උතුරු අධිවේගයේ ඉදිකිරීම් හෙට ජනපති සුරතින් අැරැඹේ

උතුරු අධිවේගයේ ඉදිකිරීම් හෙට ජනපති සුරතින් ඇරැඹේ

උතුරු අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සුරතින් හෙට (14) සහ අනිද්දා (15) දෙදින ස්ථාන හතරක දී ඇරැඹේ. උතුරු අධිවේගයේ ඉදිවීමත් සමඟ පැය හතරකට වඩා කාලයක් ගත කළ කොළඹ සිට මහනුවරටත්, කොළඹ සිට දඹුල්ලටත් පැයකුත් විනාඩි තිහකදී ගමන් කිරීමේ හැකියාව මඟී ජනතාවට උදා වන බව ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා අවධාරණය කළේය.

රුපියල් බිලියන 500ක් වැය කොට ඉදිකරන උතුරු අධිවේගී මාර්ගය ශ්‍රී ලංකා ඉතිහාසයේ අති විශාල ව්‍යාපෘතියක් වන බවද මෙම දේශීය කොන්ත්‍රාත් කරුවන්ගේ දායකත්වයෙන් ඉදි කෙරෙන ප්‍රථම අධිවේගී මාර්ගය බවද මාර්ගයේ සමස්ථ දුරින් සියයට 60ක් දේශීය කොන්ත්‍රාත්කරුවන් විසින් ඉදිකරන බවද ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදි ඊයේ(12) පැවැති මාධ්‍ය හමුවට එක් වෙමින් ඇමැතිවරයා එසේ අනාවරණය කළේය. ගලගෙදර ගන්නෝරුව යන උමං මාර්ග වලින් සමන්විත උතුරු අධිවේගි මාර්ගයේ ඉදිකරීම් හෙට උදේ10.00ට ගලගෙදර -සෙන්කඩගල පුරවරයේදිත් උදේ11.30ට රඹුක්කනදීත් සවස 2.30ට ගලේවෙලදීත් අනිද්දා(15)දා උදේ 10ට කුරුණෑගල-අභිමන් දොරටුව අභියසදිත් ජනාධිපතිතුමාගේ සුරතින් විවෘත කෙරෙන බව හෙතෙම අනාවරණය කළේය.

කඳුරට (උතුරු) අධිවේගයේ වැඩ කටයුතු සාර්ථකව අවසන් කිරීමට හැකිවේවායි යන්න ප්‍රාර්ථනා කරමින් මෙම මස 13දින සර්ව ආගමික ආශිර්වාද වැඩසටහනක් ක්‍රියාත්මක බවද බෞද්ධ ආගමික වැඩසටහන දළදා මාළීගාවේදිත්,හින්දු ආගමික වැඩසටහන පුල්ලේයාර් හින්දු කෝවිලේදිත් ක්‍රිස්තියානි ආගමික වැඩසටහන සිල්වෙස්ටර් දේවස්ථානයේදික් සිදු කෙරෙන බවද ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත කඩිනම් ව්‍යාපෘතියක් ලෙස ඉදිකෙරෙන මෙහි පළමු අදියර යටතේ එ‍‍ඬේරමුල්ල-වේයන්ගොඩ-මීරිගම-නාකලගමුව-අලකොලදෙනිය-මැද්දේකැටිය-ගලේවෙල- පොතුහැර-රඹුක්කන-ගලගෙදර-නාරංවල අලදෙනිය ගන්නෝරුව දක්වා කිලෝ මීටර්171ක් ඉදිකෙරෙන බව මහාමාර්ග වරාය සහ නාවික කටයුතු අමාත්‍යාංයේ ලේකම් රංජිත් ප්‍රේමසිරි මහතා සඳහන් කළේය.

එහි ඉදිකිරීම් අදියර තුනකින් සිදු කෙරෙයි. එඩේරමුල්ල-සිට දඹුල්ල දක්වා අධිවේගි මාර්ග ව්‍යාපෘතියට දේශීය ඉදිකිරීම්කරුවන්ගේ දායකත්වය ලබා ගැනේ. රුපියල් බිලියන 300ක් වැයකොට මංතීරු හතරක් යටතේ එය ඉදි කෙරේ. පැයට කිලෝමීටර් 100ක වේගයෙන් ගමන් කළ හැකි අයුරින් ඉදිකෙරෙන උතුරු අධිවේගී මාර්ගය ඉදිකිරීමෙන් පසු කොළඹ සිට මහනුවරට පැයකුත් විනාඩි පහළොවකදීත් දඹුල්ලට පැයකදීත් ගමන් කළ හැකි බවත් මෙහි ප්‍රථම අදියර මාස 42-45ක් අතරදී නිමා කළ හැකි බව ත් ලේකම්වරයා කීවේය .

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත මහනුවරට සීමා කිරීමට යෝජිතව තිබූ අධිවේගී මාර්ගය යාපනය සහ ත්‍රිකුණාමලය දක්වා දීර්ඝ ‍කළ බවත් මෙම මාර්ගය පිටත වටරවුම් මාර්ගයට එඩේරමුල්ලෙන් සම්බන්ධ වන බවත් ගම්පහ ,වේයන්ගොඩ ,මීරිගම ,පොතුහැර,කුරුණෑගල ,ගලේවෙල දක්වාත් පොතුහැර රඹුක්කන ගලගෙදර ගන්නෝරුව දක්වා නුවර අධිවේගි මාර්ගයත් ඉදි කෙරෙන බව ලේකම්වරයා පැහැදිලි කළේය.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා