. ඇළේ දොළේ බැහැලා ඇතිවෙනකම් නටනවා. ඒ මොනවා කළත් පාසල් වැඩ අතපසු කළේ නැහැ. හැමදාම සවසට ශබ්ද නඟා කවි, ගාථා කිව්වා.”

සත්වැනි ශ්‍රේණියේ සිට පුංචි ප්‍රේමසිරි අධ්‍යාපනය ලැබුවේ කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයෙන්. ජ්‍යෙෂ්ඨය දක්වාම එහි ඉගෙනීම ලැබූ ඔහුට ආචාර්ය ඊ. ඩබ්ලිව්. අදිකාරම් මහතාගෙන් ලැබූ අවවාද, උපදෙස් පුංචි සිතේ පැළපදියම් වුණේ දැඩි අධිෂ්ඨානයකුත් එක්කයි. අදිකාරම් මහතාගේ පොත්වල සිංහල භාෂාව යොදා ඇති රසවත්භාවය නිසාම, මමත් අනාගතයේ ලේඛකයෙක් වෙමි කියන හැඟීම ඇතිවුණා.

“ආනන්ද ශාස්ත්‍රාලයේ ඉගෙන ගන්න කාලේ මම පුවත්පත්වල ළමා පිටුවලට කවි, ලිපි ලිව්වා. අපේ ගමේ පන්සලේ ශ්‍රී නන්දනාරාමයේ දොරකඩ අස්න කීමටත් මට අවස්ථාව ලැබුණා.

ජ්‍යෙෂ්ඨ පාඨශාලා සහතික පත්‍ර විභාගය සමත් වීමෙන් පස්සේ මම හොරණ විද්‍යාරත්න පිරිවෙනට ඇතුළත් වුණා. එහි ‍ඉගෙන ගන්න කාලේ ඉගෙනීමට අමතරව බාහිර ක්‍රියාකාරකම්වලටත් සෑහෙන්න සම්බන්ධ වුණා. හිටිවන කවි කියන්න හැකියාව තිබුණ නිසා ම කවි මඩුවල මුලසුන ගන්න මට හැකි වුණා.”

“මේ ළමයාට ලේඛන කලාව පිහිටා තිබෙනවා. ආරම්භය හොඳයි. මම යෝජනා කරනවා පිරිවෙනේ බිත්ති පුවත්පතක් අරඹන්න. මේ ළමයා එහි සංස්කාරක ලෙස මම පත්කරනවා.” එදා සිංහල ශබ්ද කෝෂයේ සම්මාන කර්තෘ හොරණ වජිරඤාණ හිමියෝ එසේ පැවසුවේ ප්‍රේමසිරි ශිෂ්‍යයා ලියූ එක් රචනාවක් ඇස ගැටුණු නිසායි. අරඹන ලද බිත්ති පුවත්පත සතිපතා පළ වුණා. එහි කවි, කෙටිකතා ලිවීමට ‍පිරිවෙනේ ගිහි පැවිදි ශිෂ්‍යයෝ යොමු වූණා. සංස්කාරක ලෙස ප්‍රේමසිරි ද සිය කාර්යය මනා සේ ඉටු කළා.

නෑ හිත මිතුරන් හා එක්ව

“මේ බිත්ති පුවත්පත නිසා පිරිවෙනේදී ලේඛකයකු වශයෙන් නමක් දිනාගන්න මට හැකි වුණා. පිරිවෙන් අවසන් විභාගයෙන් හොඳින් සමත් වුණා. මේ කාලේ මගේ කවි, ලිපි ප්‍රධාන පුවත්පත්වල පළවුණා.

පිරිවෙන් අධ්‍යාපනයෙන් පස්සේ පොල්ගස්ඕවිට ලංකාදීප වාර්තාකරු විදිහට පුවත්පත් කලාවට සම්බන්ධ වෙන්න මට හැකි වුණා. ඊට පස්සේ දවස පුවත්පතේ සෝදුපත් අංශයේ නියෝජ්‍ය ප්‍රධානී ලෙස මට පත්වීම ලැබුණා. ඒ කාලේ ඩී. බී. අබේසිංහ කියන මහා පුවත්පත් කලාවේදියා ඇතුළු ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදීන් රැසකගේ ඇසුර මට ලැබුණා.”

දවස පුවත්පත් ආයතනය වසා දැමීමෙන් පසු ප්‍රේමසිරි මහතා සියරට පුවත්පතේ උප කර්තෘවරයෙක් ලෙස සේවයට බැඳුණා. ඒ 1972 වසරේදී. එහි වසර 4 ක් පමණ සේවය කිරීමෙන් පසු 1977 දී පත්තර මහගෙදර දිනමිණ පුවත්පතේ උප කර්තෘ ලෙස පත්වීම ලැබුණා.

“මාව දිනමිණට ගත්තේ එස්මන් වික්‍රමසිංහ මහත්තයා. ඒ කාලේ මාව පාරේදි දැක්කත් ඔහු මාව කාරයට නංවාගෙන ගිහින් බහින තැනදි මගේ අතට රු. 2 ක් හෝ 5 ක් දෙනවා තේ බොන්න කියලා. ඒ කාලේ දිනමිණේ ප්‍රධාන කර්තෘ ලෙස හිටියේ එඩ්මන් රණසිංහ මහතායි.

දිනමිණේ මම අවුරුදු 2 ක් හිටියා. දිනමිණ ඔහුගේ ජීවිතයට විශාල පන්නරයක් ගෙන ආ තැනක් වුණා. බුදුසරණ කර්තෘ තනතුර සඳහා ඇතිවූ පුරප්පාඩුවට ප්‍රේමසිරි මහතා ද අයදුම් කළේ එතරම් වුවමනාවකින් නෙමෙයි.වෙනත් අයගේ ඉල්ලීම පිටයි.

“මම කොහොමත් බෞද්ධ ආගමට ලැදි කෙනෙක්. බොහෝ දෙනාගේ ඉල්ලීම පිට මම ඒ තනතුරට ඉල්ලුම් කළා. එදා ඒ තනතුරට විසිඑක්දෙනෙක් අයැදුම්පත් යොමු කර තිබුණා. සම්මුඛ පරීක්ෂණයේදී එවකට ලේක්හවුස් සභාපති රණපාල බෝධිනාගොඩ මහතා ධම්මපදයේ ගාථාවක් කියා අරුත පැහැදිලි කරන්න කීවා. එතැනදි මට විතරයි ගාථාවක් කියන්න පුළුවන් වුණේ. මම කර්තෘ ධුරය බාරගත්තේ 1981 දී. අවුරුදු 18ක් මම එම තනතුරු දැරුවා. බුදුසරණ කියන්නේ මේ වෙනකොට හොඳ අලෙවියක් තිබුණු පුවත්පතක්.

බිරිය සෝමා තලගල හා පුතු නිහාල් සමඟ

මම කර්තෘ වුණාට පස්සේ කුලඟන පිටුව නමින් කාන්තාවන් වෙනුවෙන් වෙනම පිටුවක් ආරම්භ කළා. ඒ සඳහා ඉහළ ප්‍රතිචාර ලැබුණා. දහම් පාසල් පිටුවත්, විභාග වෙනුවෙන් ප්‍රශ්න, උත්තර පිටුවත් සකස් කළා. ඒවා බොහෝම ජනප්‍රිය වුණා. මිහින්තලේ ආලෝක පූජාව ඒ වසර 18 පුරාවටම මම සංවිධානය කළා.

මට මතකයි ජයශ්‍රී මහා බෝධීන් වහන්සේට කොටි ගැහැව්ව දවස්වල ආලෝක පූජාව කරන්න මම ගියේ දිවි පරදුවට තියලයි. ඒ ගමනට එවකට සේවක මණ්ඩල කළමනාකරු ට්‍රිරල් ප්‍රනාන්දු, ආයතනයේ ලේකම් චන්ද්‍රසේකර සහ මම ඇතුළත් වුණා. සමහරු කිව්වා උඹලට එන්න වෙන්නේ පෝර උරවල තමයි කියලා.

ආයතනයෙන් අපිව යැව්වේ රු. ලක්ෂ පහකට අපිව රක්ෂණය කරලයි. එහේ ගිහින් අපට නිදාගන්න වුණේ මඩුවල. කොටි ආව නම් එදා අපිව මරනවා. ඒත් ලේක්හවුස් සම්ප්‍රදාය රැක ගන්න ජීවිතය ගැනවත් හිතන්නේ නැතිව අපි මිහින්තලේ ගියා.

ප්‍රිය බිරිය සමඟ

“ඔහුට අතීතයේ බොහෝ දේ මතක ය. ඒ අතීතයේ සුවඳ සමඟ ඔහුට කියන්නට බොහෝ දේ තිබුණි.

ලේක්හවුස් බෞද්ධ සංගමය ආරම්භ කර එහි ආරම්භක ලේකම්වරයා ලෙස ලේක්හවුසිය ඉදිරිපිට භක්ති ගීත සහ වෙසක් කූඩු ප්‍රදර්ශන ආරම්භ කළ අයුරු සිහිපත් කරන්නේ දැඩි භක්තියකිනි.

බුදුසරණ පුවත්පතේ පස්වැනි කර්තෘ ලෙසත්, වැඩිම කාලයක් එම තනතුරේ සිටි කර්තෘවරයා ලෙසත් ප්‍රේමසිරි මහතාට ඇත්තේ විශාල අත්දැකීම් රැසකි.

බුදුසරණ පුවත්පතින් පසු මම සිංහල බෞද්ධයා පත්තරේ කතුවරයා ලෙස පත්වුණා. ශ්‍රී ලංකා වෘත්තීය පත්‍රකලාවේදීන්ගේ සංගමයේ සභාපති තනතුර වසර 2 ක් දැරුවා. පසුව විවිධ අමාත්‍යවරුන්ගේ මාධ්‍ය ලේකම්වරයා ලෙස වැඩ කරන්න මට ලැබුණා. ඒත් මගේ හිත තිබුණේ පත්තර රස්සාවෙමයි.

ඒ කාලේ දිනමිණේ වැඩ කරනකොට අද වගේ පරිගණක පිටු සැලැසුම් තිබුණේ නැහැ. ඊයම්වලින් තමයි අකුරු ගැහැව්වේ. ලී අකුරු, ලයිනෝ අකුරු ඒ කාලේ තිබුණේ. ඒ කාලේ පිටු හැදුවේ බාසුන්නැහැලා. හෙඩිමක් දාන්න ඕනේ එකපාරින්. නැවත නැවත වැරැදි හද හදා අකුරු ගහන්න බැහැ. මම ලේක්හවුස් එකේ ගතකරපු කාලේ තමයි සුවදායකම හා තෘප්තිමත්ම කාලේ.”

කලාභූෂණ සම්මාන ලැබූදා

පුවත්පත් කතුවරයකු, ලේඛකයකු පමණක් නොව, ඔහු ඉන් පසු කවියකු බවට ද පත්විය. කවි සෙවණ, උපහාරය ඔහු පළකළ කවි සඟරා විය. මී වදයට කවි ලියූ ඔහුට, අගනුවර තරුණ කවි සමාජයෙන් කිවිපති සම්මානය ද පිරිනැමිණ.

කලාභූෂණ සම්මානය, මල්වතු පාර්ශ්වයේ මහා සංඝ සභාවෙන් පිරිනැමූ බෞද්ධ පත්‍ර කලාශූරී සම්මානය ද ඔහුට හිමි වුණා.පසුව ඔහු සමාදාන විනිශ්චකාරයකු බවට ද පත් විය.

ජාතික කවි මණ්ඩලයෙන් දේශමාන්‍ය, දේශබන්ධු හා ආචාර්ය සම්මානය ද ඔහුට හිමි වුණි. රැකියාවෙන් විශ්‍රාම ගිය ද ලේඛන කලාවට විශ්‍රාම නොදුන් ප්‍රේමසිරි මහතා ,මීපාගම මවුපිය සෙවණ, යහමඟට සිතුවිලි නමින් කෘති ද රචනා කළේ ය.

“අද මම ගෙවන්නේ මගේ ජීවිතයේ සැඳෑ සමයයි. මගේ එක ම පුතාත් පත්තර කලාවට සම්බන්ධ කතුවරයෙක් වීම මට ලොකු ආඩම්බරයක්. මගේ බිරිය සෝමා තලගල 1956 දී විවාහ වූ තැන් සිට මේ දක්වාම මගේ සෙවණැල්ල වගේ ළඟ ඉන්නවා.

ඇය මට විශාල ශක්තියක්. ඒ වගේම මගේ පුතාත්, ලේලිය හා මිනිබිරියත් සමඟ ගෙවන ජීවිතේ ඉතා ම සන්සුන්. මම අපේක්ෂා කළ සියලු දේ ඉටුවුණා.

බුද්ධ දර්ශනය පාඨකයා අතරට ගෙනිහිල්ලා මට අවශ්‍ය කරන මහජන සේවාව කරන්න මට අවස්ථාව ලැබුණා. මහ ජනතාවට විශාල මෙහෙවරක් කරලා ජීවිතේ සැඳෑ කාලය බොහොම සතුටින් ගතකරනවා. පත්තර ජීවිතේ ගැන මම තෘප්තිමත්.

වසර 50 කට අධික කාලයක් ගෙවී ගිය ඔහුගේ ලේඛන කලාව තවම වියපත් නොවේ. විවේකයක් නොලබා පුවත්පත් කලාවට ජීවිතයම කැප කළ ඔහුත්, පෑන් තුඩත් අද විවේක සුවයෙන් හිඳ ලියයි.

නරකින් නොමඟ ගිය සිත යහ මඟට යොදා
අඳුරෙන් එළිය දැකුම ද සැනැසුමකි සදා
අදමින් සිය වසක් කුමට ද ලොවෙහි රඳා
දහමෙන් ගෙවන දිවියේ එක දවස හොඳා


කවියට තවමත් පෙම්බඳින ඔහුට නිදුක් නිරෝගී සුවය පතනෙමු.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා