නව වසරේ සිට ක්‍රීඩාව පාසල් විෂය පථයට

නව වසරේ සිට ක්‍රීඩාව පාසල් විෂය පථයට

පන්තියේ වැඩට 20%යි පිටියේ ක්‍රියාවලට ලකුණු 80%යි

වසර 2015 නව වසරේ සිට ක්‍රීඩාව පාසල් විෂය පථයට ඇතුලත් කර ඇතැයි ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි. එමගින් පාසල් යන සෑම දරුවකුටම ක්‍රීඩාවක් ඉගෙනීම හා ප්‍රායෝගීකව ක්‍රියාවේ යෙදවීම අනිවාර්ය කර ඇත.

අය-වැය තුලින් ක්‍රීඩාවට සිදුවූ යහපත පිළිබඳ ක්‍රීඩා ඇමැතිවරයා මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමින්. ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් රංජනී ජයකොඩි මහත්මිය ද මෙහි සිටී.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත ක්‍රීඩා අමාත්‍යංශය හා අධ්‍යාපන අමාත්‍යංශය එක්ව කැබිනට් පත්‍රිකාවක් අනුමත කොට ගෙන ඇතැයි ක්‍රීඩා ඇමැතිවරයා පැවැසීය.

මේ ක්‍රීඩා විෂයට අදාල විභාගයේ දී පන්ති කාමරයේ ඉගෙනුමට අදාලව සියයට 20ක් ද, ක්‍රීඩා පිටියේ ප්‍රායෝගික ක්‍රියාකාරකම්වලට උපරිම සියයට 80ක ලකුණු ප්‍රමාණයක් හිමිවනු ඇතැයි ද ඇමැතිවරයා හෙළි කළේය.

මෙලෙස ක්‍රීඩාව පන්ති කාමරයේ විෂයක් බවට පත් කිරීමෙන් රජය නිරෝගී දරු පරපුරක් අපේක්ෂා කරන අතර ක්‍රීඩාව කෙරෙහි වැඩි නැඹුරුවක් ද අපේක්ෂා කෙරේ.

'අද ක්‍රීඩාවට ළමයි නෑ. ඒක ජාත්‍යන්තර තරග ජයග්‍රහණයට විශාල බාධාවක්. අද තාරුණ්‍යයේ ජීවන රටාව වෙනස් වෙලා. පාසලට එනවා. ටියුෂන් පන්තියට යනවා. ගෙදර ඇවිත් ෆේස් බුක් එකට යනවා. පරිගණකයට යනවා. රූපවාහිනිය බලනවා.

එස්.එම්.එස්.එකක් ගහලා නින්දට යනවා. මේ ක්‍රියාවලින් සිදුවන්නේ රෝගී පරපුරක් ඉතිරිවීම පමණයි. එදා තරුණයෝ මෙයට වඩා වෙනස්. ආසියානු කළාපයේ බෝ නොවන ‍රෝගවලින් වැඩිම පිරිසක් ශ්‍රී ලංකාවේ සිටිනවා. මේ තත්ත්වය මග හරින්න පාසල්වලට ක්‍රීඩා ගුරුවරු 3000ක් බඳවා ගන්නවා.' ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවැසීය.

ඒ මහතා මේ බව පැවැසුවේ 2015 අයවැය මගින් ක්‍රීඩා අමාත්‍යංශයට හිමිවූ ප්‍රතිපාදන පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවකදීය. මේ මාධ්‍ය හමුව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තු ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

මෙවර ඇයවැය මගින් ක්‍රීඩා අමාත්‍යංශයට රුපියල් මිලියන 6500ක මුදලක් හිමිවී තිබේ. එම මුදලින් 2017 ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලට රුපියල් මිලියන 2500ක් හිමිව ඇති අතර එමගින් ගෘහස්ථ ක්‍රීඩාංගණ 3ක්, පිහිනුම් තටාකයක් හා මලල ක්‍රීඩා ධාවන පථයක් ඉදිකිරීම අපේක්ෂාව වී තිබේ.

ශ්‍රී ලංකාව තුල මුල්වරට ක්‍රීඩා ඇකඩමියක් පිහිටුවීම කෙරෙහි ද රජයේ අවධානය යොමුව ඇති අතර ඒ සඳහා රුපියල් මිලියන 500ක මුදලක් 2015 වසරේ වෙන්කොට ඇත. සිංගප්පූරු ක්‍රීඩා පාසලට අනුව මේ නව ක්‍රීඩා ඇකඩමිය ඉදිකෙරෙන අතර අවුරුදු 12ක් පමණ වයසේ පසුවන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට නේවාසික පුහුණුව මෙයින් ලබාදේ.

ක්‍රීඩක ක්‍රීඩිකාවන් 300කට මෙමගින් පුහුණුව ලැබෙන අතර ක්‍රීඩා 6ක අංග සම්පූර්ණ දැනුම ලබාදීමට පියවර ගැනේ. මෙවර අයවැය මගින් ක්‍රීඩා පුහුණුකරුවන්ගේ පුහුණුව උදෙසා රුපියල් මිලියන 250ක් වෙන් කිරීමට ජනාධිපතිතුමා පියවර ගැනීම ක්‍රීඩාවේ අනාගතය ශක්තිමත් කිරීමේ ප්‍රසංශනීය පියවරක් බව ක්‍රීඩා ක්ෂේත්‍රයේ මතය වී ඇතැයි ක්‍රීඩා ඇමැතිවරයා පැවැසීය.

'වසර 2017 යොවුන් ක්‍රීඩා උළෙල සාර්ථක කර ගැනීමට නම් හොඳ පුහුණුකරුවන් බිහිකළ යුතුයි. ක්‍රීඩා අමාත්‍යංශය දැනටමත් පළාත් නවයට අදාලව පුහුණුකරුවන් බඳවාගෙන පුහුණුව ලබාදීම ආරම්භ කොට තිබෙනවා. මෙයින් හොඳ ප්‍රතිළුල ඉදිරි කාලයේ අපට ලැබෙනවා.' අලුත්ගමගේ මහතා පැවැසීය.

ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව ජාත්‍යන්තර තලයේ ජයග්‍රහණ කරා ගෙන යෑමට ක්‍රීඩා වෛද්‍ය පර්යේෂණ ආරම්භ කිරීමට ද පියවර ගත් බව මේ මාධ්‍ය හමුවේ දී ප්‍රකාශ විය. මේ සඳහා ක්‍රීඩා වෛද්‍ය ආයතනය කැපවී සිටී.

පසුගිය වසරේ දී පමණක් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 203කගේ තහනම් උත්තේජන පරීක්ෂා කිරීමට පියවර ගෙන ඇති අතර 2015 වසරේ දී ද එය ක්‍රමවත්ව කිරීමට අපේක්ෂා කෙරේ.

ක්‍රීඩා සමාජ මට්ටමේ තරග පාවාදීම් සිදුවන බවට මත පළවෙමින් ඇති නිසා පාර්ලිමේන්තු පනතක් සම්මත කොට එවැනි අය වෙතොත් දඬුවම් ලබාදෙන බව ඇමැතිවරයා අවධාරණය කළේය.

'ක්‍රීඩා අමාත්‍යංශය පසුගිය කාලයේ විශාල වැඩ කොටසක් කළා. අලුත් නීති රීති සම්පාදනය කළා. තදබල පාලනයකට ගියේ ක්‍රීඩාව ආරක්ෂා කරන්නයි. මෙහිදී මට හතුරෝ ඇතිවුණා.

ඇතැම් අය ක්‍රීඩාවට උරුමකම් කීවා. මා එම අධිකාරිය බිඳ දමා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මුල් තැන ලබා දුන්නා.' අලුත්ගමගේ මහතා පැවැසීය.

‍මේ අවස්ථාවට ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් රංජනී ජයකොඩි මහත්මිය ඇතුලු නිලධාරීහූ එක්ව සිටියහ.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා