එජාපයට අලුත් උප්පැන්නයකින් මැතිවරණවලට ඉදිරිපත්වීමට සිදු­වෙනවා

ජනාධිපතිවරණයෙන් පසු

එජාපයට අලුත් උප්පැන්නයකින් මැතිවරණවලට ඉදිරිපත්වීමට සිදු­වෙනවා

ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ

මීළග ජනාධිපතිවරණයෙන් පසු එක්සත් ජාතික පක්ෂයට සිය පක්ෂයේ නම සහ පක්ෂ මූලස්ථානය වෙනස් කර අලුත් උප්පැන්නයකින් යළි මැතිවරණවලට ඉදිරිපත් වීමට සිදුවන බව ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවැසීය.

මේ වන විටත් එක්සත් ජාතික පක්ෂයට සිය ලකුණෙන් සහ පක්ෂයෙන් අපේක්ෂයකු ඉදිරිපත් කර ජයග්‍රහණය කිරීමට නොහැකි වී ඇති නිසා වෙනත් ක්‍රමවේදයන් යොදා ගනිමින් පක්ෂය රැකගැනීමේ දැඩි සටනක නිරත වී සිටින බව හෙතෙම කීවේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ ඊයේ (12) පැවැති මාධ්‍ය හමුවේදි ඇමැතිවරයා එසේ ප්‍රකාශ කෙළේය.

මේ වන විට සියලුම දේශප්‍රේමී බලවේග ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තෙවැනි වරටත් බලයට ගෙනඒම සඳහා පෙළගැසී සිටින බවත් එය වැළැක්වීමට හැකි කිසිඳු පක්ෂයක් හෝ පුද්ගලයකු මෙරට නොමැති බවත් ඒ මහතා කියා සිටියේය.

මීට පෙර පැවැති ජනාධිපතිවරණයේදී පරාජය වු පසු තමන් වටා සිටී පිරිස් මැතිවරණ ප්‍රතිඵල නිකුත් කිරීමටත් පෙර තමා අතහැර පලාගිය බවත් තමන්ට අත් වු ඉරණම අත්කරගැනීමට කැමැති පුද්ගලයකු සිටී නම් පමණක් පොදු අපේක්ෂයකු ලෙස ඉදිරිපත් වන ලෙස ගියවර ඉදිරිපත් වු පොදු අපේක්ෂකයා ඉල්ලා සිටි අයුරු පසුගියවල මාධ්‍යවලින් දැක ගන්න ලැබුන බවත් අලුත්ගමගේ මහතා පැවැසීය.

පොදු අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වීමට යම් තරමකින් හෝ කැමැත්ත පළ පුද්ගලයන්ද මේ ප්‍රකාශයත් සමඟ සිය අඩිය පස්සට ගෙන ඇති බව පැවැසු ඒ මහතා ලාහට ගෙම්බෝ අල්ලන්නා සේ අපේක්ෂකයන් ඇල්ලීමට විපක්ෂයට සිදුව ඇති බව ප්‍රකාශ කෙළේය.

ඇමැතිවරයා මෙසේද කීවේය.

ගමට ගිහින් ගමේ ජනතාවගෙන් අහලා බලන්න ඒ අයට විධායක ජනාධිපති ක්‍රමය ගැන ප්‍රශ්නයක් තිබෙනවද කියලා. ඒ අයට තිබෙන්නේ වෙන ප්‍රශ්න. එතකොට විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න කියලා කෑ ගහන්නේ කවුද ?, ඇයි හදිසියේ මේ අයට විධායකය අහෝසි කරන්න ඕන වුණේ. මේ අයගේ පස්සේ ඉන්නේ ජාත්‍යන්තර බලවේග. එදා ඔවුන්ට බැරි වුනා ප්‍රභාකරන් බේරගන්න. ඒකට ප්‍රධාන හේතුව වුනේ විධායක බලතල සහිත ජනාධිපතිවරයකු සිටීම.

එම නිසා ඔවුන් උත්සහ කරනවා කොහොම හරි විධායකු ජනාධිපති ධූරය අහෝසිකර අපේ රට අස්ථාවර කරන්න. එහෙම වුණාම ඒ අයට අවශ්‍ය පරිදි අපේ රට නටවන්න පුළුවන්. මේ තත්ත්වය අවබෝධ කරගෙන ඉදිරි තීන්දු තීරණ ගන්න කියලා අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මේ අවස්ථාවට පරිසර හා පුනර්ජනනීය බලශක්ති ඇමැති සුසිල් ප්‍රේමජයන්ත, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ශේහාන් සේමසිංහ, තේනුක විදානගමගේ මහත්වරුන්ද සහභාගි වී සිටියහ.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා