අය-වැයෙන් මිලියන 1588ක් වෙන්කර තිබීම නිසා ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නවා

අය-වැයෙන් මිලියන 1588ක් වෙන්කර තිබීම නිසා ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නවා

ඇමැති ජයරත්න හේරත්

මෙවර අය වැයෙන් උද්භිද උද්‍යාන හා පොදු විනෝදාත්මක කටයුතු අමාත්‍යාංශයට රුපියල් මිලියන 1588ක මුදලක් වෙන් කර ඇති බැවින් ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව උද්භිද උද්‍යාන හා පොදු විනෝදාත්මක කටයුතු ඇමැති ජයරත්න හේරත් මහතා ප්‍රකාශ කළේ ය.

ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (12) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවේදී ය.

මේ වසරේ ඔක්තෝබර් මාසය දක්වා පින්නවල අලි අනාථාගාරය නැරඹීම සඳහා විදේශිකයන් දෙලක්ෂ තිස් හතර දහසක්ද දේශිය ජනතාව තුන් ලක්ෂ හැත්තෑපන් දහසක්ද පැමිණි අතර ඉන් රුපියල් මිලියන පනස් පහක වාර්තාගත ආදායමක් ලබා ගැනීමට හැකි වී ඇති බවත් දෙහිවල ජාතික සත්ත්වෝද්‍යානය නැරඹීම සඳහා දේශීය ජනතාව ලක්ෂ 12ක් පැමිණි අතර විදේශිකයන් 20000 ක් පැමිණ ඇත.

එහිදී රුපියල් මිලියන 130ක ආදායමක් ලබා තිබේ.හග්ගල උද්භිද උද්‍යානයෙන් රුපියල් මිලියන 37ක ආදායමක්ද ගම්පහ හෙනරත්ගොඩ උද්‍යානයෙන් රුපියල් මිලියන 8ක ආදායමක්ද ලබා ඇති බවත් ඇමැතිවරයා මෙහිදී පැවසීය.

වසර 1950දී පමණ ආරම්භ කළ කුරුණෑගල ගනේවත්ත වන ඖෂධ උයන ආයුර්වේද වෛද්‍යවරුන්ට,පාරම්පරික වෛද්‍යවරුන්ට,සිසුන්ට, වන ඖෂධ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන විදේශිකයන්ට,මහජනතාවට විවෘත කෙරෙන බවද හෙතෙම කීය.

දෙහිවල ජාතික සත්ත්වෝද්‍යානයේ අධ්‍යක්ෂ අනුර ද සිල්වා, අමාත්‍යාංශයේ ලේකම් විලී ගමගේ ඇතුළු මහත්ම මහත්මීහු පිරිසක් මේ අවස්ථාවට සහභාගී වූහ.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා