විදේශ ශ්‍රමිකයන්ගෙන් මෙරටට ලැබෙන විදේශ විනිමය 2016දී ඇ. ඩොලර් බිලියන 10 දක්වා වර්ධනය කරනවා

විදේශ ශ්‍රමිකයන්ගෙන් මෙරටට ලැබෙන විදේශ විනිමය 2016දී ඇ. ඩොලර් බිලියන 10 දක්වා වර්ධනය කරනවා

 විදේශ රැකියා ප්‍රවර්ධන ඇමැති ඩිලාන් පෙරේරා

විදේශ ශ්‍රමිකයන්ගෙන් ලැබෙන විදේශ විනියමය 2016 වන විට අමෙරිකන් ඩොලර් බිලියන 10 දක්වා වර්ධනය කිරීමට සැලසුම් සකස් කර ඇතැයි විදේශ රැකියා ප්‍රවර්ධන ඇමැති ඩිලාන් පෙරේරා මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (12) ප්‍රකාශ කෙළේය.

කතානායක චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව ඊයේ (12) පෙරවරු 9.30 රැස්විය.

ලිපිලේඛන වාර්තා ඉදිරිපත් කිරිමෙන් පසු වාචික පිළිතුරු අපේක්ෂාවෙන් මන්ත්‍රිවරු අසා තිබු ප්‍රශ්න වලට අදාළ ඇමතිවරු පිළිතුරු දුන්හ.

විසර්ජන (2015)පනත් කෙටුම්පත තෙවන වර කියැවීමේ විවාදය හෙවත් අයවැය කාරක සභා අවස්ථාව සඳහා සභාව යළි කාරක සභාව වශයෙන් රැස්විය.

වනජීවි හා වන සම්පත් සංරක්ෂණ ඇමැති විජිත් විජිතමුණි සොයිසා මහතා අමාත්‍යාංශ නිවේදනයක් ඉදිරිපත්කෙළේය.

වැයශිර්ෂයයෙන් රුපියල් 10ක් කපා හරින ලස විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ජෝන් අමරතුංග මහතා යෝජනා කෙළේය.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා (එජප):- විදේශ රැකියා ක්ෂේත්‍රය සම්බන්ධයෙන් රජයේ අවධානය ප්‍රමාණවත් නැහැ. අපේ රටට වැඩි විදේශ විනියමක් ලැබනේනේ විදේශ ගත ශ්‍රමිකයන්ගෙන්. එය ආඩම්බර විය යුතු කරුණක් නොවෙයි. අපේ කාන්තාවෝ මව්වරු විදේශගත වෙන්නේ කරන්න දෙයක් නැති කමටයි. මේ අය විදේශ ගතවෙලත් දුක්විදනවා. පුහුණු ශ්‍රමිකයන් සම්බන්ධයෙන් අපට ගැටළුවක් නැහැ.

මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී එරික් ප්‍රසන්න වීරවර්ධන මහතා (එජනිස):- අපගේ පුහුණු ශ්‍රමියන්ට විදේශයන්ගෙන් ඉල්ලුමක් තිබෙනවා. රටක් ලෙස අපට විදේශ රැකියා නිසා විදේශ විනිමයක් ලැබෙනවා. අපගේ ශ්‍රමබලකාය ආරක්ෂා කිරීම හා ඔවුන්ගේ සුබසාධනය රජයක් ලෙස අපගේ වගකීමයි. අපේ කාන්තාවන් විදේශගත වීම ගැන සුජීව සේනසිංහ මහතා කතා කළා. නමුත් ශ්‍රී ලංකික කාන්තාවන් විදේශගත කිරීම ආරම්භ කෙළේ අපගේ රජයන් යටතේ නෙවෙයි.

ඩිලාන් පෙරේරා මහතා:- අවුරුදු පහට අඩු දරුවන් සිටින මව්වරු විදේශගත කිරීම අපි නතර කර තිබෙනවා. සමහරු මෙයට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයට පවා ගියා.

පත්කළ මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා (එජාප):- උපේක්ෂා ස්වර්ණමාලී මන්ත්‍රීවරිය විදේශ රැකියා ප්‍රවර්ධන අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත්‍රීවරියක ලෙස පත් කර තිබෙනවා. අපි සුබපතනවා. විදේශ රැකියා සඳහා පිටවයන ගෘහ සේවිකාවන්ගේ ප්‍රමාණය අඩුවී ඇති බව කියනවා. නමුත් වැඩි වශයෙන් තවමත් යන්නේ කාන්තාවන්. ගෘහ සේවිකාවන් ලබන්නේ අඩු වැටුපක්.

ඩිලාන් පෙරේරා මහතා:- ගෘහ සේවිකාවන්ගේ වැටුප තිබුණේ රුපියල් 18,000යි. නමුත් ගත වූ වසර තුනේදී රුපියල් 33,000දක්වා අපි වැටුප වැඩි කර ගත්තා. එය තවත් වැඩි කරගත යුතුයි.

සිල්වා මහතා:- කෙනෙකුගේ වැටුප වැඩිවිය යුත්තේ ජීවන වියදමට සාපේක්ෂවයි. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ පනතට ශ්‍රී ලංකික ශ්‍රමිකයන් සම්බන්ධයෙන් ඇතුළත් විය යුතු කරුණු තිබෙනවා.

කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නිමල් විජේසිංහ මහතා (එජනිස):- මෙවර අය වැයෙන් සමස්ත ක්ෂේත්‍රයන්ටම අවධානය යොමු කර තිබෙනවා. විදේශගත ශ්‍රමිකයන් නිසා අපේ රටට විශාල විදේශ විනිමයක් ලැබෙනවා. ඒ නිසා විදේශගත ශ්‍රමිකයන්ට කෘතගුණ සැළකීමක් ලෙස තීරුබදු රහිත වාහනයක් ලබා ගැනීමේ අවස්ථාව අය වැයෙන් යෝජනා කර තිබෙනවා.

මඩකලපුව දිස්ත්‍රික් මන්ත්‍රී එස් යෝගේෂ්වරන් මහතා (දෙජාස):- විදේශගත වන කාන්තාවන්ගේ ප්‍රතිශතය වැඩි වෙලා. ඔවුන් යන්නේ ජීවත් වීමට හා බඩ වියත රැක ගැනීමටයි. විදේශ රැකියා සඳහා මේ අය සතුටින් යනවා. නමුත් එන්න සිද්ධ වෙන්නේ මිනීපෙට්ටි වලින්. මොවුන්ගේ ආරක්ෂාව සඳහා විධිමත් වැඩපිළිවෙළක් සකස් කරන්න.

ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී උපේක්ෂා ස්වර්ණමාලි මහත්මිය (එජනිස):- 2020දී අමෙරිකන් ඩොලර් බිලියන 15කට වැඩි විදේශ විනිමයක් රට විරුවන්ගෙන් ලබා ගන්න වැඩපිළිවෙළක් ඇති බවත් විරුකියාව 4%කින් ද දරිද්‍රතාව 7.5%කින්ද අඩු කරන්න බලාපොරොත්තු වනවා. මේ රටේ ජනගහනයෙන් 1/4 රට විරු පවුල් නියෝජනය කරනවා. රට විරුවන් නිසා උපයන මුදලින් 11%ක් දළ දේශීය නිෂ්පාදනයට එකතු වෙනවා. ලක්ෂ 17ක් පිටරට සිටිනවා. පසුගිය වසරේ මරණ සංඛ්‍යාව 303ක් බව යෝගේෂ්වරන් මන්ත්‍රීතුමා පැවසුවත් ඉන් බොහොමයක් ස්වභාවික මරණයි. කාන්තාවන් තම රෝගාබාධ සඟවා ගෙන වෛද්‍ය වාර්තා ලබා ගෙන පිටරට යනවා.

විදේශ රටවලට යවන නියෝජිත ආයතන සඳහා පාඨමාලිවන් අනිවාර්ය කළ යුතුයි. විදෙස් රැකියා ගැන නීතිරීති, විදෙස් සම්බන්ධතා, තොරතුරු තාක්ෂණය, ව්‍යාපාර ආචාරධර්ම හා සත්කාර පිළිබඳ පුහුණුව ලබා දිය යුතුයි. රට විරුවන් වෙනුවෙන් සුබසාධන වැඩපිළිවෙළවල් ක්‍රියාත්මකයි. ඔවුන් සඳහා ණය ලබා දෙනු ඇත. නිවාස ණය, මූලික පහසුකම් ණය, රැකියා පිටත්ව යාමට පෙර ණය, ස්වයංරැකියා ණය හා වාහන බලපත්‍ර ලබා දෙනු ඇත. ද්විත්ව පුරවැසිභාවය හෝ අවුරුදු කිහිපයක් ශ්‍රී ලංකාවේ සේවය කිරීම වෙනුවෙන් වීසා ලබාදීම, අභාවයකදී රුපියල් 30,000ක දීමනාව, සෞඛ්‍ය රක්ෂණාවරණයක්, දිස්ත්‍රික් මට්ටමින් විගමනික කාර්යාංශ පිහිටුවා සේවාවන් ලබාදීම හා කටුනායක පැය 24 පුරා විවෘතව පවතින සහන පියසෙන් සෞඛ්‍ය පහසුකම් සැපයීම රට විරුවන් වෙනුවෙන් සිදු කරනවා.

බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රි කේ වේලායුදන් මහතා (එජාප):- අද විදේශ සේවයකයන්ට රට විරුවන් යැයි හදුන්වන්නත් ඔවුන්ගේ ජීවන තත්ත්වය නංවාලීමට ක්‍රියා කරන්නේ නැහැ.ඔවුන්ගේ රැකියාව ජීවන තත්ත්වය රැක ගැනීමට අවශ්‍ය නීති ගෙන ආ යුතුයි. ජාත්‍යන්තර ගිවිසුමට අපි අත්සන් කළ යුතුයි.

ඩිලාන් පෙරේරා මහතා:- ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ගිවිසුම අත්සන් කළත් ශ්‍රමිකයා යන රට එම ගිවිසුම අත්සන් කෙළේ නැතිනම් එහි වගකීමක්නැහැ. නමුත් අපි අවශ්‍ය සියලු කටයුතු සිදු කරනවා.

වේලායුදන් මහතා:- කලාපිය මට්ටමින් පොදු යාන්ත්‍රණයක් පිහිටුවා ගත යුතුයි. ඇමැතිතුමා ඊට මැදිහත් විය යුතුයි.

රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා (එජාප):- රණවිරුවන්ට පමණක් දෙවැනි වෙන ගෞරවණිය ප්‍රජාවක් තමයි රට විරුවන්. ලක්ෂ 20ක ජනතාවක් සිටිනවා. මෙය විශාල ප්‍රශ්නයක්. මට දිනකට විදේශ ශ්‍රමිකයන්ගේ දුරකතන ඇමතුම් ගණනාවක් ලැබෙනවා ඔවුන්ට තිබෙන ගැටළු සම්බන්ධයෙන්.

කතානායක:- මටනම් එක දුරකතන ඇමැතුමක්වත් ලැබෙන්නේ නැහැ. ඔබතුමාට එන ඇමැතුම් මට හරවන්න.

නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්ක්කොඩි මහතා මුලසුනට පැමිණියේය.

වරාය මහා මාර්ග හා නාවික කටයුතු පිළිබඳ ව්‍යාපෘති ඇමැති රෝහිත අබේගුණවර්ධන මහතා:- 2016 අය වැය විවාදය එද්දී එක නමක් අයින් වෙන බව මට විශ්වාසයි. විදේශ රැකියාවල යෙදෙන අපේ සහෝදර සහෝදරියන්ව තුට්ටු දෙකට දාලා කතා කරන්න පුළුවන්ද මේ විදිහට. සදාචාරත්මක රටක් ගොඩනගන්නට නම් මේ භාෂාව භාවිතා කළ හැකිද? එජාප කාලයේ තමයි ගෘහ සේවිකාවන් පිටරට ඇරියේ. අපි ඇහුවොත් තමන්ගේ භාර්යාව වික්කේ ජේ ආර් ජනාධිපතිතුමාද කියලා එය හරිද? මේ වගේ තුට්ටු දෙකේ කතා කියන මන්ත්‍රීවරුන්ව පාර්ලිමේන්තු එවන්න එපා කියා මා ඉල්ලා සිටිනවා.

විදේශ රැකියා ප්‍රවර්ධන ඇමැති ඩිලාන් පෙරේරා මහතා:- මහින්ද චින්තනයේ ප්‍රකාරව ජනාධිපතිතුමාගේ අභිලාෂයන් ඉටුවන අයුරින් අමාත්‍යාංශය කටයුතු කළා. අද ඉතා සාර්ථක මට්ටමින් එහි කටයුතු සිදු වනවා. කොළඹ ක්‍රමය යටතේ විදෙස් රැකියා සඳහා යවන 11 වන රට ශ්‍රී ලංකාවයි. ශ්‍රම වෙළෙඳපොළෙහි ප්‍රේෂණ ඉන්දියාව, පිලිපීනය, බංග්ලාදේශය යන රටවලට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ ඇමරිකන් ඩොලර් මිලියන 07කි. ප්‍රේෂණ ලබා ගන්නා අඩුම රට අපියි. අනෙක් රටවල් ඇමරිකන් ඩොලර් බිලියන 100 ඉක්මවනු ඇත. ශ්‍රම අපනයනයෙන් ලොව 03 වන තත්ත්වයට පත් කරන්න අප උත්සාහ කරනවා.

පසුගියදා මෙරට ජාත්‍යන්තර සමුළු රැසක් පැවැත්විණි. එක්සත් ජාතීන්ගේ කාන්තා සංවිධානය සමඟ මේ සේවය සඳහා යවන කාන්තාවන්ගේ තත්ත්වය උසස් කරන්න සාකච්ඡා කළා. ප්‍රධාන වෙළෙඳපොළ මැදපෙරදිගයි. රැකියා ප්‍රවර්ධනයට අවශ්‍ය සුබසාධනය සඳහා වන අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීම අමාතයාංශයෙන් සිදු වේ. ශ්‍රමිකයන්ට අවශ්‍ය දැනුම ලබාදීමෙන් නවෝත්පාදනය සඳහා යොමු කිරීම ඉල්ලක කර ගෙන යනවා.

දිළිඳු බව තුරන් කිරීම අමාත්‍යාංශයේ දැක්මයි. 2010දී පිටරටින් ඇ.ඩො.බිලියන 4.5ක් ලැබුණා. 2012දී එය ඇ.ඩො.බිලියන 5.8යි. දැන් අපි ඇ.ඩො.බිලියන 07ක් ලබා ගන්නා අතර වැඩි මුදලක් සෞඛ්‍ය හා සුබසාධනය සඳහා ද යොදවනවා.

2016 වන විට ඇ.ඩො. මිලියන 100ක් දක්වා විදේශ විනිමය වැඩි කරන්න අපේක්ෂා කරනවා.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා