මුද්‍රණය සඳහා

 
යහපාලන ගමන ශක්තිමත් කිරීම ලාංකික පුරවැසියන්ගේ යුතුකමයි

යහපාලන ගමන ශක්තිමත් කිරීම ලාංකික පුරවැසියන්ගේ යුතුකමයි

ෆයිසර් මුස්තාෆා
සිවිල් ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය

නව රජයේ සිවිල් ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා සමඟ කළ සාකච්ඡාවකි මේ.

* ජනාධිපතිවරණ සටන ආරම්භයේදී ඔබ නියෝජනය කළේ මහින්ද රාජපක්ෂ මහතාගේ පිලයි. එහෙත් පසුව ඔබ මෛත්‍රීපාල සිරිසේන මහතාට සහයෝගය ලබා දුන්නා. මෙවැනි තීන්දුවක් ගත්තේ ඇයි...

මෙවර ජනාධිපතිවරණ සටන අතරතුර පෙර අන් කවරදාටත් වඩා ජාතිකවාදය ඉස්මතු කැර දේශපාලනය කරන්න මහින්ද රාජපක්ෂ මහතාගේ කඳවුර කටයුතු කළා. අපි සියලු දෙනාම ලාංකිකයෝ කියන චින්තනයෙන් මහින්ද රාජපක්ෂ මහතා බැහැර වුණා. ජාතිවාදය කරපින්නා ගත් කණ්ඩායම් පෝෂණය කරමින් එතුමා ඔවුන්ට වරප්‍රසාද ලබා දුන්නා.

බලය කිහිප දෙනෙකුට කේන්ද්‍ර වීම තුළ ඇමැතිවරුන් පඹයින් ගානට වැටුණා. අපි මේවා නිවැරැදි වෙයි කියලා බලාගෙන හිටියා. පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෝ මේවා පිළිබඳ කතා කළාම ඒ අය කොන්කරන්න ගත්තා. ත්‍රස්තවාදය පරාජය කිරීමෙන් පසු 2010 පිහිටවූ ආණ්ඩු කාලයේ බරපතළ ලෙස මෙම ගැටලු ඉස්මතු වුණා. අපි හැම වෙලාවෙම බැලුවේ පක්ෂය ජාතිවාදී පීල්ලෙන් එළියට ගන්න. ඒත් ඒක හරි ගියේ නැහැ.

මෛත්‍රීපාල සිරිසේන මහතා සියලු පක්ෂ කණ්‍ඩායම්වල ආශීර්වාදයෙන් පොදු අපේක්ෂක ලෙස ජනපතිවරණයට ඉදිරිපත් වුණා. එතැන එජාප, ශ්‍රී ලංකා, හෙළ උරුමය වගේම සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජනතාව නියෝජනය වුණා. පැහැදිලි ලෙසම ජනපතිවරණයේදී කඳවුරු දෙකක් ගොඩනැඟුවා. එකක් ජාතිවාදය පිටුදකින කණ්ඩායම. අනෙක ජාතිවාදී කණ්ඩායම. මම ජාතිවාදය පිටුදකින කණ්ඩායම තෝරා ගත්තා.

* මෙවර ජනපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන මහතා ජයග්‍රහණය කළේ සුළු ජාතික ඡන්දවලින් බවට චෝදනාවක් එල්ල වෙනවා..‍‍.

සුළු ජාතික ඡන්ද පමණක් ලබාගෙන මේ රටේ කිසිම අයෙකුට ජනාධිපති ධුරයට පත්වෙන්න බැහැ. මේ රටේ සිංහල බෞද්ධ ජනතාව 70% ක් පමණ ඉන්නවා. සිංහල, ක්‍රිස්තියානි 6% ක් පමණ ඉන්නවා. එතකොට දෙමළ හා මුස්ලිම් ජනතාව නියෝජනය කරන්නේ 24% ක පමණ ජන සංඛ්‍යාවක්. මේ ප්‍රමාණයෙන් කාට හරි ජනපති පුටුවට එන්න පුළුවන් කියලා කවුරුහරි කියනවා නම් ඒක විහිළුවක්. සිංහල බෞද්ධ ඡන්ද ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනාට බෙදී ගිය පසු ජයග්‍රහණය ලබන පුද්ගලයා තීරණය කරන්න සුළු ජාතික ඡන්ද බලපාන බව ඇත්තක්.

සම්පූර්ණ බෞද්ධ ඡන්දවලින්වත් සම්පූර්ණ සුළු ජාතික ඡන්දවලින්වත් අපේක්ෂකයකුට දිනන්න බැහැ. මේවා බෙදී යනවා. අද පරාජයට පත්වෙලත් මේ අය කරන්නේ ජාතිවාදය වපුරන එකයි. මුළුමනින්ම ජාතිවාදී පදනම මත පිහිටා මේ අය අපේ ජයග්‍රහණය අර්ථ නිරූපණය කරන්න උත්සාහ කරනවා. හිටපු ජනපතිවරයා කටයුතු කළ ජාතිවාදී ස්වරූපය නිසා මේ රටේ සුළු ජාතීන් අති බහුතරය එතුමාව ප්‍රතික්ෂේප කැර තිබෙනවා. අපි වපුරන දේ තමයි අපට අස්වැන්න ලෙස හිමිවන්නේ. ජාතිවාදය වැපුරූ මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු කණ්ඩායමට මේ රටේ සියලු ජනතාව ජාති, ආගම්, පක්ෂ භේදයෙන් තොරව කදිම පාඩමක් උගන්වා තිබෙනවා.

* මෙම මැතිවරණයේදී පසුගිය රජයේ වංචා, දූෂණ පිළිබඳ බරපතළ ලෙස විවේචනයට ලක්වුණා. මිනිස්සු යහපාලනයක් වෙනුවෙන් තබා ඇති බලාපොරොත්තුව ඉටුවේවිද?

අනිවාර්යයෙන්ම එම අපේක්ෂා ඉටුවෙනවා. පසුගිය කාලයේ සිදුවුණ වංචා, දූෂණ පිළිබඳ පුළුල් විමර්ශනයක් සිදුකර ඒවාට සම්බන්ධ වූවන්ට තරාතිරම නොබලා නීති මඟින් කටයුතු කරනවා. ජනතාව දෑස් දල්වා මේවා සිදුවනතුරු බලා සිටිනවා. අද ජනතාව දූෂිතයන්ට දඬුවම් ලබා දෙන්න කියමින් උද්ඝෝෂණ පවා සිදුකරනවා. ඒ තරම්ම ජනතාව මේවා ගැන උනන්දුයි. දූෂණ වංචාවලට සම්බන්ධවූවන්ට එල්ල වී ඇති චෝදනා පිළිබඳ විමර්ශන සිදුකර නීතිමය රාමුව තුළ කටයුතු කළ යුතුයි. අක්‍රමිකතාවලට සම්බන්ධවූවන් විදේශගතව සිටියත් ඔවුන් නීතිය හමුවට පැමිණවීම ගැටලුවක් නොවේ. ජාත්‍යන්තර පොලිසිය මඟින් ඔවුන් අත්අඩංගුවට ගෙන මෙරටට ගෙන්වා ගත හැකියි. දින 100 යේ වැඩපිළිවෙළ තුළ අපි ජනතාවට දැනෙන යමක් සිදුකරනවා. පොරොන්දු වූ පරිදි ජනතාවට සහන දෙනවා. ස්වාධීන මැතිවරණ, අධිකරණ, පොලිස් හා රාජ්‍ය සේවා කොමිසන් යළි ස්ථාපිත කරනවා.

* ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරය සම්බන්ධව පසුගිය දිනවල විශාල ගැටලුවක් මතුවුණා නේද?

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් ලෙස කටයුතු කළ මෛත්‍රීපාල සිරිසේන මහතා ජනපතිවරණය ජය ගත් පසු එතුමාට ශ්‍රී. ල. නි. ප. සභාපති ධුරය හිමිවෙනවා. එතුමා පොදු අපේක්ෂක ලෙස ඉදිරිපත් වූ පසු ශ්‍රී. ල. නි. ප. මධ්‍යම කාරක සභාව නීති විරෝධී ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කළා. මේ වැරැදි තීරණයට ඔවුන් එළඹුණේ මෛත්‍රීපාල සිරිසේන මහතා පිළිබඳ තරහටයි. නීතිය මායිම් නොකිරීමේ පුරුද්ද මේ අයට කොහොමත් තිබුණා. ත්‍රස්තවාදය පරාජය කැර රට නිදහස් කැර ගත් ගෞරවය අපි මහින්ද රාජපක්ෂ මහතාට නිරතුරුව ලබා දෙනවා. ඒ නිසයි අපි පක්ෂ සභාපතීත්වයට මෛත්‍රීපාල සිරිසේන මහතා පත්කර ගත් පසු මහින්ද රාජපක්ෂ මහතාට පක්ෂයේ අනුශාසක ධුරයක් පිරිනැමුවේ. පසුව හෝ එතුමා සත්‍ය අවබෝධ කරගෙන පක්ෂයේ සභාපති ධුරය මෛත්‍රීපාල සිරිසේන මහතාට පිරිනැමීම පිළිබඳව මා සතුටු වෙනවා.

* මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රමුඛ කණ්ඩායම බලයට පැමිණියහොත් රට දෙකඩවීමේ අවදානමක් පවතින බවටත් චෝනා එල්ල වුණා...

මේ රටට ආදරය කරන්නේ මහින්ද රාජපක්ෂ මහතා විතරද? මෛත්‍රීපාල සිරිසේන ජනපතිතුමත්, අපි හැමෝමත් මේ රටට ආදරෙයි. රට බෙදන්න කාටත් වුවමනාවක් නැහැ. එහෙම වෙනවා නම් අපි ඒකට ඉඩ දෙන්නේ නැහැ. රටට සත්‍ය වශයෙන්ම ආදරය කරන ඒකීයභාවය වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායම අප සමඟ ඉන්නේ. ජනතාව නොමඟ යවා ඡන්ද ලබාගන්න හිටපු ආණ්ඩුව කළ උප්පරවැට්ටියක් ඕක. ජනතාව ඒක ප්‍රතික්ෂේප කළා. දෙමළ ජාතික සන්ධානය අද ‍ මෛත්‍රීපාල සිරිසේන මහතාව ජනපති කරවන්න සහයෝගය ලබා දුන්නා. ඒකෙන්ම පේනවා උතුරේ දෙමළ ජනතාව මේ රටේ සිංහල බෞද්ධ නායකයකු ජනපති ලෙස පත්වන විට දෙමළ ජනතාව ඒකට හවුල් වන බව. මහින්ද රාජපක්ෂ රජය කළේ උතුරේ දෙමළ ජනතාව අපෙන් ඈත්කරලා ජනපතිවරණය දිනාගන්නයි. ඔවුන්ගේ ක්‍රියාමාර්ගය හරි ගියා නම් ඇත්තටම ජාත්‍යන්තරය තුළ මතයක් ගොඩනැ‍ඟෙනවා උතුරේ දෙමළ ජනතාව සිංහල බෞද්ධ නායකත්වයකට අකමැති බවට. අද මේ රටේ සියලු ජනතාව ශ්‍රී ලාංකික යන හැඟීමෙන් එක කොඩියක් යටට පැමිණ තිබෙන බව කාටත් පැහැදිලියි.

* ජනපතිවරණ ජයග්‍රහණයෙන් පසු මෛත්‍රීපාල සිරිසේන මහතාට බරපතළ විවේචන එල්ල කළ අය පවා අද එතුමාට සහය දීමට ඉදිරිපත් වෙනවා නේද?

විසංවාදී දේශපාලනය බැහැර කළ ජාතික ආණ්ඩුවක් මේ රටේ ඇතිවුණේ පළමු වතාවටයි. ජනතා විමුක්ති පෙරමුණ රජයේ පාර්ශ්වකරුවෙකු නොවුණත් ජනපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් ඔවුන් සුවිශිෂ්ට කාර්ය භාරයක් ඉටුකළා. අද විපක්ෂයේ දේශපාලනඥයින් මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ එක්වන්නේ තනතුරු වරප්‍රසාද ගැන හිතලා නොවෙයි. ඔවුන් දින 100 යේ වැඩපිළිවෙළ සඳහා සහය දීමට එකඟතාව පළකර තිබෙනවා. හොඳ දෙයක් කරනවා නම් අපි හැමෝම එකතුවීම වරදක් නොවේ. යහපාලනය සඳහා යන මේ ගමන ශක්තිමත් කිරීම සියලු ලාංකික පුරවැසියන්ගේ යුතුකමයි. අද ජාති, ආගම්, පක්ෂ බේදයෙන් තොරව ආණ්ඩුවක් නිර්මාණය වී තිබෙනවා. මෙය කලක පටන් මේ රටේ ජනතාව අපේක්ෂා කළ දෙයක්. විරුද්ධවාදීන් පවා අද අප සමඟ අත්වැල් බැඳගත්තේ මේ යථාර්ථය ඔවුන්ට අවබෝධ වී තිබීම නිසයි.

* සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ලෙස ඔබගේ අනාගත ඉලක්ක මොනවාද?

අමාත්‍යවරු ලෙස හිටියත් පසුගිය කාලයේ අපට වැඩක් කරන්න ලැබුණේ නැහැ. ඊට නිදහස තිබුණෙත් නැහැ. අද අපිට රට වෙනුවෙන් අවශ්‍ය තීරණ ගෙන ජනතාවට සේවය කරන්න පුළුල් අවකාශයක් ඇතිවී තිබෙනවා. මිහින් එයාර් ගුවන් සේවය අපට අවශ්‍ය ද කියන ප්‍රශ්නය තිබෙනවා. මේවා බරපතළ ලෙස පාඩු ලැබුවා. හිතවතුන්ට තනතුරු දී ගසාකෑම් කරන්න මේ ආයතන පිහිටවූවාද කියන බරපතළ ප්‍රශ්නය ජනතාවට තිබෙනවා. මත්තල ගුවන් තොටුපොළ සම්බන්ධව ද ප්‍රශ්න තිබෙනවා. ශ්‍රී ලංකා ගුවන් සේවයට අයත් ගුවන් යානා කටුනායක සිට මත්තලට ගොස් එහි ගොඩබස්සවා ගිය බොහෝ අවස්ථාවල ඒවායින් එකම මඟියෙක්වත් බැහැලවත්, නැඟලවත් නැහැ. කාගේ වුවමනාවට මේ මුදල් කාබාසිනියා කරන අපරාධ කළාද කියලා අපි හොයන්න ඕන. දඹදිව පූජනීය ස්ථාන වැඳ පුදා ගැනීම සඳහා විශේෂ ගුවන් සේවයක් ලෙස මිහින් එයාර් ක්‍රියාත්මත වුවත් එම කාර්යභාරය එමඟින් ඉටු වී නැහැ. පාඩු ලබන මත්තල ගුවන් තොටුපොළ ලාබ ලබන තත්ත්වයට ගෙන ඒමට විශේෂ අවධානයක් යොමුකළ යුතුයි.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2014 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]