2013-2014 ආනයනය කළ ටින් මාළු ප්‍රමාණය 37.7%කින් පහළ ගිහින්

වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් නොකිරීමේ සිද්ධිය හිටපු රේගු අධ්‍යක්ෂට නොතිසි

වර්ෂ දෙකකට අදාළ සිය වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් නොකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණය හමුවේ නඩු පැවරුණු හිටපු රේගු අධ්‍යක්ෂට ලබන මස 17 වන දින අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා ඊයේ (12) නොතිසි නිකුත් කරනු ලැබීය.

නො. 6/6 ට්‍රිලියම් නිවාස සංකිර්ණය, ඇල්විටිගල මාවත, කොළඹ 8 පදිංචි හිටපු රේගු අධ්‍යක්ෂ රන්ජන් කනගසබේ මහතා වෙත මෙසේ නොතිසි නිකුත් කෙරිණි.

වර්ෂ 2004 හා 2007 සඳහා හිටපු ‍රේගු අධ්‍යක්ෂවරයා සිය වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමට අපොහොසත් විමෙන් 1975 වත්කම් බැරකම් ප්‍රකාශ කිරීමේ පනත උල්ලංඝනය කර ඇති බව සඳහන් කරමින් අල්ලස් කොමිසම ඊයේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරනු ලැබිණි.

2004/3/31දින හා වර්ෂ 2004/6/30 අතර කාලපරිච්ඡේදයේ දී මේ අධිකරණ බල සිමාවේ කොළඹ දී 1975 දරන වත්කම් බැරකම් ප්‍රකාශ කිරීමේ පනත ට අදාළ වන තැනැත්තෙකු වශයෙන් චුදිත 2004/3/31 දිනය පැවැති තමාගේ වත්කම් පිළිබඳ වාර්ෂික ප්‍රකාශනය සාධාරණ හේතුවක් නොමැතිව ඉදිරිපත් කිරීමට අපොහොසත්වීමෙන් වත්කම් බැරකම් පනතේ 9(1) වගන්ති යටතේ දඩුවම් ලැබිය හැකි වරදක් බවට අල්ලස් කොමිසම අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි.

ලක්ෂ 10ක අල්ලස් මුදලක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මේ චුදිතට එරෙහිව දැනට මහාධිකරණය හමුවේ නඩුවක් විභාග වන බවට ද අල්ලස් කොමිසම අධිකරණය හමුවේ පවසා සිටියේය.‍

අදාළ කරුණු සළකා බැලු ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හිටපු රේගු අධ්‍යක්ෂට නොතිසි නිකුත් කරනු ලැබිණි.

අල්ලස් කොමිසමේ පොලිස් පරීක්ෂක ප්‍රේමසිරි මහතා අධිකරණයට කරුණු වාර්තා කෙළේය.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා