මාතෘභූමියේ පැවැති අඳුරු යුගය පහකර යහපත් හෙට දිනක් උදෙසා පියවර තබා තිබෙනවා

මාතෘභූමියේ පැවැති අඳුරු යුගය පහකර යහපත් හෙට දිනක් උදෙසා පියවර තබා තිබෙනවා

කලාකරුවන් අමතා ජනපති කියයි

දශක තුනකට ආසන්න කාලයක් මේ රටේ පැවැති ත්‍රස්තවාදය සම්පූර්ණයෙන් ම අවසන්කර නිඳහස් හා සාමකාමී පරිසරයක් නිර්මාණය කර තිබෙන වත්මන් ශ්‍රී ලංකාව, නිවෙසේ භාණ්ඩ විකුණා ජීවත්වීමට අවශ්‍ය යුගයක් නොවන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

අප මාතෘභූමියේ පැවැති අඳුරු යුගය පසුකර යහපත් හෙට දිනකට පියවර තබා තිබෙන බව පෙන්වාදෙන ඒ මහතා එවැනි අඳුරු යුගයක් යළිත් වරක් ඇති නොවන බවද කීය.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේ කලාකරුවන් සමඟ අරලියගහ මන්දිරයේ දී පැවැති හමුවකට සහභාගි වෙමිනි. සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශය මෙය සංවිධානකර තිබිණි.

එහිදී වැඩි දුරටත් අඳහස් දක්වමින් මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේ කලාකරුවන් සිටින රටක මහජනතාව පත්කරන සහ කලාකරුවන්ගේ මතය නියෝජනය කරන වශයෙන් ආණ්ඩු දෙකක් තිබෙන බවත් එක් කලෙක ප්‍රභාකරන්ගේ ආණ්ඩුවක් පැවතිය ද අද එවැනි ආණ්ඩුවක් නොමැති බවත්ය. රටට සාමය උදා කිරීමත් සමඟ රට පුරා නාට්‍ය හා සංදර්ශන පැවැත්වීමේ හැකියාව අපේ කලාකරුවන්ට තිබෙන බව පෙන්වාදුන් ඒ මහතා මේ වනවිට කලාකරුවන්ගේ ඉල්ලීම් ඉටුකර තිබෙන බවද පැවසීය.

අපේ රටේ ජනමතය හැසිරවීමේ හැකියාව කලාකරුවන් සතු බව පෙන්වාදුන් මහින්ද රාජපක්ෂ මහතා ඔවුන් වෙනුවෙන් කළහැකි සෑම කාර්යයක්ම සිදුකරන බවද කලාකරුවන්ට සමාජය යහමඟට ගැනීමේ හැකියාව තිබෙන බවද ප්‍රකාශ කළේය. මේ අතර ඒ මහතා සඳහන් කළේ ඇතැම් නාට්‍යවල භාවිතාවන වචන හා එහි අඳහස සම්බන්ධයෙන් ඇතැම් විට ප්‍රශ්න තිබෙන බවයි.

කලාකරුවන්ගේ හෙට දවස වෙනුවෙන් විශ්‍රාම වැටුප් ක්‍රමයක් හඳුන්වා දෙන්න වත්මන් රජය පියවර ගෙන තිබෙන බවද ඇතැම් කලාකරුවන් විශ්‍රාම ගියපසු ඉතා අපහසුවෙන් ජීවත්වන බවද පැවසූ ජනාධිපතිවරයා ඔවුන්ගේ යහපත වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරමින් විශ්‍රාම වැටුප් ක්‍රමය යෝජනා කර තිබෙන බවද සිහිපත් කළේය.

අතැම් අවස්ථාවන්හි දී කලාකරුවන් තමා විවේචනය කරන බව පෙන්වාදුන් ඒ මහතා ඒවා දැක සතුටට පත්වන බවද අපිට ඒවා දැක හිනා වෙන්න ශක්තියක් තිබෙන බවද සඳහන් කළේය.

කලාකරුවන් වශයෙන් සියලු දෙනාම එකමුතුව කටයුතු කරන්නැයි ඉල්ලීමක් කළ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කලාකරුවන්ගේ සෑම නිර්මාණයකදීම රටේ අනාගත පරපුරට පණිවිඩයක් දියයුතු බවද එය අනගතයේ දිනෙක වැදගත් වනු ඇතැයි ද පෙන්වා දුන්නේය.

ඇමැතිවරුන් වන ටී.බී ඒකනායක, නිමල් සිරිපාල ද සිල්වා, රෝහිත අබේගුණවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මාලනී ෆොන්සේකා, තිලංග සුමතිපාල, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, උතුරු මැද පළාත් ආණ්ඩුකාර කරුණාරත්න දිවුල්ගනේ මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා