කපුවා කපෝති නාටකය රඟ දක්වනවා

සීසීකඩ යන විපක්ෂය

කපුවා කපෝති නාටකය රඟ දක්වනවා

* මහින්දට තුන්වරක් බෑ කියන අයම අද චන්ද්‍රිකා පොදු අපේක්ෂිකාව කරන්න හදනවා

*  බලයේ සිටින ඇතැම් රාජ්‍ය නායකයන්ගේ ජනප්‍රියත්වය පිරිහුනත් ජනපති මහින්දගේ ජනප්‍රියත්වය ඉහළටම

* ජනපතිවරයා අපේ රට ජාත්‍යන්තරය ඉදිරියේ ගෙන ගිය දුර නිසාම ඔහු වෙනුවෙන් පෙනී සිටීම වගකීමක්

ඇමැති ඩලස් මාතර සන්ධාන මෙහෙයුම් කාර්යාලය විවෘත කරමින් කියයි

මහින්දට තුන්වරක් බෑ කියල තර්ක කරන අයම පොදු අපේක්ෂිකාව ලෙස චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ගේන්න සාකච්ඡා කරන බවත්, සීසීකඩ යන විපක්ෂය කපුවා කපෝති නාට්‍ය රඟමින් සිටින බවත් යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රකාශ කෙළේය.

බල‍යේ සිටින රාජ්‍ය නායකයන්ගේ ජනප්‍රියත්වය පිරිහෙමින් තිබුණත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා‍ගේ ජනප්‍රියත්වය එන්න එන්නම ඉහළ ගොස් ඇතැයි කී ඇමැතිවරයා විපක්ෂයට එය දරාගත නොහැකිව නොයෙක් මතවාද හා පොදු අපේක්ෂක කතා කියමින් සිටින බව කීය.

ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජාතික මැතිවරණයන් සම්බන්ධයෙන් මාතර දිස්ත්‍රික්කයේ එක්සත් ජනතා සංවිධානයේ ප්‍රධාන මෙහෙයුම් කාර්යාලය විවෘත කිරීමෙන් අනතුරුව පැවති උත්සවයේදී ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කෙළේය. මේ මෙහෙයුම් කාර්යාලය මාතර නගර මධ්‍යයේ පිහිටි දෙමහල් ගොඩනැගිල්ලක් ස්ථාපිත කර තිබේ.

ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා මෙසේ ද කීය.

අද අපි සියලූ දෙනා එකතු වුණේ ජාතික මැතිවරණයක් සම්බන්ධයෙන් වූ මාතර දිස්ත්‍රික්කයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රධාන මැතිවරණ මෙහෙයුම් කාර්යාලය විවෘත කරන්නයි. ඒ වෙනුවෙන් මාතර නගරයේ මේ වටිනා ගොඩනැගිල්ල නොමිලයේ ලබාදුන් වජිර හෙට්ටිආරච්චි මහතා ප්‍රමුඛ පවුලේ සැමට ප්‍රණාමය පුදකර සිටිනවා.

ආසන මට්ටමිනුත් මැතිවරණ මෙහෙයුම් කාර්යාල ආරම්භ කිරීමට කටයුතු කරමින් සිටිනවා. අද දිනය වන විට ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කර නොමැති වුණත් ඉතාම නුදුරු දිනයකදී එය ප්‍රකාශයට පත්කිරීම මේ වන විට රහසක් නොවෙයි. එහිදී ජනාධිපති මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් අපි සැම දෙනා සහාය ලබාදිය යුතුයි.

1982 සිට 2010 දක්වා පැවති ජනාධිපතිවරණයන් පිළිබඳ ආපසු හැරී බැලීමක් කරන්න මම කැමතියි. 1982 දී එක්සත් ජාතික පක්ෂයෙන් ජේ.ආර් ජයවර්ධන මැතිතුමන් හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් හෙක්ටර් කොබ්බෑකඩුව මැතිතුමන් තරග කළා.

1989 දී ආර් ප්‍රේමදාස මැතිතුමත්, සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියත් තරඟ කළා. 1994 දී ශ්‍රීමා දිසානායක මැතිනිය සමඟ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පොදු ජන එක්සත් පෙරමුණ ලෙස චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය තරඟ කළා. 2005 දී නැවත එක්සත් ජාතික පක්ෂයෙන් රනිල් වික්‍රමසිංහ මැතිතුමත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සංධානයෙන් තරඟ කෙළේ වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතායි.

2010දී මහින්ද රාජපක්ෂ මහතාට එරෙහි පොදු විපක්ෂයක් ලෙස අපේ රටේ එකතු විය හැකි පුලූල්ම පෙරමුණ නිර්මාණය වුණේ. ඒ සඳහා එල්.ටී.ටී ඊ ඛෙදුම්වාදය පිළිගන්නා දෙමළ ජාතික සන්ධානයත්, ඊට එරෙහි දකුණේ ජනතා විමුක්ති පෙරමුණත්, වතුකරයේ තොණ්ඩමාන් මහතාත්, නැඟෙනහිර හකීම් මහතාත් සමඟ එක්සත් ජාතික පක්ෂය එකතු වී සිටියා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ ප්‍රගතිශිලී බලවේගයට එරෙහිව බෙදුම්වාදය වෙනුවෙන් ජාතික හා ජාත්‍යන්තර වශයෙන් පෙනී සිටින සියලුම දෙනා එකතුවී මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට එරෙහිව එදා සරත් ෆොන්සේකා මැතිතුමා ඉදිරිපත් කළා.

මේ ජනාධිපතිවරණ 06 න් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ ප්‍රගතිශිලී කදවුරේ අපේක්ෂකයා මාතර දිස්ත්‍රික්කයෙන් පරාජය වී තිබෙන්නේ 1983 දී පමණයි. ඒත් වැඩි ඡන්ද 20638 කින්. එදත් ජේ.ආර් ජයවර්ධන මහතාට මාතර දිස්ත්‍රික්කයෙන් 50% ගන්න පුළුවන් කමක් ලැබුණේ නෑ. 49% ක් පමණක් ජේ.ආර්.ජයවර්ධන මහතා ගන්නා විට අපේ පක්ෂයේ අපේක්ෂකයා වූ හෙක්ටර් කොබ්බෑකඩුව මැතිතුමා 43% ගත්තා.

එයට පසු සෑම ජනාධිපතිවරණයකදීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ ප්‍රගතිශීලි කදවුරේ අපේක්ෂකයා මාතර දිස්ත්‍රික්කයෙන් ජයග්‍රහණය කර ති‍බෙනවා. 1989 දී සිරිමාවෝ මැතිනිය මාතර දිස්ත්‍රික්කයෙන් 54% ක් ගන්නා විට මැතිවරණය ජයග්‍රහණය කළ ආර්.ප්‍රේමදාස මහතාට ලබා ගැනීමට හැකිවූයේ 42% ක් පමණයි.

1994 දී චන්ද්‍රිකා මැතිනිය මාතරින් 64% ක් ගන්නා විට ශ්‍රීමා දිසානායක මැතිනියට ලැබුණේ 33% යි. 1999 දී චන්ද්‍රිකා මැතිනියට 54% යි.රනිල් වික්‍රමසිංහ මහතාට 36% යි. 2005 දී මහින්ද රාජපක්ෂ මහතාට මාතරින් 61% යි. රනිල් වික්‍රමසිංහ මහතාට 37% යි . සරත් ෆොන්සේකා මහතාට 31% යි.මහින්ද රාජපක්ෂ මහතාට එරෙහි පුළුල්ම විපක්ෂයේ පෙරමුණ නිර්මාණය වූ වෙලාවේ එතුමා වැඩි ඡන්ද ලක්ෂ 18 කින් ජයග්‍රහණය කළා.

මීට මාස 06 කට පෙර දකුණු සහ බස්නාහිර පළාත් සභා මැතිවරණ පැවැත්වුණා. ඒ මැතිවරණයේදීත් මාතර දිස්ත්‍රික්කයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය 59% ක් ඡන්ද ලබාගත්තා. මාතර දිස්ත්‍රික්කයේ ජනතාව තමන්ගේ සුහදශීලී බව, ලෙන්ගතු කම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා වෙනුවෙන් ප්‍රදර්ශනයකෙළේ එහෙමයි.

ඒ නිසාම ඉදිරියේදී කුමන මොහොතක ජනාධිපතිවරණය එළඹුනත් මාතර ප්‍රගතිශිලී ජනතාව තම යුතුකම ඉටුකරනවා.නීතිය ඉදිරියේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ අපේක්ෂකත්වය හා තුන්වන වර ඉදිරිපත් වීම සම්බන්ධයෙන් විවිධ තර්ක මතුවෙනවා. ඇතැම් අය එම ගැටලුව ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ විභාග වන නිසා අදහසක් ප්‍රකාශ කළ නොහැකි බව කියනවා.

කොහොම වුණත් මහින්ද රාජපක්ෂ මහතාට තුන්වන වරට ඉදිරිපත්වෙන්න බැරි බව කියන අයම පොදු අපේක්ෂකයෙක් ලෙස චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනිය ඉදිරිපත් කරන්න උත්සාහ කරනවා. මහින්ද මහත්තයට බයවෙලා තියෙන ප්‍රමාණයේ තරමත්, දෙබිඩි පිළිවෙතත් අපි තේරුම් ගත යුතුයි.

විපක්ෂය මේ වෙලාවේ සීසී කඩ යමින් තිබෙනවා. ඔවුන් කියනවා කපුවාට දොස් කියන්න බැහැ කියලයි. ඔවුන්ගේ මෙ දිනවල අලුත්ම නාට්‍යය කපුවා කපෝති නාට්‍යයි.අපි මහින්ද රාජපක්ෂ මහතාට ගෞරව කරන්නේ ඔහු මාතර ඉපදුන නිසාවත්, අල්ලපු හම්බන්තොට දිස්ත්‍රික්කයේ දේශපාලන නායකත්වය දරපු නිසාවත් නොවෙයි. ඔහු අපේ පක්ෂයේ නායකයා නිසාවත්

නෙවෙයි. රටේ ජනාධිපතිවරයා නිසාවත් නෙවෙයි. ඔහු අපේ රට කැදවාගෙන ගොස් තිබෙන්නේ කොතනටද?

ජාත්‍යන්තරය ඉදිරියේ අපේ රටට හිමිකර දී තිබෙන තැන මොකක්ද? ඒ සම්බන්ධයෙන් අපි කල්පනා කරද්දී මහින්ද මහත්තා වෙනුවෙන් පෙනී සිටීමේ ජාතික වගකීමක් හා යුතුකමක් දේශහිතෛශී සියලු දෙනාටම තිබෙනවා.

රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු ඇමැති ජොන් සෙනෙවිරත්න මහතා මෙසේද කීය.

රාජ්‍ය මන්ත්‍රණ සභා කාලයේ සිටම මාතර දිස්ත්‍රික්කයේ ජනතාව ප්‍රගතිශිලී බීජ වපුරලා රෝපණය කල පැළ අද විශාල වශයෙන් අතු පතර විහිදූ වැඩුණු වෘක්ෂයන් බවට පත්ව තිබෙනවා. අද වන විට මාතර දිස්ත්‍රික්කය දකුණු පලාතේ ප්‍රගතිශිලීම දිස්ත්‍රික්කය බවට පත්ව තිබෙනවා.

ලබන වර්ෂයේ මුල ජනාධිපතිවරණයක් පැවැත්වීමේ ලක්ෂණ අපි මේ වසරේ මුල සිටම දුටුවා. ධුර කාලයට වසර 04 ක් එළඹුන විට ජනාධිපතිවරණයක් පවත්වන බව ජනාධිපතිතුමා මේ වසරේ මුල සිටම ඉඟියෙන් මෙන් ප්‍රකාශ කර තිබුණා.

විපක්ෂය මේ වසරේ මුල සිටම ජනාධිපතිවරණයක් පැවැත්වෙන බව ප්‍රකාශකරමින් එයට සූදානම් වුණා.මේ වනවිට විපක්ෂය අර්බුධ රැසකට මුහුණ දී තිබෙනවා. රනිල් වික්‍රමසිංහ මහත්තයා එනවට ඒ පක්ෂයේ කොටසක් විරුද්ධයි. කරූ ජයසූරිය මහත්තයා එනවට සජිත් ප්‍රේමදාස මහත්තයා විරුද්ධයි.

ඒ නිසා එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් අය චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය ගේනන් උත්සාහ කරනවා. ජනාධිපතිතුමා පරාජය කරන්න බැරිබව දන්නා තවත් පිරිසක් මහින්දට තුන්වරක් බෑ කියල සරත් සිල්වා මහතා සමඟ ප්‍රචාරයක් ගෙනියනවා. එහෙම කියන ගමන් චන්ද්‍රිකා මැතිනිය ගේන්න හදනවා. අපි මේ පිළිබඳ කලබල විය යුතු නැහැ.

මහින්ද මහත්තයා පළමුවර දිනුවේ වැඩි ඡන්ද 1,83000. එය දෙවන වර ලක්ෂ 18 කින්. මෙය ලෝකයේ කොහේවත් වෙන දෙයක් නොවෙයි. සෑම තැනම නායකයන් බලයේ ඉන්නා විට ජනප්‍රියත්වය අඩුවෙනවා. ඇමරිකාවේ බැරක් ඔබාමාටාත් වෙලා තිබෙන්නේ ඒ දේයි.

මාතර නගර සභාවේ උප නගරාධිපති, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ යසරත් කමල්සිරි මහතා ද මෙහිදී සන්ධානයේ සියලූ දේශපාලන පක්ෂ වෙනුවෙන් කතා කළහ.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා