රට, ජාතිය දිනවීමට නම් අනිවාර්යෙන්ම ජනපති මහින්ද රාජපක්ෂ දිනවිය යුතුයි

රට, ජාතිය දිනවීමට නම් අනිවාර්යෙන්ම ජනපති මහින්ද රාජපක්ෂ දිනවිය යුතුයි

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ඉදිරි ජනාධිපතිවරණයෙන් ද රට,ජාතිය, දිනවීම සඳහා අනිවාර්යෙන් ම ජයග්‍රහණය කරවිය යුතු බව ජාතික සංවිධාන එකමුතුවේ නායකයෝ, සාමාජිකයෝ එක හඬින් කියා සිටිති.

“රට ආපස්සට අදින පරගැති මෙහෙයුම පරදවමු” විශේෂ ජාතික සමුළුවට මැදගොඩ අභයතිස්ස නාහිමි, මහාචාර්ය ඉත්තදෙමලියේ ඉන්ද්‍රසර නාහිමි, බෙංගමුවේ නාලක ‍නාහිමි, මැදගම ධම්මානන්ද නාහිමි, කිරම විමලජොති නාහිමි, ආචාර්ය ගුණදාස අමරසේකර, ඇමැති විමල් වීරවංශ මහතා ඇතුළු පිරිස සහභාගි වූ අයුරු. මෙම සමුළුව කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්විණ. ඡායාරූපය -සමන්ත වීරසිරි

රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ඊළඟ ජයග්‍රහණය පිළිබඳව ඉව වැටුණු රටට එරෙහි දෙස් විදෙස් ද්‍රෝහී බලවේග ජනාධිපතිවරයාව පරදවා ඔවුන්ට අවශ්‍ය රූකඩයක් පත්කර ගැනීමේ දැඩි උත්සාහයක නිරත වී සිටින බව එහි කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා පැවැසීය.

මෙම තොරතුරු අනාවරණය වූයේ ඊයේ (12) ජාතික සංවිධාන එකමුතුව කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවැත්වූ විශේෂ ජාතික සමුළුවේදීය. තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඉවත් කර රට,ජාතිය සුරකින නව ව්‍යවස්ථාවක් ඉදිරිපත් කරන බවට මෙවර ප්‍රතිපත්ති ප්‍රකාශයට ඇතුළත් කරන ලෙස ද ඒ මහතා ඉල්ලා සිටියේය.

මෙහිදී තවදුරටත් අදහස් දක්වන ආචාර්ය ගුණදාස අමරසේකර මහතා

“අපි මේ රැස්වීමට ආරාධනා කළා ජාතික බලවේග නියෝජනය කරන දේශපාලන නායකයින්ට. අපි ඔවුන්ට ආරාධනා කළේ අපිට අනුග්‍රහයක් අවශ්‍ය නිසා නොවේ. මේ රැස්වීම අප තියන්නෙ රජයට සුදු හුණු ගෑමට නොවේ. අපගේ බලාපොරොත්තු ඉෂ්ට කරයි කියා සිතන මහින්ද රාජපක්ෂ මහතාව ජයග්‍රහණය කරවීමටයි.

මීට පෙර ජනාධිපතිතුමා ජයග්‍රහණය කරවා අපිට ප්‍රභාකරන්ව විනාශ කර දමන්න පුළුවන් වුණා. ඒ පිළිබඳ එතුමාට අපි ගෞරවය පුද කරනවා. නමුත් අපට දේශපාලන ත්‍රස්තවාදයට මුහුණ දීමට අද සිදු වී තිබෙනවා. ප්‍රභාකරන්ට කරන්න නොහැකි වූ දේ කරන්න ඔවුන් සූක්ෂමව උත්සාහ කරනවා. මේ සඳහා රාජ්‍ය නොවන සංවිධාන ගණනාවක් ඉතා ශූක්ෂමව ක්‍රියාත්මක වෙනවා. තමිල්නාඩුවත් මොවුන් හා සම්බන්ධව ක්‍රියා කරනවා. අරාබියේ ඇති වූ වසන්තය වැනි දෙයක් අප රටේත් ඇති කරන්නයි ඔවුන් උත්සාහ කරන්නෙ. ත්‍රස්තවාදය පරාජය කළ හැකි නායකයෙකුයි අපි පෙරට ගෙන එන්න ඕනෙ. මහින්ද රාජපක්ෂ දිනවනවා කියන්නෙ රට ජාතිය ජයග්‍රහණය කරවීමයි.

විධායක ජනාධිපතික්‍රමය නොතිබුණා නම් ත්‍රස්තවාදය විනාශ කරන්න හැකි වෙන්නෙ නැහැ. අද විවිධ කොට්ඨාස මෙම විධායකය ඉවත් කරන්න කියනවා ඔවුන්ගේ අරමුණ ජනාධිපතිවරයා නැවත පත් වුණත් ඔහුව බෙලහීන ජනාධිපතිවරයෙකු කරන්න.

මේ තත්ත්වය තේරුම් ගෙන අපි සියලු දෙනා රට ජාතිය ආරක්ෂා කරන මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාව නැවත ජනාධිපති කිරීමට කටයුතු කළ යුතුයි.

රනිල් වික්‍රමසිංහ මහතාගේ අතීත ක්‍රියාකාරකම් අපි සිහි කළ යුතුයි. චන්ද්‍රිකා කුමාරතුංග අතීතයේ ක්‍රියා කළ ආකාරය අපි සිහි කළ යුතුයි. කරු ජයසූරිය කවුද කියා සිතිය යුතුයි. රාජ්‍ය නොවන සංවිධාන චන්ද්‍රිකා මහත්මියව ගේන්න උත්සාහ කරනවා. මහින්ද ජනාධිපතිවරයාගෙන් අපි ඉල්ලීමක් කරනවා. එනම් පැරණි ව්‍යවස්ථාව ඉවත් කර නව ව්‍යවස්ථාවක් සාදන ලෙසට.

ජාතික නිදහස් පෙරමුණේ නායක

ඇමැති විමල් වීරවංශ මහතා-

අපි කවුරුත් ජාතියට අභියෝග පැමිණෙන විට මහා සංඝරත්නයේ කැඳවීමෙන් එම අභියෝග මූලිනුපුටා දැමීමට ක්‍රියා කරනවා. 2005ට කලින් කොටි තර්ජන තිබෙන වෙලාවෙත් රටට අවශ්‍ය මග පිළිබඳව මහ සඟරුවනේ උපදේශයෙන් අපි ක්‍රියාත්මක වුණා. දැන් නැවතත් මේ පුණ්‍ය භූමිය රට වෙනුවෙන් වගකීම් ඉටු කරන ලෙස අපෙන් ඉල්ලා සිටිනවා. රට වේගයෙන් නිවැරදිව ඉදිරියට ගෙන යන මේ මොහොතේ එයට සහයෝගය දැක්විය යුතුයි. ඇයි ජාතික සංවිධාන එකමුතුව අපිව අද කැදවූයේ අද යුද්ධය දිනල අවුරුදු පහක් වෙනවා. එදා යුද්ධය දිනූ අවස්ථාවේ ෆොන්සේකා මහතාව යුද්ධයට නායකත්වය දුන් ජනාධිපතිතුමාට එරෙහිව මෙහෙයවූයේ කවුද?

තක්කඩි විරුද්ධ පක්ෂයේ පුද්ගලයින් සිතන්නෙ යුද්ධය මේ රටේ ජනතාවට අමතකයි කියල. එම ද්‍රෝහී බලවේග කැලේ ගහක් නසන්න, කැලේ ගසක් යොදා ගන්න උත්සාහ කරනවා. ඒ සඳහා ජාතික බලවේග තුළින් පාවාදීමේ මහා පෙරමුණක් නිර්මාණය කරන්න උත්සාහ කරනවා. මොකටද මේ අය එකතු වෙන්නෙ. 13 අහෝසි කරන්න ද අපිත් එහෙනම් එනවා. 13 මගහැරලා ජාතික බලවේග කොහොමද ගමන් කරන්නෙ. මේ රටේ ජාතික බලවේග යුද්ධ කරන කාලෙ කීවේ මොනව ද? ඔවුන් ඉල්ලුවෙ මේ බෙදුම්වාදයට පණ දුන් දේ ඉවත් කළ යුතු බවයි.

අද ජාතික බලවේගවල කණ්ඩායමක් කියනවා විධායක ජනාධිපති ක්‍රමය රෙපෙයාර් කෙරිය යුතු බව, තවත් අය කියනවා මෙය ඉවත්කළ යුතු බව. මහින්ද රාජපක්ෂට වඩා අපි නොදන්න දියසේන කෙනෙක් පහළ වෙලා ද?

වික්‍රමසිංහ මහතා පසුගිය ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණා නම් ඔහුට පක්ෂයත් අහිමි වෙනවා. ඒකයි ඔහු ෆොන්සේකා මහතාව යෙදෙව්වෙ. රනිල්ට බැරි නිසා ඔහු පොදු අපේක්ෂකයෙක් යොදාගත්ත. පොදු අපේක්ෂකයා කියන්නෙ “බිලි බෝයිටයි”.

චන්ද්‍රිකා නෝනා අකමැත්තෙන් තමයි මහින්ද අගමැතිතුමාට එදා ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න ඉඩ දුන්නෙ. අද වික්‍රමසිංහ මහතා නැවතත් පොදු අපේක්ෂකයකු සොයනවා. ඔහු එකඟවෙයි ද තමන්ට වඩා ඡන්ද ගන්න කෙනෙකුට. එවැනි කෙනෙකු ජයග්‍රහණය කළොත් රනිල් ඉවරයි.

දිනන පොදු අපේක්ෂකයෙකුට රනිල් කවදාවත් එකඟ වෙන්නෙ නැහැ. රනිල් සීරෝ වෙන්න කැමැති වෙයි ද? රනිල් මහතාගේ පැවැත්මට දෙන තාවකාලික බෙහෙතක් ලෙස පොදු අපේක්ෂකයා හැඳින්විය හැකියි.

ජනාධිපතිවරණය නීති විරෝධියි කියල මගහරින්නත් සමහරු තර්ක කරනවා. අනුර කුමාර වර්ජනය ගැන කතා කරනවිට ලාල්කාන්ත කියනවා ජනාධිපතිවරණයට ඉදිරිපත් විය යුතුයි කියලා. තමන්ට ඉල්ලන්න බැරි නිසා මහින්දට තුන් පාරක් ඉල්ලන්න බැහැ කියල තර්ක යොදා ගන්නවා.

සයිබර් අවකාශයේ, තානාපති කාර්යාලවල සිට රජයට එරෙහිව විවිධ අය ක්‍රියා කරනවා. ඇමරිකා තානාපති කාර්යාලයෙන් 5000ක් දෙනාට පඩි දෙමින් සමාජ වෙබ්අඩවි හරහා රජය පිළිබඳව වැරැදි මත ප්‍රචාරය කරනවා. අපි එයට එරෙහිව ස්වයංව ක්‍රියාත්මක වෙමු. රුද්‍ර කුමාරන්ලා බලා සිටිනවා නටවන්න පුළුවන් පාලනයක් හදා ගන්න. කුමන්ත්‍රණකරුවො කතා කරන්නෙ කැටයම් දාල මොවුන් හරියට මනිබඩු කාරයො වගේ. අද විරුද්ධ පක්ෂයේ යන්නෙ මනි බඩු දේශපාලනයයි.

බැහැයි කියපු යුද්ධය අවසන් කළා. බැහැයි කියන දෑහිතකාමී ව්‍යවස්ථාවක් හදාගන්න පුළුවන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට. මේ සඳහා අපි හැමෝම ක්‍රියා කරමු. ජාතිය අපෙන් ඉල්ලන මහා ඉල්ලීම පෙරට ගෙන යමු. රට වල්මත් කරන වල්මත් විපක්ෂයට අපි අහුනොවෙමු. ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ජයග්‍රහණය සඳහා අපි පෙළ ගැසෙමු.

බොදුබල සේනා සංවිධානයේ සභාපති කිරම විමලජෝති නාහිමි-

දේශපාලනය නොකළත් රටට අනතුරුදායක අවස්ථාවල දී ජනතාව දැනුවත් කරන්න අපට සිද්ධ වෙනවා. අපි මේ රටට ජාතියට සම්බුද්ධ ශාසනය රැකගැනීමට ක්‍රියා කළ යුතුයි. මෙහි පැමිණ සිටින විශාල පිරිස රටට ආදරය ඇති අය කියල හඳුන්වන්න පුළුවන්.

මේ දිනවල ධර්මපාලතුමාගේ 150වැනි ජන්ම සංවත්සරය සමරනවා. සුද්දො මේ රට විනාශ කරන කාලයකයි එතුමා ඉපදුණේ. සුද්දො මේ රටට විශාල විනාශයක් කළා. ඒවා බලාගෙන සිටීමට බැරි නිසා ධර්මපාලතුමා වේගවත්ව ජනතාව දැනුවත් කළා. සුද්දො සහ කළු සුද්දො එතුමාට බාධා කළා. කවුද මේ කළු සුද්දා. කොහොම ද කළු සුද්දො හඳුනා ගන්නෙ. මේ කළු සුද්දො රටට, සිංහල ජාතියට, භාෂාවට, කෑම බීමවලට ආදරය නැහැ. කළු සුද්දො තමයි පසුගිය කාලයේ යුද්ධය ඇති කළේ. නියම සිංහලයො නොවෙයි.

ගමෙන් ආව සිංහලයා තමයි සටන්කර රට බේරා ගත්තෙ. හැබැයි කළු සුද්දන්ට බැරි වුණා. යුද්ධය අවසන් කරන්න.

අද ජනාධිපතිවරයා නැති කිරීමට ජාත්‍යන්තරව ද විශාල ලෙස මුදල් වැය කරනවා. එතුමා සිංහල බෞද්ධයකු වීම බටහිරයන්ට, එන්. ජී. ඕ. නඬවලට විශාල ගැටලුවක්.

මං මෙච්චර කල් හිතාගෙන සිටියෙ කළු සුද්දො ඉන්නෙ ගිහියන් අතරයි කියල. දැන් පෙනෙනවා සිවුර අස්සෙන් කළු සුද්දො ඉන්න බව. මේවා ගැන පොතක් ලියනවා ‍නම් මං මුද්‍රණය කර දෙන්නම්. ජනාධිපතිතුමා ළඟත් කළු සුද්දො ඉන්නවද කියල අප බලන්න ඕනෙ.

දේශප්‍රේමී භික්ෂු පෙරමුණේ ලේකම් බෙංගමුවේ නාලක නාහිමි -

ලෝකයේ රටවල් දිහා බැලුවහම අපේ රට පිංබර රටක්. මේ රටේ සිටි අය බලයට, ධනයට කෑදර වුණා නම් උතුම් රටක් වෙන්නෙ නැහැ. අද ඇතැම් දේශපාලකයින් බලන්නෙ බලයට පත්වෙන්න. රාජපක්ෂවරු පරාජය කරන්න ඔවුන් උත්සාහ කරනවා. මේක ඔවුන් කරන්නෙ රටට ආදරයක් ඇතිව නොවේ. අපි එවැනි උත්සාහයන් ව්‍යර්ථ කරන්න ඕනෙ. භික්ෂූන් වහන්සේලාට මෙහිදී විශාල වගකීමක් පැවරෙනවා. මර්සලින් ජයකොඩි පියතුමා සිවුරේ අගය ගැන කියල තිබෙනවා. මේ රටේ මුර දේවතාවුන් කවුද කියා එතුමා පෙන්වා දුන්නා. භික්ෂූනගේ ශක්තිය බලය ක්‍රියාත්මක කිරීමට යම් යම් අවස්ථා එනවා. එහෙම නොවෙන්නට මේ රට මෙතරම් කාලයක් අභිමානවත්ව පවතින්නේ නැහැ. භික්ෂුන්ගේ බලය කවුරුත් හැඳින ගත යුතුය.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා දේශියත්වය ඔළුව මත තබා ක්‍රියා කළ නිසා ක්‍රියා කරන නිසා බටහිර බලවේග එතුමා විනාශ කරන්න උත්සාහ කරනවා. ඒ සඳහා දේශපාලන උපක්‍රම යොදාගන්න හදනවා. රතන හිමි ව‍ගේ අයත් පිවිතුරු හෙටක් හරහා යොදා ගන්න හදනවා. මහලු වනවිට තමන් කළ මෝඩකම් තේරේවි. පාඨලී, විමල්, දිනේෂ් ඇමැතිවරු රට වෙනුවෙන් හඬ නැගු පුද්ගලයින් නිසායි මෙතනට ආරාධනා කළේ. නැතුව අපේ ගමන ශක්තිමත් කර ගන්න නොවේ. අපි අද කරන්නෙ ජාතික පිංකමක්.

රට බේරා ගැනීමේ මහ සටනක් අපි කරන්නෙ. පාඨලී ඇමැතිවරයාට ඉදිරියේ දී හෝ මෙවැනි කටයුතුවලට සහභාගි වෙන්න කියා අපි ඉල්ලා සිටිනවා. ජාතික සංවිධාන එකමුතුවේ බලාපොරෙ‍ාත්තු ඉෂ්ට කරන්න පුළුවන් එක ම කෙනා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයායි. මෙතුමාව පන්නා දමන්න හදන්නෙ මෝඩයෝ අපිට හොඳ කශේරුකාවක්, හදවතක් තිබෙනවා. ඉදිරි ජනාධිපතිවරණයේ දී රට , ජාතිය ආරක්ෂා කර ගන්න අපි කැප වෙනවා. ධනය බලය හම්බ කරන්න නොවේ මේවා කරන්නේ. මාධ්‍යවේදීන්ට අප සමඟ රට වෙනුවෙන් එකතුවන්න කියනවා.

අස්ගිරි විහාර පාර්ශ්වයේ කාරක සංඝ සභික මැදගම ධම්මානන්ද නාහිමි-

වර්තමාන දේශපාලන වාතාවරණය තුළ අපට පෙනෙනවා රට ගිල ගන්න විදේශීය කණ්ඩායම්, රාජ්‍ය නොවන කණ්ඩායම් ක්‍රියා කරන බව පෙනෙනවා. ඔවුන් එළඹෙන ජනාධිපතිවරණය ඒ සඳහා යොදා ගැනීමට උත්සාහ කරනවා. ජාතික බලවේග අතර හිටපු සරත් ෆොන්සේකා මහතාව එදා ඔවුන් ඩැහැ ගත්ත. එතුමා රෑ වැටුණු වළේ දවලුත් වැටෙන්න හදනවා. රණවිරුවෙකු දේශපාලනයට ඒම ගැන අපි සංඝ ආඥාවක් ද නිකුත් කළා.

අපි ගරු කරන මාදුළුවාවේ සෝභිත හිමිට අද කුමක්ද වෙලා තියෙන්නේ. සාධාරණ සමජයක් හදන්න කතා කරන චන්ද්‍රිකා මැතිනිය රට විනාශ කරන යෝජනා ගෙන එන්න උත්සාහ කළා. අතුරලියේ රතන හිමිගේ ක්‍රියා කලාපය මොකක් ද? සිහළ උරුමය, හෙළ උරුමය හැදුවෙ අපියි. ජාතික හෙළ උරුමයට මොකද වෙලා තියෙන්නෙ. අක්මීමන හාමදුරුවො, එල්ලාවල මේධානන්ද නාහිමි, උඩුවේ හාමුදුරුවෝ භේද භින්න කළේ කව්ද? රතන හිමිගේ පිවිතුරු හෙටක් සහ සාධාරණ සමාජයකට ඉදිරියේ දී මොකද වෙන්නෙ කියල අපි බලමු. එක්ස් කණ්ඩායමේ පුද්ගලයින් සමඟ රතන හිමි සහ මාදුළුවාවේ සෝභිත හිමි එකට හිදගෙන අද කටයුතු කරනවා. මේක ගැටලු සහගතයි. රට ජාතිය ගැන සිතන මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා සමඟයි ජාතික සංවිධාන එකමුතුව කටයුතු කරන්නෙ. රට ජාතියට ආදරය කරන පුද්ගලයන් අප ආරක්ෂා කර ගත යුතුයි.

ගලගොඩඅත්තේ ඥාණාසාර හිමියන්ට, අක්මීමන දයාරත්න හිමියන්ට ද අපිත් සමග එකතුවෙන ලෙස ඉල්ලා සිටිනවා.

ප්‍රතිපත්ති ගරුක දේශපාලනයක් කරන මහින්ද රාජපක්ෂ මහතාව ඉදිරි ජනාධිපතිවරණයේදීත් පත් කරගමු.

ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මැදගොඩ අභයතිස්ස නාහිමි-

මෙම සමුළුව ඓතිහාසික සමුළුවක් බව කියන්න ඕනෙ. විවිධ අවස්ථාවල මේ රට ආක්‍රමණය කිරීම, පාවාදීමේ අවස්ථා දක්නට ලැබෙනවා. ශතවර්ෂයකට වරක් මෙවැනි සිද්ධියක් අතීතයේ සිට දක්නට ලබනවා. 1815, 1915 එවැනි දේ සිදු වුණා. එළඹෙන්න තිබෙන්නෙ 2015 වසරයි. අපි දේශපාලන වේදිකාවලට නොපැමිණියත් අද පැමිණියේ රට බේරා ගැනීමටයි. නිවැරදිව කරුණු කාරණා සොයා බැලුවොත් සැබැවින් ම යථාර්ථවාදී නොවන කරුණු කාරණා ඉදිරිපත් කරමින් රට විනාශ කිරීමේ වැඩපිළිවෙළවල් ලොවපුරා ගෙන යනවා. එදා ජනාධිපතිතුමා අවුරුදු තිහක් තිබූ යුද්ධය අවසන් කළා. එය අවසන් කළ ජනාධිපතිතුමාට ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට සිදු වුණේ යුද්ධයට සම්බන්ධ වූ හමුදාපතිවරයා සමඟයි. ජනාධිපතිතුමාට එරෙහිව විවිධ බලවේග සරත් ෆොන්සේකා මහතාව මෙහෙයෙව්වා. රට අකර්මණ්‍ය වන ලෙස විවිධ මත පැතිරෙව්වා. එම ද්‍රෝහී බලවේගය අදත් පෙරට පැමිණ තිබෙනවා. මේ තත්ත්වය සමහරක් ජාතික බලවේග ද තේරුම් ගෙන නැහැ.

සාමය උදා නොවුණා නම් දීර්ඝ කාලයට රටට නිදහස නැහැ. එහෙනම් කොහොමද යුද ජයග්‍රහණය අමතක කරවන්නෙ. කුහක දුෂ්ඨ අය තමයි යුද ජයග්‍රහණය අමතක කරන්න හදන්නෙ. අලිමංකඩ පාමංකඩ කරපු මිනිස්සුයි මේ ද්‍රෝහී බලවේග පසු පස සිටින්නෙ. දේශපාලන පක්ෂවලට මුවා වෙලා රට බෙදුම්වාදය කරා ගෙන යන්න ක්‍රියාත්මක වෙනවා. මෙම ද්‍රෝහී බලවේග රටේ ජනතාව නොමග යවමින් ක්‍රියාත්මක වෙනවා. පෞද්ගලික කෝන්තර පදනම් කරගෙන ජාතියක් විනාශ කරන්න ඉඩ දෙන්න බැහැ. මිලේනියම් සිටි පාවා දීම අපට මතකයි.

රට ජාතියට ආදරය ඇති පුද්ගයෙකුයි අපි නායකත්වයට පත් කරන්න ඕනේ. හැබැයි ජාතික බලවේග මගින් ඒ පුද්ගලයා තේරිය යුතුයි. ශුක්ෂමව ක්‍රියාත්මක වන විදේශිය බලවේග පුද්ගලයින් නිවැරදිව හඳුනා ගත යුතුයි. ජනාධිපතිතුමාව අප ආරක්ෂා කර ගනිමු.

මෙම අවස්ථාව සඳහා මහාචාර්ය ඉත්තදෙමලියේ ඉන්ද්‍රසර නාහිමි, නායක හිමිවරුන් ඇතුළු මහා සංඝරත්නය ජාතික සංවිධාන එකමුතුවේ සාමාජික සාමාජිකාවන් විශාල පිරිසක් සහභාගි වූහ.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා