අතීතයෙන් ඇසුණු කතා

අතීතයෙන් ඇසුණු කතා

පරාජයෙන් කම්පිතව ලියවුණු කවි

රාජ්‍ය මන්ත්‍රණ සභාවේ හොරණ කොට්ඨාසය සඳහා 1931 තරග කරන්නට ඉදිරිපත් වූයේ කෝට්ටේ පදිංචිව සිටි අධිනීතිඥ ඊ. ඩබ්ලිව්. පෙරේරා මහතාය. ජාතික නිදහස් සටනට ශක්තිය, ධෛර්ය දෙමින් පෙරමුණගත් නායකයන් අතර, අධිනීතිඥ ඊ. ඩබ්ලිව්. පෙරේරා මහතාට ද අති විශේෂ ස්ථානයක් හිමිවේ.

එංගලන්තයේ ජෝර්ජ් රජු වෙත සපත්තුව අස්සේ සඟවාගෙන රහසිගතව සංදේශයක් රැගෙන ගිය අභීත ජාති හිතෛෂී නායකයෙකු වශයෙන් ඔහු සුප්‍රකටව සිටියේය. මේ ජනහිතවාදී පදනම නිසා අධිනීතිඥ ඊ. ඩබ්ලිව් පෙරේරාට තිහේ දශකයේ දී මුළු රට පුරාම ජනප්‍රියතාවක් තිබුණි.

ඊ. ඩබ්ලිව්. පෙරේරා සමඟ ඡන්ද පොරයට ඉදිරිපත්වූයේ ඉඩම් හිමි වැවිලිකරුවකු වූ එෆ්. ඒ. සී. තිරිමාන්න මහතා ය. එකල අද මෙන් පක්ෂ ක්‍රමයක් නැත. අපේක්ෂකයින් සඳහා වර්ණයක් ලබා දී තිබුණි. ඒ ඒ අපේක්ෂකයාට හිමි වරණය සහිත පෙට්ටියට ඡන්ද සලකුණ පත බහාලීමට එම ක්‍රමවේදය විය. ඡන්ද සටන ඉතා තියුණු විය. ප්‍රතිඵල මෙසේ ය.

අංක 13 හොරණ
ඊ.ඩබ්ලිව්. පෙරේරා - 17933
එෆ්.ඒ. සී. තිරිමාන්න - 5501
වැඩි ඡන්ද - 12,432

හොරණ මන්ත්‍රී ඊ.ඩබ්ලිව් පෙරේරා සතියකට දින දෙකක් පමණ හොරණට පැමිණියේය. ඔහු හොරණට පැමිණි පසු මාහේනේ අතුකෝරල මහතාගේ නිවසෙහි (වත්මන් නීතිඥ සිසිල් අතුකෝරල මහතාගේ පියා) නතර වූයේය. ඡන්ද දායකයින්ගේ හමුවීම් එහිදී සිදුකෙරිණි. අධිනීතිඥ ඊ. ඩබ්ලිව්. පෙරේර‍ා මහතාගේ හොරණ සම්බන්ධිකාරක වූයේ අධිනීතිඥ ඒ.පී. ජයසූරිය මහතා ය.

රාජ්‍ය මන්ත්‍රණ සභාවේ දෙවැනි මැතිවරණය 1936 දී පැවැත්වුණි. හොරණ ඡන්ද කොට්ඨාසය සඳහා ඊ. ඩබ්ලිව්. පෙරේරා මන්ත්‍රී සමඟ ඡන්දයට ඉදිරිපත්වූයේ ඔහුගේ සම්බන්ධීකාරකව සිටි අධිනීතිඥ ඒ.පී. ජයසූරිය මහතාය. සියනෑ කෝරළයෙන් හොරණට පැමිණි ඒ. වී. ජයසූරිය මහතා එකල හොරණ ස්ථිර පදිංචිකරුවකු ව සිටියේය. ඔහු පදිංචිව සිටියේ හොරණ රෝහල අසල දැනට ජයසූරියවත්ත යැයි සඳහන්) සුවිසල් සුන්දර නිවසෙහිය.

ඡන්ද විමසීම නියමිත දින‍යේ 1936 පෙබරවාරි 24 දා පැවැත්විණි. මෙයයි ප්‍රතිඵලය.

ඒ.පී. ජයසූරිය - 20074
ඊ.ඩබ්ලිව්. පෙරේරා - 12905
වැඩි ඡන්ද -7169

කෝට්ටේ සිංහයා යැයි විරුදාවලිලත් ඊ.ඩබ්ලිව්. පෙරේරා මහතා වැඩි ඡන්ද 7169 න් පරාජයට පත්වීම ගැන දැඩි කම්පනයට ලක්වූ ජාති හිතෛෂියෙකු විසින් ඔහුගේ ශෝකය දරා ගත නොහැකිව කවි පෙළක් ම “දිනමිණ” පුවත්පතට යොමු කළේය. ඒ කවි පෙළ 1936 පෙබරවාරි 28 වැනිදා දිනමිණ පත්‍රයේ විශේෂ තැනක පළ කර තිබුණි. ඉන් කවි දෙකක් අපි නැවත සිහිපත් කරමු.

පෙරේරා මැතිඳු ඊ.ඩබ්ලිව්. හොරණ
පෙරේදා අසා ඒ පුවත පැරදූන

තරේ වැඳුණු සෝකෙන් හුණුව දෙන යන
පෙරේ තවම කඳුලැලි ජාති ආලෙන
පත්වූ මැතිවරුනි මේ වර මැති සබෙට
ඇත් නම් බිඳක්වත් ආලය දැය රටට
අත හැර තම අසුන කිසිවෙක් මේ මැතිට
අත් කර දෙනු මැනවි එය හැකි ඉක්මනට

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා