ජනපති නැවත එම තනතුරට පත් කිරීම කළගුණ දන්නා ජනතාවගේ යුතුකමක්

ජනපති නැවත එම තනතුරට පත් කිරීම කළගුණ දන්නා ජනතාවගේ යුතුකමක්

 - විතාරන්දෙණියේ වජිරවංස නාහිමි

තිස් වසරක කුරිරු යුද්ධය නිමා කොට සංවර්ධනයෙන් රට නව මාවතකට ‍ යොමු කළ ජනපති මහින්ද රාජපක්ෂ මහතා නැවත ජනපති ධුරයට පත් කිරීම මෙරටේ කළගුණ සලකන ජනතාවගේ යුතුකම බව හම්බන්තොට සිංහගිරි විහාරාධිපති විතාරන්දෙණියේ වජිරවංස හිමියෝ පැවසූහ.

වජිරවංස නාහිමියන් මේ බව ප්‍රකාශ කළේ ජනපති පදවි ප්‍රාප්තිය සහ ජන්ම දිනය සැමරීම වෙනුවෙන් ජනාධිපතිතුමන්ට ආශිර්වාද කිරීම සඳහා පසුගියදා හම්බන්තොට සිංහගිරි විහාරයේ දී පැවති සමාරම්භක ආශිර්වාද පූජාවේදී අනුශාසනාව පවත්වමිනි.

හම්බන්තොට ග්‍රාමීය ජනතාව විශාල පිරිසක් සහභාගී වී සිටි මේ පින්කමේ දී වැඩිදුරටත් අනුශාසනාව පැවැත් වූ විතාරන්දෙණියේ වජිරවංස නාහිමියෝ:

අද රටේ කිසිවෙකුට යුද බියක් හෝ මර බියක් නැහැ. නගරයේ වගේම හැම ගමකම පාරවල් ප්‍රජාශාලා, රෝහල් සංවර්ධනය වෙලා. රටේ විශාල තරුණ තරුණියන් පිරිසකට රැකී රක්ෂා ලැබී තිබෙනවා. ජාතික පාසල් පමණක් නොව රටේ හැම පාසලක්ම දියුණු වෙමින් පවතිනවා. කැඩී බිඳී ගිය වෙහෙර විහාර දිනෙන් දින සංවර්ධනය වෙනවා. පෞද්ගලික අංශයේ අයට වගේම රජයේ සේවකයන්ට විවිධ වරප්‍රසාද ලැබුණා.

ඉතා දිළිඳු මට්ටමේ පැවති හම්බන්තොට, මොණරාගල වැනි දිස්ත්‍රික්කත් අද නොසිතූ විරූ ලෙස දියුණුවෙලා. එදා ගමනක් යන්න පාරට බැහැල බස් එකක් එනතුරු පැය ගණන් රස්තියාදු වුණා. එහෙත් අද නිතරම බස් ධාවනය වෙනවා. වරාය, ගුවන් තොටුපළ පරිපාලන සංකීර්ණය, සම්මන්ත්‍රණ ශාලාව ඉදිවීම නිසා අද හම්බන්තොට විස්මිත නගරයක් බවට පත්වෙලා . ලංකාවේ සිදුවන ශීඝ්‍ර සංවර්ධනය දිහා බලලා අද ලෝකයම මවිතයට පත්වෙලා. මේ දියුණුව දෙස බලා සිටිය නොහැකිව රටේ සංවර්ධනයට ඊර්ෂ්‍යා කරමින් කුහක රටවල නායකයින් දෙමළ ඩයස්පෝරාව යොදවා නැවත රට අස්ථාවර කිරීමට මාන බලනවා. ඇතැම් දේශීය කල්ලි කණ්ඩායම් හා දේශපාලන පක්ෂ ඔවුන්ගේ ගැටලුවලට හසු වී මුදල් ලබාගෙන රටේ දේශපාලන ශක්තිය දුර්වල කිරීමට උත්සාහ කරනවා.

වත්මන් ජනපතිතුමන් සතු විධායක ජනාධිපතිධුර‍ෙයන් රටට කළ සේවය ඔවුන්ට අමතක වෙලා. විධායක ජනපතිධුරය අහෝසි කර රටේ දුර්වල දේශපාලන පසුබිමක් නිර්මාණය කිරීමට උත්සාහ කරන විදේශීය බලවේග පරාජයට පත් කොට රටේ සංවර්ධනය උදා කළ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නැවත ජනාධිපති ධුරයට පත් කිරීම මේ රටේ කළගුණ සලකන ජනතාවගේ යුතුකමක් බවත්, රටේ ආරක්ෂාව තහවුරු කළ හැක්කේ එතුමාට පමණක් බවත් උන්වහන්සේ ප්‍රකාශ කළහ.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා